» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/03/2017 - දේශය
ජෝර්ජ් වෝෂින්ටන්ගේ ලියුමක බලපෑම

ජෝර්ජ් වෝෂින්ටන් ඇමරිකාවේ ඇමරිකාවේ පළමුවැනි ජනාධිපතිවරයාය. වසර 1789 සිට 1797 අවුරුදු අටක් හෙතෙම ඇමරිකානු රටවැසියන්ගේ නායකයා විය. නොබෝදා පත්වූයේ එරට හතලිස් පස් වැනි ජනාධිපතිවරයාය. ගතවූ ඉතිහාසය තුළ එරට නිර්මාතෘවරයා වශයෙන් වොෂින්ටන් පළ කරන ලද පුලූල් දර්ශණයේ බලපෑම අදටත් නොවෙනස්ව තිබේ. පළමුවැනියා වශයෙන් ජෝර්ජ් වොෂින්ටන් ඉලක්කයක් ඇතිව ක‍්‍රියා කරන ලද බව පැහැදිලි කාරණයකි. ඇමරිකාව ගොඩනගන කාලයේ විශාල බුද්ධියක්, කැපවීමක් සහිත කණ්ඩායමක් විනා විපක්ෂයක් තිබුණේ නැත. ව්‍යවස්ථාව සම්පාදනය කරන අතරවාරයේ බලය වෙනුවෙන් සීමා නොවීය. නමුත් වසර හතර බැගින් දෙවාරයක් රටට නායකත්වය දුන් හෙතෙම තුන්වන වාරයකට ඉඩ තිබිය දී නායකත්වයවෙන් ඉවත්ව අන්‍යයන්ට පාලනය කරන්නට ඉඩ සැලසීය.

හෙතෙම තම දෙවන ධුරකාලයේ අවසන් භාගයේ සිය නිවසේ සිට ලිපියක් ලියා ප‍්‍රසිද්ධ කළේය. නොබෝදා ඇමරිකානු ජනාධිපති වරයාව සිට බැරක් ඔබාමා විශ‍්‍රාම යන අවස්ථාවේ දී මෙයින් වියවස් ගණනකට කලින් ලියූ ලිපියේ අන්තර්ගතය ජනතාව අතර පරිහරණය වන්නට විය. එය එපමණ සාධාරණ, යුක්තිගරුක සංකල්ප වලින් පරිපූර්ණ හෙයින්ය. එයට පදනම සකස් වූයේ සම්ප‍්‍රදායෙන් මතු වූ අවශ්‍යතාවයයි. විශාම යන නායකයා රටවැසියන්ට තමන්ගෙන් කෙටි සදහනක් ඉදිරිපත්කරයි. එය ඉතා සංක්ෂිප්ත එකකි. බලයේ සිටි කාලයේ කරන ලද දේ එහි ලියන්නේ නැත. කරන්නට නොලැබුණේ විපක්ෂයේ කකුල් හරඹ නිසා යැයි ගතු කියන්නේ ද නැත. පරිසමාප්තාර්ථයෙන්ම අනාගත පරම්පරාවට හරබරවදන් වලින් කියන ආදර්ශවත් ලිපියකි.

ඔබාමා තම පළමු නායකයාගේ පදනම් ලිපියෙන් සමහර කරුණු උපුටාගෙන දැක්වීය. එය ගැඹුරු විශාල එකක් නොවේ. ප‍්‍රධාන කරුණු තුනකට කේන්ද්‍ර කර තිබුණි. අරමුණ වූයේ රට එක්සත්ව, එක්සිත්ව තබා ගැනීමයි. මුල් අරමුණු වලින් වෙන් නොකර නිදහස් උදාර රාජ්‍යයක තැනට පත් කරන ජවාධික අදහසයි. නායකයන් අතර මතවාදී අරගල ඇති නොවෙන්නට ඉඩ දී සාවධානව රට පවත්වාගැනීමේ උවමනාවයි. ඇමරිකාව තුළ මත අරගල ඇතිවී නායකයන් අතර උණුසුම් රළු වචන හුවමාරු වන විට මධ්‍යස්ථ උදාර හැඟීම් ඇති රටවැසියෝ මෙම මුල් පදනම මතක් කර එහි අගය සාකච්ඡා කරන්නට වන්හ.

