» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
06/03/2016 - දේශය
පෝලන්තයේ ජනාධිපතිවරු බවට පත් නිවුන් සහෝදරයෝ

ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් කැචෙස්කි පෝලන්තයේ බලවත් නායකයෙකු බව ජාත්‍යන්තරය පිළිගෙන හමාරය. විශේෂත්වයක් තිබේ. ජනාධිපතිවරයා වශයෙන් සිටි ඔහුගේ වැඩිමහල් නිවුන් සහෝදරයා ගේ හදිසි අභාවයෙන් පසු කැචෙස්කි කැපී පෙනෙන තැනකට පත්වීමයි. සහෝදරයා ජනාධිපති වශයෙන් ක‍්‍රියා කරන විට එරට දේශපාලනයෙහි නිරතව සිටි සහ අගමැති ධුරය ද ඉසිලූ හෙතෙම වර්තමානයේ කටයුතු කරන්නේ සාමාන්‍ය මහජන නියෝජිතයෙකු වශයෙන්ය. එරට ජනාධිපති ධුරය හෙබ වූ අයියාගෙන් පසු මල්ලී බලය රහිතව කරගෙන යන නිවුන් සහෝදර භූමිකාව එරට දේශපාලන නායකත්වයේ කැපී පෙනෙන අවස්ථාවකි.

පෝලන්තය යුරෝපයේ මධ්‍යම කලාපයේ පිහිටි ඉසුරුබර රටක් වන අතර එක පැත්තකින් චෙක් ආණ්ඩුවට සහ අනෙක් පැත්තෙක් යුක්රේන, බෙලරුසියා යනාදී රටවල් ගණනාවකට මායිම් වී පිහිටියේය. දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ දී මිලියන හයක පමණ රටවැසියන් යුද්ධය බිලි ගත්තේය. එහි දී පෝලන්තය අසරණ වූ අතර නැවත හිස ඔසවන්නේ බලවත් පරිශ‍්‍රමයකින්ය. සමාජවාදී අදහස් ඇතිව සිට පසුව වෙළඳ පොළ ආර්ථිකයට නැඹුරු වූ පෝලන්තය අද මානව සංවර්ධනය සහ ආර්ථික සැනසිල්ල අතින් ඉතාම ඉහළ මට්ටමක සිටී. ජීවත්වන්නට හොඳ රටක් වශයෙන් සැලකෙන අතර ලෝකවාසීහු විශාල පිරිසක් සංචාරය සඳහා තෝරා ගන්නේ ද පෝලන්තයයි. මිලියන තිස් අටකට මදක් වැඩි ජනගහනයක් ජීවත් වන එරටට අවුරුද්දකට මිලියන දහසයක සංචාරකයන් පිරිසක් පැමිණෙන බව සඳහන්ය.

පෝලන්තය මෙයින් වසර හයකට කලින් බලවත් ඛේදවාචකයකට මුහුණ දුන්නේ ඇලෙක්සැන්ඩර් කැචෙස්කිගේ නිවුන් සහෝදර එවකට ජනාධිපතිවරයා වූ ලිච්, ඔහුගේ බිරිඳ ඇතුළු අනූ හය දෙනෙකු ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම සමගය. ඒ වන විටත් සිය සහෝදරයාගේ එනම් ලිච් කැචෙස්කි ගේ ආණ්ඩුවේ අගමැති ධුරය හොබවමින් සිටි ඇලෙක්සැන්ඩර් සිය සහෝදරයා ඇතුළු පිරිසගේ අභාවය සමග පෝලන්තයේ නොපෙනෙන නායකයාගේ වගකීම භාරගත්තේය. පක්ෂයේ නායකත්වය ගෙන රට ඉදිරියට මෙහෙයවන්නට පියවරගන්නේය. බලය තමන් අත්පත් කරගැනිම වෙනුවට හෙතෙම අනුගමනය කරන ලද කළමණාකරණ දේශපාලන ස්වභාවයේ පෙන්වන ලද ඉතාමත් සුවිශේෂී සාධකය එයයි.

