» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/08/2017 - දේශය
ෆෙඞ්රික් එංගල්ස්

ජර්මන් ජාතික ෆෙඞ්රික් එංගල්ස් සිය කාලය සහ ධනය වැය කරමින් කාල් මාක්ස් සමග එකතුවී ඉටු කරන ලද කාර්ය භාරය ගැන අලූත් සංවාදයක් ආරම්භ වී තිබේ. දාර්ශනිකයෙකු සහ සමාජ විද්‍යාඥයෙකු වශයෙන් ප‍්‍රකට හෙතෙම මාධ්‍යවේදියෙකු වශයෙන් ද ක‍්‍රියා කර ඇති අතර ව්‍යාපාරිකයෙකු ද විය. එංගල්ස් දශක දෙකක් පමණ එංගලන්තයේ විසූ අතර මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ නිර්මාණවේදියෙකු ඔහු ගැන සොයා බලා එවකට එංගලන්තයේ පැවැති වැඩකරන පැලැන්තියේ ස්වභාවය අධ්‍යයනය කරන්නට අරමුණු කර ඇත. එංගල්ස් ගේ අභාවයෙන් පසු ගෙවී ගිය වසර 171 කට වැඩි කාලය ඔහු ගැන අමතක කරන ලද නමුත් මෙම අනාවරණය මගින් සමාජ පැතිකඩක් ගැන විමර්ශනයක් අපේක්ෂා කෙරේ. කාල් මාක්ස් නිර්මාණය කරන ලද දර්ශනය පසුබිමෙහි සිටි බලවත් ධෛර්යය සම්පන්න චරිතයක් ලෙස එංගල්ස් අධ්‍යයනය කළ හැකිය.

ජර්මනියේ කුඩා කාර්මික නගරයක් වූ වුපර්වැලි හි දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා වූ ෆෙඞ්රික් පාසල් කාලයන් පසු ප‍්‍රදේශයේ කුඩා ව්‍යාපාරය ස්වේච්ඡාවෙන් වැඩ කරන්නට දෙමව්පියෝ යැවීය. යමක් හදාරා තමන් කරගෙන ගිය කපු ව්‍යාපාරයට එකතුවනු ඇතැයි අභිලාශය විය. නමුත් කෙටි කාලයක් එහි නිරත වූ හෙතෙම නිවහල්ව ක‍්‍රියාකළ බව දැක්වෙයි. දෙමව්පියන් නොසිතන පැති කරා නිදහස් ව ඇදී ගිය හෙතෙම නැවතත් කෙටි කාලයක් ව්‍යාපාර කරන ලද නමුත් බර්ලින් හි අනිවාර්ය හමුදා සේවයේ සිටි කෙටි කාලය ඔහුගේ ජීවිතය වෙනස් කළේය. රුඩිකල් අදහස් වලට ඇදී ගිය හෙතෙම මුල් වකවානුවේ නිදහස් මාධ්‍යවේදියෙකු වශයෙන් ද ක‍්‍රියා කළේය. එකල ඔහු හේගල්ස් අධ්‍යයනය කරන්නට හුරු වූ අතර අදේවවාදී අදහස් වලින් පෝෂණ්‍ය විය.

