» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/06/2016 - දේශය
ධාන්‍යාගාරයෙන් ආ ජනපති රොඩි‍්‍රගෝ

රොඩ්‍රිගෝ ඩුටේර්ටේ පිලිපීනයේ නව ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නට නියමිතය. විශාල ජන ප‍්‍රසාදයක් සහිතව බලයට පත් වූ බවට ප‍්‍රතිඵල නිකුත් වී ඇති අතර නිල දිවුරුම් දීම නියමිතව ඇත්තේ මේ මාසයේ අවසානයටය. ජනාධිපතිවරණ වේදිකාවේ දී ජනතාව අමතන්නේ අධිශ්ඨානය ඇතිවය. එහෙයින් විශාල ආකර්ශනයක් දිනා ගනී. එය ඔහුගේ බලය වෙනුවෙන් තීරණාත්මක සාධකයක් බවට පත්විය.‘‘ මම අපායට ගියත් කමක් නැහැ මගේ සේවය ලබන ජනතාව දිව්‍ය ලෝකයට යනවා නම්’’ යනුවෙන් ඔහු වරක් සඳහන් කරන්නේය. එය පිලිපීනයේ පොදු ජනතාවගේ හිත් පැහැර ගන්නට සමත්ව තිබේ. ක‍්‍රමයට එරෙහි ආන්දෝලනාත්මක චරිතයක් වී ඇති හෙතෙම පිලිපීනයේ මින්දනාවෝ දුපත පසුබිම් කරගෙන රටේ ඉහළම තලයට පත් පළමු නායකයා වශයෙන් ඉතිහාසයට එක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

මින්දනාවෝ සලකන්නේ එරට ධාන්‍යාගාරය ලෙසය. පිලිපීනයෙන් අපනයනය කරන ප‍්‍රධාන කෘෂි භෝග දහයෙන් අටක වැඩිම නිපැයුමක් එන්නේ මින්දනාවෝවෙන්ය. එරට කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශයට පදනම් වන්නේ ද මෙම ඳුපත බව සඳහන්ය.

නීතිඥයෙකු සහ පිලිපීනයේ අනන්‍ය ජන කොටසකගේ දේශපාලන නායකයෙකු වන හෙතෙම දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙකු වශයෙන් සැලකේ. මුලින් කොන්ග‍්‍රස් නියෝජිතයෙකු වශයෙන් පිලිපීනයේ මින්දනාවෝ ඳුපතෙහි අධික ජනගහනයක් ඇති දවාවෝ නගරයේ සේවය කළ රොඩ්‍රිගෝ ඩුටේර්ටේ එහි උප නගරාධිපති වශයෙන් ද කටයුතු කර ඇත. පසුව එහි නගරාධිපති ධුරයට පත්ව අවුරුදු විසි දෙකක් නගරය පාලනය කරයි. එය අඛණ්ඩව, එපමණ දීර්ඝ කාලයක් නගරාධිපති තනතුරක සේවය කළ පළමු අවස්ථාව වශයෙන් ද එරට ඉතිහාසයට එකතු වී තිබේ. අපරාධකරුවන්ට ඉඩ නොදෙන සහ සමාජ සාධාරණත්වය ඇති කරන්නට මහන්සි වූ අයෙකු වශයෙන් ඔහු ‘අච්චුකරන්නා’ යන අන්වර්ථ නම දිනා ගන්නට සමත්වීම ද විශේෂත්වයකි. ඔහු නගරාධිපති ව සිටි දවාවෝ නගරය ‘පිලිපිනයේ ඝාතකයන්ගේ නගරයේ’ ආමන්ත‍්‍රණය සංචාරකයන් ආකර්ශනය කරන ගිණිකොන ආසියාවේ සාමකාමීම නගරය දක්වා වෙනස් කරන්නට පාලනය කළ දශක දෙක තුළ සමත් වූ බව ජාත්‍යන්තර වාර්තා අනාවරණය කරයි. ඔහු එය කරන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිම බුරුලකට ඉඩ නොතබමින්ය. ඝාතකයන් හා ප‍්‍රචණ්ඩකාරීන්ට දඞුවම් පමුණුවන තෙක් ඩුටේර්ටේ නොපසුබටව ක‍්‍රියා කළේය. හෙතෙම මරණ දඞුවම වෙනුවෙන් තදින් පෙනී සිටියි. ආවේගයෙන් සහ තද තීරණ වලින් සමාජය හදන්නට පෙළැඹීම එරට ජනමාධ්‍ය, පොලිසිය සහ එවකට බලයේ සිටි බෙනිග්නෝ අකිනෝ ගේ බලවත් විවේචනයට හේතු විය. එවැනි මත තුළින් රොඩ්‍රිගෝ ඩුටේර්ටේ පීඩනයකට ලක්කරන ලද නමුත් පොදු ජනතාව ඔහු අනුමත කළේය. හෙතෙම පොළඹවමින් සිටියේ රටේ නායකත්වය වෙතය. හෙතෙම ඉක්මන් වූයේ නැත. මොහොත උදා වන තෙක් ඉවසිල්ලකින් ක‍්‍රියා කළේය. අවසානයේ හෙතෙම එක්තරා තීරණාත්මක ආකාරයට පිලිපීනයේ ගමන වෙනස් කරන්නා වශයෙන් බලයට පත්ව තිබේ.