පෝලන්ත දේශපාලනයේ බලවත් කාර්යශූර චරිතයක් වශයෙන් අවධානයට ගැණෙන ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් මූලික අධ්‍යාපනයෙන් පසු තෝරා ගත්තේ නිතී ක්ෂේත‍්‍රයයි. උපාධිය සමත් වූ හෙතෙම ඉනික්බිතිව නීති ආචාර්ය උපාධියට ද හිමිකම් කියන්නේය. පෝලන්තයේ සහයෝගීතා වෘත්තීය සමිති පිහිටුවන හෙතෙම එහි සභාපති ධූරයට පත්වන අතර කාලයක් එරට සොලිඩැරිටි සති අන්ත පුවත් පතක කර්තෘ ධුරය ද හොබවයි. එහි දී ලැබූ අත්දැකීම් මත ජනතාවගේ කැමැත්ත, හැසිරීම සහ ආකල්ප අධ්‍යයනය කරන ලද බව නිසැකය. අවිවාහකව තමන්ගේ අම්මා රැක බලාගෙන ජීවත් වූ ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් ගේ ජීවිතය වටා නොයෙක් කටකතා ගෙතී තිබුණ නමුත් එරට පොදු ජනතාව නිතැතින්ම විශ්වාස කරමින් සිටියේ ඔහුගේ දර්ශනය හා ක‍්‍රියාපිලිවෙල කෙරෙහි බව පැහැදිලිව පෙනේ. ආරම්භක අවදියේ දී තමන්ගේම නායකත්වයෙන් (ක්‍යරසිඑස්බ ාැපදජර්එසජ ක්‍ැබඑරු ්ටරුැපැබඑ ච්රඑහ* දේශපාලන පක්ෂය පිහිටුවන ඔහු තමන්ගේ දේශපාලන ගමන තුළ අවස්ථා දෙකක දී පෝලන්තයේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු වශයෙන් ද සේවය කර අත්දැකීම් සම්භාරයක් උපයා ගත් පරිනත නායකයෙකි.

2001 අවුරුද්ද ඔහුගේ ජීවිතයේ වැදගත් එකකි. නීතිය සහ යුක්තිය යන දේශපාලන පක්ෂය ආරම්භක කිහිපදෙනෙකුගෙන් අයෙකු වශයෙන් හෙතෙම ක‍්‍රියා කරන්නේය. පක්ෂය සමග දේශපාලන ගමන කරගෙන යයි. එයින් අවුරුදු හතරක් ගතවන විට එනම් 2001 දී පක්ෂය මහ මැතිවරණයට මෙහෙයවන අතර එය සාර්ථකත්වය කරා යන ගමනකි. දේශපාලනයේ දී ඔහු අනුගමනය කරන ලද තීරණාත්මක කාර්ය භාරය සලකා බලන විචාරකයෝ පෝලන්ත මහ මැතිවරණයේ දී නීතිය සහ අධිකරණ ඇමැති සහ අගමැති අපේක්ෂක වශයෙන් පත්වනු ඇතැයි ඔහු ගැන අනාවැකි පළ කරන්නේය. නමුත් ඔහු එකඟ නොවන්නේය. පක්ෂය මැතිවරණයෙන් ජයග‍්‍රහණය ලබා ආණ්ඩු බලය අත් පත් කරගන්නා නමුත් ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් තීරණය කරන්නේ තමන්ගේ නිවුන් සහෝදරයා ජනාධිපති පදවියට තරඟ කරන හෙයින් වගකිව යුතු තනතුරු භාර නොගෙන ක‍්‍රියා කරන්නටය. එරට සහයෝගීතා දේශපාලනය ගැන අලූත් අරුතක් දෙන්නට මග පාදන හෙතෙම තනතුරු භාර නොගන්නා නමුත් තමන්ගේම නිවුන් සහෝදරයා වශයෙන් විනාඩි හතලිස් පහකට කලින් උපත ලැබූ ලිච් කැචෙස්කි ජනාධිපතිත්තවය පත් කරන සටන අතට ගනී. එය ද ජයග‍්‍රාහීව අවසන් කරන්නට ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් කැචෙස්කි සමත්වෙයි. ලිබරල් අදහස් ඇති දක්ෂිණාංශික මතවාද සහිතව පෙනී සිටි ඇලෙක්සැන්ඩර් කැචෙස්කි නායකයෙකු ලෙස බැබලෙන්නට පටන් ගනී. සිය නිවුන් සහෝදරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ අගමැති ධුරය හෙතෙම භාරගන්නා අතර එය 2006 ජූලි සිට 2007 නොවැම්බර් දක්වා ඉතා කෙටි කාලයක් ඉසිලූ එකකි.