1820 උපන් හෙතෙම 1838 දී පළමු කවිපොත එළි දැක්වීය. කාර්මීකරණයෙන් එන සමාජ ගැටළු හා ධනවාදී පැති වලින් අත්පත්වන පීඩා ගැන පුවත්පත්වලට ලියන හෙතෙම එය තම පවුලට ද සම්බන්ධ යැයි හිතන්නේ නැත. බර්ලින් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමේ නිරත වූ අතර හේගල්වාදීන් හා එකතු වී දිගින් දිගටම කම්හල්වල වැඩකරන ජනතාව ගේ දුප්පත්කම ගැන අවධානය යොමු කළේය. මැන්චෙස්ටර් හි පිහිටි පවුලේ කොටස් හිමි කම්හලක සේවයට යන්නටඉඩ ලැබෙන්නේ මෙම අතරවාරයේ දීය. එංගලන්තයේ ඒ වන විට තිබුණ සමාජ පරිසරය, ප‍්‍රාග්ධනය මෙහෙයැවෙන අන්දම, ශ‍්‍රම වටිනාකම අධ්‍යයනය කරන්නට ඉඩ ලැබුණ අතර ආර්ථික කාරණා සම්බන්ධව ඇඩම් ස්මිත්, ඬේවිඞ් රිචාඩෝ රොබට් ඕවන් ඇතුළු ඉංග‍්‍රීසි හා ප‍්‍රංශ විද්වත් සමාජය ගැන හදාරන ලන බව සදහන්ය. පසුව එහි සිට නැවත ජර්මනියට එන අතරවාරයේ දී දෙවන වතාවට කාල් මාක්ස් හමුවන එංගලස් ඔහු සමග තිබුණ මිත‍්‍රත්වය තහවුරු කරගනී. එය ජීවිත කාලය දක්වා අධ්‍යයන සම්බන්ධතාවයකම මුල පුරන අතර දෙදෙනා එකතු වී ලියන එකඟතාවයකට පැමිණෙයි. ජර්මනිය, බෙලිජියම, ප‍්‍රංශය යන රටවල වසර පහක් පමණ ලේඛනයෙහි සහ සමාජ විප්ලවීය ක‍්‍රියාකාරකම් වල නිරත වූ හෙතෙම පලස්තීන විප්ලවීය නැගිටීම් වල සම්බන්ධව සිටියේය. ස්විට්සරලන්තයට සහ ඒ හරහා එංගලන්තයට ගිය අතර එය ස්ථිර වාසස්ථානය කරගත්තේය.

කාල් මාක්ස් ගැන කතාකරන සෑම අවස්ථාවකම එයින් ඉනික්බිතිව කියැවෙන නම බවට පත්ව ඇත්තේ එංගල්ය. තමන්ට අනන්‍ය ක‍්‍රමයක් අනුව පැවැත්මෙන් ඈත්වී ප‍්‍රජාව වෙනුවෙන් විශාල කැපවීමක් කරන ලද ඔහු සිය ජීවිතය හැකියාව පමණක් නොව වත්කම් ද කැප කරන්නේ අලූත් දර්ශනය වෙනුවෙන්ය. මාක්ස් එංගල්ස් දෙදෙනාගේ අභිප‍්‍රාය සමාජ දර්ශනය නමුත් ලන්ඩන් හි ලේඛන කලාවෙන් ජීවත් වෙන්නට ප‍්‍රමාණවත් ආදායමක් උපයා ගත නොහැකි විය. හෙතෙම වරින් වර මැන්සේට ර්යන අතර තමන්ගේ පියා ගේ ව්‍යාපාරවල නිරතව එයින් යමක් උපයාගනියි. අන්තිමේ දී 1864 දී පියාගේ අභාවය සමග ව්‍යවසායේ කොටස්කරුවෙකු බවට පත්වෙයි. 1869 දී මාක්ස් වෙත ලිපියක් යවන එංගල්ස් ව්‍යවසායෙන් හිමි වූ තම කොටස් විකුණා දමන ලද බව දක්වන්නේ ‘‘නිදහස් මිනිහෙක්’’ බවට පත් වූ බව කියමින්ය. එයින් නොනැවතුන හෙතෙම ලන්ඩන් හි මාක්ස් ජීවත් වූ නිවස අසලින් පදිංචි වී දිනපතා ආශ‍්‍රය පවත්වාගෙන යන්නට නැඹුරු වෙයි.

කොමියුනිස්ට් ව්‍යවස්ථාව සම්පාදනය කරන්නට කාල් මාක්ස් සමග එකතු වී වැඩ කළ පෙඞ්රික් එංගල්ස් ගැන මෙරට වාමාංශික අදහස් ඇති ජනතාව නොදන්නා කරුණු නැත. වම උරුමය කර ගත් දේශපාලන පක්ෂ වලට වෙන වෙනස ඔහු හදාරා තිබේ. එංගල්ස් සතුව තිබුණ දක්ෂතාව හා අනන්‍යතාවය ගැන එයින් එපිට විග‍්‍රහයකට ගමන් කරන්නට හැකියාවක් නැත. මාක්ස් හා එංගල්ස් යන චරිත මෙරට සමාජ දේශපාලන ව්‍යුහයට තදින් බද්ධ වී ඇති තරමටම එකී අද්විතීය පුද්ගලයන්ගේ කාර්ය ස්වභාවය නැවත නැවතත් අධ්‍යයනය කිරීම වැදගත්ය. පුද්ගල අධ්‍යාශයන් පැත්තකට දමා දැවෙන තැවෙන මිනිසුන් වෙන්වෙන් අලූත් යුගයක් ඇති කරන්නට තමන්ගේ පුද්ගලික සම්පත්පවා මායිම් නොකර කරන ලද මෙහෙවර ඉතාම පුලූල් එකකි. එංගලන්තයේ ජීවත් වූ කාලය තුළ එංගලස් අධ්‍යයනය සහ ඔහු ගේ වපරිසය නැවත මවා පෙන්වන්නට මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය සූදානම් වන්නේ එහි හරය මැනැවින් අධ්‍යයනය කරන ලද හෙයින් බව දක්වන්නට අවශ්‍යය.