බෙදුම්වාදය ගැන ජෝර්ජ් වොෂින්ටන් ට තර්කයක් තිබිණ. රට බෙදන්න එපා. ඔහු තම ලිපියෙන් නායකයන්ට ද පුරවැසියන්ට ද කියා සිටියේය. විශාල අදහස් වලින් සමන්විත නායකයන් රාශියක් ක‍්‍රියාකරන විට අදහස් අනුව රට බෙදෙන්නට බැරිකමක් නැතිබව වොෂින්ටන් වටහාගෙන සිටියේය. බෙදුනොත් රට විනාශ වේවි. ප‍්‍රවේශමෙන් කටයුතු කරන්න හෙතෙම ඉල්ලා සිටියේය. දෙවැනි කාරණය සේ දක්වන්නේ ණය ගැනීමය. රට ගොඩනගන බව කියා උවමනාවට වඩා ණය ගන්නට එපා යැයි දැක්වීය. රටට සල්ලි තිබුණත් නැතත් හැම ඩොලරයක්ම ඉතාම සැලකිල්ලෙන් ගණන් බලලා වියදම් කරන සේ මෙම ලිපියෙන් ඉල්ලා තිබුණි. ප‍්‍රධාන කරුණු තුන අතර අවසානයේ දී සඳහන් වූයේ අනවශ්‍ය අන්දමට විදේශ රටවල ප‍්‍රශ්න වලට ඇතුළු වෙන්න එපා යන අවවාදයයි.

මෙම අවවාද දැන් ඇමරිකාව අනුගමනය කරන්නේද යන්න සලකා බැලිය යුතු වෙනම කාරණාවක් වශයෙන්ය. රට බෙදන්න එපා කියන නමුත් පක්ෂ සහ මතිමතාන්තර වශයෙන් ඇමරිකාව තුළ විශාල බෙදීමක් තිබේ. ඩොලරයක් වියදම් කරන්නේ අන්තිම හොඳට හිතා බලලා දැයි ප‍්‍රශ්න කරන්නට හැකිය. වැදගත්ම කාරණය නම් අනුන්ගේ රටවල් වල ප‍්‍රශ්න වලට ඇතුළු වෙන්නට උත්සාහ නොකිරීමය. නමුත් කාරණා තුන අතරින් වඩාත්ම නරක සේ උල්ලංඝනය වන කාරණය කුමක් දැයි ජාත්‍යන්තරයට අවබෝධයක් තිබේ.

ඔබාමා මෙම කරුණු හුවා දක්වමින් අලූත් සංකල්පයකට දොරටු විවර කරන ලද්දේ රාජ්‍යයේ වැදගත්ම නිලධාරියා පුරවැසියා බවයි. අගමැති හෝ ජනාධිපති ඕනෑම රටක වැදගත් නමුත් රටවැසියාට වඩා ඉහළ තැනක් නොවිය යුතු බව කියා තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අගය එය විය යුතුය. නායකයන් පත්වන්නේ ජනතාවගේ කැමැත්තෙන් බව සඳහන් කරන්නට අවශ්‍යය. පරමාධිපත්‍ය පවරන්නේ රට සුදුසු තැනකට ඔසවා තබනු ඇතැයි යන විශ්වාසය ඇතිවය. නමුත් බලයට පත්වන නායකයන් කරන්නේ ජනතා පරමාධිපත්‍ය තමන් අතට ගෙන එය තුළින් ස්වකීය බලපරාක‍්‍රමය ඔසවා එයින් ඉහළටම නැගීමයි. රටවැසියා උත්තම පුද්ලයෙකු බවට පත්වන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුහුණපා ඇති අනතුර එයයි. සියවස් ගණනක් තළ සිදු වූ පරිවර්තනය හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූළික ගුණාංග විනාශ වන විට බුද්ධිමතුන් එය නොයෙක් ආකාරයෙන් පෙන්වා දී තිබේ. ජෝර්ජ් වොෂින්ටන්ගේ ලිපිය ගැන එහි එක වදනක් ගානේ උපුටා දක්වමින් දැවැන්ත කෘති සම්පාදනය වී තිබේ. නමුත් මනුෂ්‍ය ගති ගුණ සහමුලින්ම අති විශිෂ්ඨ තත්ත්වයට පත් කරන්නට පුලූවන්කමක් ලැබී නැත. එකිනෙකට වෙනස් අඩුපාඩු හෙයින් ලෝකය අතිමහත් ප‍්‍රශ්න ඇති, නොවිසªන ගැටළු වලින් සමන්විත තැනක් බවට බත්ව තිබේ.