පිලිපීනයේ ජනාධිපතිවරයා වශයෙන් සිටි අකිනෝ පරපුරේ නියෝජනය නරක එකක් නොවූ නමුත් රොඩ්‍රිගෝ ඩුටේර්ටේ එය දුෂිත ක‍්‍රමය නඩත්තු කරන්නට ඉඩ දෙන පාලනයක් හැටියට දකින්නේය. පල්ලිය ඔහු දරුණු ලෙස විවේචනය කරන ලද අතර එතුළ සිදුවෙමින් පැවැති අපචාර ගැන හැඟීමක් තිබූ ජනතාව පල්ලිය සහ පාලකයන් එකතු වී රට නොමනා ආකාරයට මෙහෙයවන බව කල්පනා කරන්නට පටන් ගත්තේය. ජනමාධ්‍ය ද ඔහුගේ කර්කශ විවේචනයකට ලක්විය. අපරාධකාර මාෆියාව, මාධ්‍ය හා පල්ලිය පාලනය ගෙන යන ක‍්‍රමයක් වශයෙන් පැවැති පාලනය හඳුන්වන ලද අතර එයින් වාසි ලැබුණේ වරප‍්‍රසාද පැලැන්තියට බව කියන විට පොදු ජනතාව එය අනුමත කරන්නේය.

මැනිලා හි ලයිසියම් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් රොඞ්‍්‍රගෝ ඩුටේර්ටේ පසුව නිතිය හදාරන්නේය. මාකෝස් බලයෙන් පහකරන ජනතා නැගිටීමට පසු හෙතෙම දේශපාලනයට එන්නේ නගර සභා මැතිවරණයෙන්ය. නගරාධිපති ධුරයට පත් විමෙන් අනතුරුව සමස්ථ මින්දනාවෝ දූපත සාමයෙන් පිරි තැනක් කරන්නට ඔහු උනන්දුවක් දැක්වීය. දේශපාලනඥයන්, සමාජ නායකයන්, විදුවතුන් ඇතුළු සියලූ පිරිසට විවාත ආරාධනාවක් කර ජීවත්වන්නට හොඳ පසුබිමක් ඇති නගරයක් හදන සමුළුවක් කැඳවූ අතර එයට ලැබුණ ප‍්‍රතිචාර ඔහු දිරිගන්වන සුළු වූ බව සඳහන්ය. හෙතෙම වැඩ කරන ලද තීරණගත් ආකාරය ගැන ජාතයන්තර දෙස් විදෙස් ඇගයීම් මෙන්ම ගැරහීම් ද තිබිණ. ටයිම්ස් සඟරාව වරක් ඔහු ගැන ලියන්නේ අධිබල ගිනි අවියක් රැන වීදි සරන පින්තූරයක් ද සහිතවය. තවත් අවස්ථාවල ඔහුගේ නායකත්වය සහ අදීන ක‍්‍රියාමාර්ග අගය කර සම්මාන පිරිනමන ලද නමුත් එකක් දෙකක් හැරෙන්නට අනෙක් පිරිනැමීම් ගැන ඔහු සලකා බලන්නේ නැත. 2015 අවුරුද්දේ දී ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ඉඟිය පළ කරයි. පක්ෂයෙන් ඉදිරිපත් වූයේ වෙනත් අපේක්ෂකයෙකි. ආධාරකරුවෝ ඔහු කෙරෙහි බලාපොරොත්තු තැබීය. අවසානයේ දී පක්ෂයේ නියෝජිතයා නුසුදුස්සෙකු වූ අවස්ථාවේ දී හෙතම ජනාධිපතිවරණයට තරඟ කරන ලේඛණ වලට අත්සන් තබන ලද අතර පිලිපීන ප‍්‍රජාතන්ත‍්‍රවාදී - ජනතා බලවේග පක්ෂයට බලය අත්පත් කරදෙන නියමුවා බවට පත්විය.