වාමාංශික සංකල්ප හා ඒවායෙන් ජන විකාශනය වෙනුවෙන් ලැබුණ පිටුවහල වෙනම පරිච්ඡ්දයකි. ධනවාදී රාමුවක් තුළ ජීවත් වෙමින් අනෙක් පරාසයක් වෙත අවධානය යොමු කිරීම බලවත් කැපකිරීමකි. වර්තමානයෙහි පවා ලෝකයේ සෑම රටකම පාහේ සමාජවාදය ගැන කතාකරන්නේ මෙම පැතිරීම ඉතාම පිරිපුන් එකක් බව සනිටුහන් කරමින්ය. එංගල්ස් ගැන අධ්‍යයනය කරන්නට විවිධ පැති වලින් ඉඩකඩ පවතින පරිසරය තුළ මෙම සංක්ෂිප්ත හුවා දැක්වීම ඉටුකරන ලද මානවවාදී ගුණය වෙනුවෙන් කුඩා සංකේතයකි.

කාල් මාක්ස් දාස් කැපිටාල් රචනා කරන විට ඔහුට ආර්ථික ශක්තියක් වී ඇත්තේ ෆෙඞ්රික් එංගල්ස්ය. දාස් කැපිටාල් වෙනුවෙන් විශාල පර්යේෂණයක නිරත වූ අතර එයින් අනාවණය කරගත් කරුණු සම්භාරය පිටුපස එංගල්ස් ගේ ස්පර්ශය ජීවත්වෙයි. එපමණක් නොවේ. දාස් කැපිටාල් පළමු වෙළුමට පසු එහි දෙවන හා තෙවන වෙළුම එංගල්ස් සංස්කරණය කරන අතර කාල් මාක්ස් ගේ ලියැවිලි ඇසුරු කරගෙන එය කරන්නට එපමණට තතු දන්නා අන සුදුස්සෙකු නොසිටින්නට ඇති බව නිසැකය. අන්තිමේදී එහි හතරවැනි වෙළුමක් ද පසු කාලයක නිකුත්ව ඇති අතර එයට ද එංගල්ස් ගේ දායකත්වය ලැබුණ බව සඳහන්ය.

වසර විසි පහකටවැඩි කාලයක් එංගලන්තයේ වෙසෙමින් ඉංග‍්‍රීසි ජාතිකයෙකු සේ ඇඳ පැලද එකී සංස්කෘතියෙන්ම පෝෂණය වූ නමුත් ආධ්‍යාත්මය තුළ දුක් විඳීන ජනතාව වෙනුවෙන් කළ යුතු පරිවර්තනය නොසැලී පැවැතිණ. ඉතාම මහන්සි වී වැඩ කරන ඉතාම විශිෂ්ඨ චින්තනයකින් හෙබි හෙතෙම අධ්‍යයනයෙන් බුද්ධිමත්භාවය උපයා ගත්තෙකි. භාෂා ගණනක් හොඳීන් වහරන්නට හැකි හෙතෙම ඔහු විසින්ම කියා ඇති පරිද භාෂා විස්සක් කතා කළ හැකි වූ අයෙකි. මාක්ස්වාදය යනුවෙන් අදහස් හා දර්ශනය ගොනුකරන ලද එංගල්ස් පොදු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සමාජ විප්ලවය වෙනුවෙන් කැපවූ දාර්ශනිකයෙකි.