තමන්ගේ දැක්ම අනුව ජනතාවගෙන් ලබා ගත් බලය එනම් පරමාධිපත්‍ය ආපසු පවරා යන නායකයෙකුට ලිහිල්ව සිතා බලා තමන් දක්නා දේ අනුව යමක් පුරවැසියන්ට පවසන අවස්ථාව ඉතාම වැදගත් බව දැක්විය යුතුය. ඔබාමා සිය ලිපියෙන් ආපසු හැරී ඉතිහාසය දක්වන අතර ජෝර්ජ් වොෂින්ටන් යනු කවුදැයි වර්තමාන පරපුරට දක්වයි. එකල ඇමරිකානු නායකයන් අතර විශාල බුද්ධිමත් සංවාදයක් තිබිණ. වොෂින්ටන් ගේ කැබිනට් මණ්ඩලයේ සිටි හැමිල්ටන්, ජෙෆර්සන්, වෙලින්ටන් වැනි නායකයන් පසුව ඇමරිකාවේ අනාගතය භාර ගත් අතර එකී සියළුම විද්වතුන් සතු වූ උදාර පරමාර්ථ වෙනුවෙන් විශාල මත සංවාදය එකල රට තුළ පැවැති එකක් විය. ඉතාම සුක්ෂමව සකස් කරන ලද ව්‍යවස්ථාව සහ නොදෙවෙනි සම්ප‍්‍රදායානුකූල පාලනයක් වෙනුවෙන් පදනම හැදෙන්නේ මෙම අති විශිෂ්ඨ සංවාද වලින් පුව බව අදත් ජාත්‍යන්තර විචාරකයන්ගේ ඒකමතික අදහසයි. මෙම නායකයන් අතර ප‍්‍රතිපත්ති මට්ටමින් විශාලපරතරයක් විය. ජෝර්ජ් වොෂින්ටන්ගේ එකම අදහස වූයේ රටක් ගොඩනගන එක අමාරු බව දැනගෙන රට එකට තිබාගෙන ආරක්ෂා කරගැනීම ඉතාම අවශ්‍ය කාරණය බවයි. විශාල බලවත් කණ්ඩායමක් එක රැහැනකින් බැද තමන්නට මෙවැනි ප‍්‍රධාන කරුණු තුනකින් සමන්විතලිපියකට හැකි වූ අතර එය අදටත් පරමාදර්ශයක් බවට පත්ව තිබේ.

එක නායකයන් කණ්ඩායමක්, එක පක්ෂයක් ඇමරිකාව ගොඩනගන අවස්ථාව වන විට ජෝර්ජ් වොෂින්ටන් තුළ තිබුණ අවිනිශිචිතභාවය වූයේ බෙදීමක් ඇතිවිය හැකිය යන්නය. බෙදෙන ගමන වලක්වනු සඳහා ඔහු සතුව තිබූ බලය අනුව තුන්වන වාරයටකට ද ජනාධිපති වන සුදුසුකම තිබිණ. නමුත් වහා අදහස වෙනස් කරගෙන මෙවැනි ලිපියක් ලියා අනුප‍්‍රාප්තිකයන්ට අවස්ථාව දෙන්නේ අති විශාල බල හුවමාරැවක් වශයෙන්ය. සෑහෙන කාලයක් යන තුරු දෙවන පෙල අතර පක්ෂ බල අරගල නොතිබුණ අතර ඇමරිකාවට වාසියක් වූයේ එය බව සැලකේ.

මෙම ලිපිය කෙටුම් පත් කිරීම හා ප‍්‍රකාශයට පත් කිරීම සම්බන්ධව ද කරුණු සදහන්ය. ඒ වෙනුවෙන් ඔහු තෝරා ගෙන තිබුණේ ඔහුගේ සහායක ජේම්ස් මේසන්ය. බුද්ධිමත් කණ්ඩායමක් පත් කරගෙන එහි වචනයක් පාසා අධ්‍යයනය කරන්නේය. පසුව එය රට වැසියන් වෙත නිකුත් කරයි.

ඇමරිකාවේ නිර්මාතෘ ජෝර්ජ් වොෂින්ටන් අගය කරන්නේ ශක්තිමත් පාලනය, නිර්භීත තීන්දු සහ ඉතා පිරිසිදු ප‍්‍රතිපත්ති හෙයින්ය. නිරවද්‍යතාවය වෙනුවෙන් හෙතෙම පෙනී සිටියේය. හොද මූළ්‍ය පාලනයක් ඇති, වගකිව යුතු නායකයන් බිහි කරන ලද ඇමරිකාවේ මෙම පසුබිම පසුව ප‍්‍රංශ විප්ලවයට ද පදනමක් වෙයි. 1940 දී ප‍්‍රැන්කිලින් රූස්වෙල් හැරෙන්නට කිසිම ව්‍යවස්ථා නීතියක් නොතිබිය දී පවා වාර දෙකකට වඩා රට පාලනය නොකරන්නට සහ ප‍්‍රතිපත්ති ගරුකව හැසිරෙන්නට ඇමරිකාවට මාවත සකස් කරන්නේ වොෂින්ටන් බව අවිවාදිතය. 1951 දී පැවැති ව්‍යවස්ථා සංශෝධනයකින් පසු වාර ගණණ සීමා කරන තීරණයට එළැඹියේය. රටක් පාලනය කරන වාරගණන, හෝ දින ගණන වෙනුවට එයන් පසු සියවස් ගණනක් යනතුරු ජනතාන්ත‍්‍රිකයන්ගේ පැවැත්ම මුදුන් මුලක් සේ පවතින්නේ නම් එවැනි රාජ්‍යක සාර්ථකත්වයට අන් යමක් අවශ්‍ය නැත.