» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/05/2018 - දේශය
බඩුත් අරන් වාහනයට නගින ඇමසන්

ලෝකයේ පැවැත්ම දිනෙන් දින වෙනස් වෙමින් තිබේ. තාක්ෂණික යුගයේ දී හිතන අන්දම වෙනස්ය. ක‍්‍රියාත්මක වන අන්දම හිතා ගැනීමට පවා අපහසුය. අනාගතය ගැන දැක්මක් ඇති පර්යේෂකයෝ නැවුම් අදහස් ඉදිරිපත් කරති. ප‍්‍රකට සමාගම් ඒවා උපයෝගී කරගෙන ජන ජීවිතය පහසු කරන ප‍්‍රයත්න හදුන්වා දෙති. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නීති රීති, පරිපාලන බාධා හෝ යාන්ත‍්‍රික අගුල් රහිත නිදහස් පැවැත්මක් නිර්මාණය වෙමින් තිබේ. මෙම නිදහස ලෝකයේ පැවැත්මට කොපමණ පරිමාවකින් වාසි අවාසි ඇති කරනු ඇත්දැයි සලකා බලන විද්වත් සංවාද මතු වී ඇත.

ජන ජීවිතය පහසු කරන මෙම පැවැත්ම කුමක්ද? ප‍්‍රකට භාණ්ඩ හුවමාරු සමාගමක් වන ඇමේසන් ආයතනය එය හදුන්වා දී තිබේ. පාරිභෝගිකයෙකු භාණ්ඩ ඇනවුම් කළ පසු එය ඔහුගේ හෝ ඇයගේ වාහනය සොයා ගෙන එයට පටවන්නට ඇමේසන් සමාගම සූදානම්ය. වාහනයේ යතුර හෝ ස්මාට් අගුළු එයට කිසිසේත් බාධාවක් නොවේ. රියැදුරෙකු ගේ සහාය අනවශ්‍ය අතර වාහනයේ අයිතිකරු සොයා ඔහුගේ උපකාර ඇතිව වාහනයේ අගුළු විවෘත කරන්නට ද මෙම ක‍්‍රමය අනුව අවශ්‍යතාවයක් නැති බව වාර්තා වෙයි. ඇමේසන් සමාගම ඒ වෙනුවන් ඇප් එකක් නිපදවා ඇත. 2015 වසරට පසු නිපදවන වොල්වෝ සහ ජෙනරල් මෝටර්ස් සමාගමේ වාහන වලට එය වලංගු කර තිබේ. සේවාව හා එකතු වන ගනුදෙනුකරුවන් යමක් ඇනවුම් කළ විට වාහනය ඇති තැන අන්තර් ජාලයෙන් සොයා ගන්නා කාර්ය මණ්ඩලය එතැනට යන අතර අයිතිකරුට කිසිම බාධාවක් නොකර එනම් ඔහුගේ අනුදැනුමකින් තොරව අගුළු විවෘත කර එය වාහනයට පැටවීමෙන් පසු රාජකාරිය අවසන් කරයි. තොරතුරු තාක්ෂණය උපයෝගී කරගෙන වාහනයේ වර්ගය, වර්ණය හා අංක තහඩුව අනුව නිරවද්‍යතාව තහවුරු කරගන්නා භාණ්ඩ බෙදාහරින සේවකයෝ සිය කාර්යය අවසන් වූ පසු අයිතිකරු නොඑසේනම් භාණ්ඩ ඇනවුම් කළ තැනැත්තාට නිල වශයෙන් යවන පණිවුඩයකින් ඒ බව තහවුරු කරයි. එය සෑහෙන පහසුවක් බව නවීන පාරිභෝගිකයෝ සනාථ කර තිබේ. අතිශය කාර්ය බහුල ජීවිත ගත කරන ජනාකීර්ණ ප‍්‍රදේශවල ජීවත්වන ඇතැමෙකුට වෙළඳ සැල් වලට ගොස් භාණ්ඩ මිල දී ගැනීමට හෝ සාප්පු සවාරියෙහි යෙදෙන්නට කාලයක් නැත. නවීන ඔන් ලයින් ක‍්‍රමයට භාණ්ඩ මිල දී ගත හැකි නමුත් ඒවා නිවසට ප‍්‍රවාහනය කිරීමට අතිරේක ගාස්තු අය කරන අවස්ථා තිබේ. ගෙදර නැති අවස්ථාවක භාණ්ඩ එහා මෙහා ගෙන යාමේ දී නොයෙක් පටලැවිලි වාර්තා වී ඇත. අලූත් අත්හදා බැලීම අනුව වාහනය සොයාගෙන එය ඇති තැනට භාණ්ඩය ගෙනැවිත් අයිතිකරුටත් කරදරයක් නොවෙන අන්දමට භාරදීම ඉතාම පහසු වී තිබේ. ඇමරිකාවේ නගර තිස් හතක ‘ඇමේසන් - කාර් අගුළු විවෘත කිරීමේ’ සේවාව ක‍්‍රියාත්මක වෙයි. එය ඉතා වැදගත් මෙහෙවරක් වන අතර ආරක්ෂාව ගැන පවතින විශ්වාසය තහවුරු කිරීමේ තවත් පියවරක් බව මෙම බෙදාහැරීමේ ක‍්‍රමය භාරව සිටින ඇමේසන් සමාගමේ ප‍්‍රධානීහු ජාත්‍යන්තර මාධ්‍යයට කියා තිබේ.

ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බිසෝස් අන්තර් ජාලයෙන් පොත් පත් අලෙවිය අරමුණ කරගෙන 1994 දී පිහිටවූ මෙම ආයතනය පසුව ඕඩියෝ හා වීඩියෝ අලෙවියට සම්බන්ධ වී තිබේ. සිල්ලර වෙළඳාමට එකතු වෙන්නේ එයින් අනතුරුවය. 2017 වසර අවසන් වන විට එහි වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 177.86 ක් වී තිබුණි. අන්තර් ජාල වෙළඳාම සම්බන්ධයෙන් ලෝකයේ ප‍්‍රබල ආයතනයක් වන ඇමේසන් ඇමරිකානු ඉලෙක්ට්‍රොනික් වානිජ සමාගම දෙවැනි වන්නේ චීනයේ අලිබාබා ව්‍යාපාරයට පමණක් බව සඳහන්ය. සුළුවෙන් වෙළඳාම ආරම්භ කරන ලද ඇමේසන් ආයතනය 2015 වසරේ දී ඇමරිකාවේ ඉතාම විශාල සුපර් මාර්කට් ජාලයක් වන වෝල්මාට් හි වෙළඳාම අභිබවා ගියේය. අද එහි ලක්ෂ පහ මාරකට වැඩි කාර්ය මණ්ඩලයක් සේවය කරයි. මෙම පිරිස නිති පතා ලෝකය පුරා එහා මෙහා යවන භාණ්ඩ ප‍්‍රමාණය ලෝකයේ සැපයුම් ජාලය ශක්තිමත් කරන පියවරක් බවට පත්ව තිබේ.

ජෙෆ් බිසෝස් පොත් පත් අලෙවි කරනු සඳහා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ සියැටල් හිදීය. කෙටි කාලයකට පසු ඔහු ඇමේසන් යන ලෝකයේ විශාලතම ගංගාවේ නම ව්‍යාපාරය සඳහා තෝරා ගන්නා අතර ලෝකයේ විශාලතම පොත් අලෙවි මධ්‍යස්ථානය බිහි කිරීම ඔහුගේ ඉලක්කය වී තිබුණි. තාක්ෂණය එතරම් ප‍්‍රචලිතව නොතිබුණ වකවානුවක අලූතින් හිතන්නට හුරු වී සිටි හෙතෙම අන්තර් ජාලය ඔස්සේ පොත පත අලෙවියට ක‍්‍රියා කරන ලද අතර දශක දෙකක් ගතවන විට ලෝකය පුරා පැතිරුන අති විශාල ව්‍යාපාරයක් දක්වා පැතිරෙන්නේ එයයි.