පෝලන්තයේ මන්තී‍්‍රවරයෙකු වූ නමුත් අනුව ඔහු දේශපාලනයේ දී තීරණාත්මක සාධයකි. මතවාදී පුද්ගලයෙකි. වඩාත් ප‍්‍රකට රජුන් තනන්නෙකු හැටියටය. තමන්ගේමසහෝදරයා ජනාධිපති ධුරයට ඔසවා තැබූ හෙතෙම වත්මන් පෝලන්නත ජනාධිපතිවරයා ඔහු නායකත්වය උසුලන දේශපාලන පක්ෂයෙන් ම පත් කරන සටන සාර්ථක කර ගනියි. ජනාධිපතිවරුනේ දෙදෙනෙකු පත් කරන්නට පක්ෂයේ දර්ශනය උසුලන ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් කැචෙස්කි සන්සුන්ය. ඔහුට බැංකු ගිණුමක් වත් නැති බව ප‍්‍රති මතධාරීහු පවා දන්නා කතාවකි. අඩුම තරමින් රියැදුරු බලපත‍්‍රයක් හෝ නැත. සරල ජීවිතයක් ගත කරන නමුත් ඔහු දැඩි ආක‍්‍රමණිකයෙකි. තීරණගන්නා විට ඔහු පළමු පෙළ වගකිමක් ඉසිලීය. මෑත කාලීන එරට දේශපාලනයේ බලය ඇති පුද්ගලයෙකු ගේ සියුම් භූමිකාව නිරූපනය කරන්නට ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර්ට හැකියාව ලැබී ඇත. දොලොස් අවුරුද්දක් පක්ෂයේ නායකත්වය උසුලන අතර හොඳට කාලය මැන බලා දුරදර්ශීව තීරණ ගන්නා උපායශීලියෙකු වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටී.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර ආර්ථික ශක්තිය අතින් හය වැනි තැන සිටින පෝලන්තය තුළ වැඩි බලයක් අත් පත් කරගන්නට දෙවන ලෝක යුද්ධය කාලයේ දී බලවත් සතුරෙකු වූ ජර්මනිය සමග ඔහු මිත‍්‍රත්වයෙන් වැඩ කරයි. පරිසර ගැටලූ හමුවේ යුරෝපීය ප‍්‍රජාව සමග තද තීරණ සහිතව කි‍්‍රියා කරයි. ඒ සියල්ල කරන්නේ පක්ෂ නායකයෙකු වහයෙන්ය. බලය ඇති තනතුරු හිමි පුද්ගලයෙකු වශයෙන් නොවේ. දේශපාලන මතධාරීන් ඔහු හඳුන්වන්නේ රට මෙහෙයවන දුරස්ථ පාලකය හැටියටය. ඕනෑම පණතක්, ඕනෑම ලියැවිල්ලක් තමන්ගේ කැමැත්ත අනුව සම්මත කරගන්නට හැකි ආකාරය ඔහු දැනගෙන සිටී. ඉතාම මෑතක දී හෙතෙම කියා සිටියේ කණ්ඩායමක් හැටියට වැඩ කිරීමේ දක්ෂතාවය එය බවයි. 'අපි කණ්ඩායමක් වැඩ කරන්නේ එකට' යනුවෙන් කියන ජාර්ස්ල්ව් ඇලෙක්සැන්ඩර් කැචෙස්කි 'සමහර නායකයන් එක දෙයකට දක්ෂයි. තවත් අය ගැලපෙන්නේ වෙනත් කාරණයකට. අපි සියලූම දෙනාම අභ්‍යන්තරික වශයෙන් පක්ෂ්‍යට ලැදි පක්ෂපාතී අය විය යුතුයි. වැඩ කරන්නට අවශ්‍ය එක අරමුණක් වෙනුවෙන්' යනුවෙන් ද අවධාරණයෙන් කියා සිටී. ජීවත්වන්නට හොඳ රටක් හැටියට ආර්ථිකයෙන් ද පොහොසත් පෝලන්තයේ රටවැසියන්ට එතරම් ප‍්‍රශ්න නැත. නමුත් මේ ආකාරයට හිතන, බලය අතට ගන්නට නොව බලය නැති නමුත් අවශ්‍ය තැන අවශ්‍ය ආකාරයට හැසිරෙන්නට හැකි නායකයෙකු වශයෙන් ඔහු ගැන ජනාදරයක් තිබේ.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.