කොන්ග‍්‍රස් සහ සෙනෙට් සභා එකතු වී නිල ප‍්‍රතිඵල ප‍්‍රකාශ කරන විට ජයග‍්‍රාහී අපේක්ෂකයා පෙනී සිටිය යුතු නමුත් රොඩ්ගෝ ඩුටේර්ටේ එය ගණන් ගන්නේ නැතිව තමන්ගේ ගමට වී සිටියේ සම්ප‍්‍රදායී දේශපාලනය බිඳ අලූත් යුගයක් ඇති කරන විට පැවැති රාමු පවා වෙනස් කරන බවට ඉඟි කරමින්ය. ජනාධිපතිවරණ මත දැක්වීම් වලදී ඔහු බලය ඇති පැලැන්තිය විවේචනය කරන ලද අතර ඒවාට ශක්තිය දුන් බලවේග නිර්භීතව අනාවරණය කළේය. ඒවා ජනතා කැමැත්ත පැහැර ගැනීමට බලවත් සේ හේතු විය.

නොබෝදා එනම් තමන්ගේ කැබිනට් මණ්ඩලය තෝරා ගනිමින් ඉන්නා අතරවාරයේ හෙතෙම ජනමාධ්‍ය වෙත තද අනතුරු ඇගවීමක් කළේය. දුෂ්‍ය සහ අගතිගාමී මාධ්‍යවේදීන්ට මරණය අත්වන බවය. එය ආන්දෝලනාත්මක ආකාරයට ලෝකය පුරා මාතෘකාවක් වී තිබේ. 1986 සිට මාධ්‍යවේදීන් 186 ක් ඝාතනය වී ඇති ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට අපල භූමියක් සේ වාර්තාවී ඇති පිලිපීනයේ නායකයෙකු මේ ආකාරයට සඳහන් කරන විට එය මවිතයට කරුණක් වෙයි. නමුත් ඔහු කියන්නේ ‘‘ජනමාධ්‍යවේදීන් වශයෙන් ඔබලාගේ බහුතරයක් ඉතාම පිරිසිදු බවය. නමුත් සියලූම ජනමාධ්‍යවේදීන් පිරිසිදු නැති හෙයින් වැරදි කරන ලද අය පාඩමක් ඉගෙන ගත යුතු’’ බව මෙම ප‍්‍රකාශයෙහි අදහසයි.

රොඩ්‍රිගෝ ඩුටේර්ටේ නගරාධිපති වශයෙන් දවාවෝ නගරයේ ප‍්‍රචණ්ඩත්වය සහ මාෆියාව පාලනය කරන්නට නීතිය අතට ගෙන බලහත්කාරයන් වැඩකරන ලද බව මානව හිමිකම් සංවිධාන වල චෝදනා ගණනාවක් එල්ල විය. ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල් සහ හියුමන් රයිට් වොච් වැනි සංවිධාන කරුණු සහිතව තොරතුරු අනාවරණය කළේය. 2009 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී නගරයේ සිදුවන අභිරහස් ඝාතන වැලැක්වීමට නගරාධිපති පියවර නොගන්නා බවට චෝදනා කළේ ඔහු මේ පිටුපස ඉන්නා බව අඟවමින්ය. ඔහු මාෆියාවට විරුද්ධව යන විට එහි දී අතෘප්තියට පත් පිරිස මෙම චෝදනා කරන බව රොඩ්‍රිගෝ ඩුටේර්ටේ ගේ මතය විය. මම වැරදි නම් මෙපමණ කාලයක් මම තනතුරේ තියාගන්නට නගර වැසියන් කැමැති වෙන්නේ මන්දැයි හෙතෙම පෙරලා ප‍්‍රශ්න කළේ සාමකාමී ජනතාව තමන්ගේ පැත්තේ ඉන්නා බව අනාවරණය කරමින්ය.

ලෝකයේ රටවල් වල සිදුවෙමින් පවතින පෙරැළි අනුව රොඩ්‍රිගෝ ඩුටේර්ටේ වැනි සම්ප‍්‍රදාය නොසලකා රාමුවෙන් එපිටට යන්නට අවස්ථාව ලැබී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පැවැති පිලිපීනයේ බලය ඩුටේර්ටේ අතට එන විට මෙය ලෝකයේ නව ප‍්‍රවනතාවයක් වශයෙන් දකින ජගත් විචාරකයෝ ඔවුන් හැසිරෙන්නේ කෙසේදැයි විමසිලිමත්ව බලා සිටිති.