සම්ප‍්‍රදායික සමාජ ක‍්‍රමය තුළ අයිතිය හා අවසර ගැනීම ගැන විශාල ආකල්ප තිබේ. තමන්ට අයිති දෙයකට අනවසරෙන් ප‍්‍රවේශවීම වංචාවලට ඉඩ තැබීමක් යැයි කල්පනා කෙරේ. නමුත් ගනුදෙනුකරුවන් සමග ඇති කරගන්නා විශ්වාසය අනුව ලෝකයේ පරිමාව වෙනස් කරන්නට ඇමේසන් සමාගම සමත් විය. එය එක්තරා ආකාරයකට නවීන තාක්ෂණික යුගය ගැන අවධානය යොමු කර ගත් තීරණයකි.

තාක්ෂණික යුගයේ ප‍්‍රවාහනය නවීකරණය ඇරඹෙන්නේ කෙසේද? එන්ජිමක් නැති වාහන නිර්මාණය වී තිබේ. ආරෝපනය කරන ලද බැටරියක බලයෙන් ධාවනය වන අතර බලශක්තිය සඳහා සූර්ය බලය උපයෝගී කරගැනේ. පරිසර හිතකාමි වාහන වශයෙන් ලොව පුරා ව්‍යාප්තවන අවස්ථාවේ දී රියැදුරෙකු නැති වාහන භාවිතය අත්හදා බැලීය. එන්ජිමක් අවශ්‍ය නැති යුගයක රියැදුරෙකු අවශ්‍ය දැයි හිතන්නට නව නිර්මාණකරුවෝ උනන්දු වූහ. අද වන විට එය යතාර්ථයක් වී තිබේ. තවත් වසර කිහිපයක් ඇතුලත රියැදුරන් නැති රථවාහන දියුණු මාර්ගවල වේගයෙන් ධාවනය වනු ඇත. ජෙෆ් බිසෝස් ගේ ඇමේසන් සමාගම එම වාහන වල ගමන් කරන මගීන්ට සේවය කරන්නට සුදානම් වෙයි. කිසිම බාහිර සහයක් රහිතව ඇමේසන් කාර්ය මණ්ඩලයට වාහනය හොයාගෙන ගොස් ඇනවුම් කරන ලද භාණ්ඩ පටවන අවස්ථාව උදාවෙන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

ලෝක ප‍්‍රජාව විද්‍යාව හා තාක්ෂණය අතින් මෙපමණ ඉදිරි යුගයක පසුවන අතරවාරයේ ශ‍්‍රී ලංකාවේ වාහනයක් රියැදුරෙකු රහිතව ගමන් කරන්නේ කෙසේදැයි හිතා ගැනීම පහසු නැත. වාහන අංගනයක නතර කර ඇති කාර් එකක් අසලට පැමිණ එහි පිටුපස දොර විවෘත කර අංගනය භාරකරුවන්ගේ අනුදැනුමෙන් තොරව පාර්සලයක් පටවා යන අවස්ථාවක් උදා විය හැකිද? එවැනි තැනකට රට පත් කරන්නට නම් විශාල දර්ශනයක් අවශ්‍යය. සමාජ පරිවර්තනයක් කළ යුතුය. තාක්ෂණය හදුන්වා දී ඒවායෙන් ප‍්‍රයෝජන ගැනීමට ජනතාව නැඹුරු කළ යුතුය. බලය ආරක්ෂා කරගැනීම සඳහා ව්‍යවස්ථා සහ තාවකාලික තනතුරු වෙනුවෙන් දිනපතා සටන් කරන පාලකයන් ඇති රටකට මෙවැනි අදහස් සුරංගනා කතාන්දර පමණකි.