» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/11/2018 - දේශය
ලෝකෙම කතා කරන නෝර්වේ මාලූ වෙළෙන්දා

නෝර්වේ ජාතික තරුණයෙකු මුහුදේ මාලූ අල්ලමින් සිටියේය. කජෙල් ඉන්ග් රොක් නමැති මෙම තරුණයා අවුරුදු දහඅට සම්පූර්ණ වූවා පමණකි. එවකට අඩුම තරමින් ද්විතියික අධ්‍යාපනයක් හෝ ලබා සිටියේ නැත. ඇමරිකානු ට්‍රෝලර් ධීවර යාත‍්‍රාවක රැකියාවක් ලැබුණි. ඇලස්කාවේ මාලූ ඇල්ලීම වෘත්තිය විය. උපයන මුදල් පරෙස්සමෙන් පරිහරණය කළේය. ඉතිරි කරන ලද මුදලින් කුඩා ට්‍රෝලර් ධීවර යාත‍්‍රාවක් මිල දී ගෙන හුරු පුරුදු ජීවනෝපාය කරගෙන ගියේය. 1979 දී ඇමරිකානු යාත‍්‍රාවක මාලූ අල්ලන්නට ගිය හෙතෙම පදිංචියට තෝරා ගත්තේ වොෂින්ටන් නගරයයි. 1980 වන විට ඇමරිකානු මුහුදු ආහාර සමාගමක අයිතිකරු වශයෙන් ප‍්‍රකට ව්‍යවසායකයෙකු සේ නමක් දිනා ගත්තේය. එයින් වසර දහයකට පසු රොක් නැවත නෝර්වේ බලා පිටත් වෙයි. තවත් ව්‍යාපාරය පුලූල් කරන ලද අතර නෝර්වේ හි ප‍්‍රධාන සමාගමක් වන අකේර් ඒ.එස්.ඒ. හි ප‍්‍රධාන කොටස්කරු බවට පත්ව තිබේ.

කජෙල් ඉන්ග් රොක් ධීවර වෘත්තියෙන් නොනැවතී ව්‍යවසායක අංශයේ ඉහලම තැනට නැග ඇත. ඔහු ගැන ජගත් ප‍්‍රජාව අවධානය යොමු කර ඇත්තේ ඇයි? අති විශාල ධනයකට හිමිකම් කියන හෙතෙම එයින් ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක මුදලක් මහ මුහුද පිරිසිදු කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියකට වෙන් කර ඇත. එකක් විශාල නැවක් සාගර පර්යේෂණය වෙනුවෙන් යෙදවීමය. අනෙක ඔස්ලෝ නගයේ සාගර පර්යේෂණාගාරයක් ඉදිකෙරේ. සාගරය නිතිපතා අපවිත‍්‍ර වෙමින් තිබේ. විශේෂයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින්ය. ලෝකයේ නොයෙක් රටවල් වලින් මහා පරිමානයෙන් මහ මුහුදට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමණාකරනය මෙම ව්‍යාපෘතියේ මූලික කාර්ය භාරය වී තිබේ. නැව පාවෙන පර්යේෂණාගාරයකි. සාගරය ගැන තොරතුරු සොයන අතර ඒවායෙන් අනාගත සාගර සම්පත් ආරක්ෂා කරන දැවැන්ත ව්‍යායාමක් සේ මෙම නැව නම් කර ඇත. අඩි 596 ක් දිග දැවැන්න ලෝකයේ පැවැත්ම වෙනුවෙන් භාර කරන මෙම සුපිරි ධනවතා ‘‘මම උපයා ගත් ධනය නැවත සමාජයට දිය යුතුය’’ යන ඉතාම අගය කළ යුතු ස්ථාවරයෙහි සිටී.

කජෙල් ඉන්ග් රොක් නෝර්වේ හි මෝල්ඬේ ප‍්‍රදේශයේ උපත ලබා තිබේ. බාල අවධිය ගැන වැඩිදුර තොරතුරු අනාවරණය නොවේ. අධ්‍යාපන පහසුකම් සහිත සංචාරකයන් රුචි කරන සංස්කෘතික වටපිටාවක් සහිත එහි මුහුදු මත්ස්‍ය නිෂ්පාදනයට ප‍්‍රකටය. අධ්‍යාපනය හෝ සංස්කෘතික අංශයට නැඹුරු නොවූ කජෙල් තෝරා ගත්තේ මුහුදු රස්සාවයි. එය ඔහුගේ ජීවිතයට වාසනාව කැඳවීය.

වෙරළට වී මාලූ අල්ලමින් සිටි ධිවරයන්ගේ කටයුතු ගැන කුඩා කජෙල් බලා සිටියේය. ඉස්සන් අල්ලන කුඩා යාත‍්‍රාවක නැගී දියඹට යන්නට ද ඉඩ ලැබිණ. එයින් ‘‘මහත් සතුටක් ලැබූ’’ බව පසු කාලයක කියා තිබේ. ‘‘මගේ පවුලේ අය විශේෂයෙන් අම්මා කෘෂි හා ධීවර කටයුතු වලට සම්බන්ධයි. එය අපගේ පවුලේ උරුමයක්’’ බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කර ඇත. විශාල ධනවතෙකු බවට පත්වීමෙන් පසු පවා තමන්ගේ පසුබිම අමතක කළේ නැත. නෝර්වේ මත්ස්‍ය වෙළඳාම සඳහා ධීවර වරායේ ඇති වෙළඳ සැලක බලපත‍්‍රයක් කජෙල්ට අයත්ය. කලාතුරකින් එහි යන හෙතෙම පරණ පුරුදු අන්දමට පාරිභෝගිකයන්ට මාලූ විකිණීමෙන් මෑතක් වන තුරු සතුටක් විඳීන ලද බව සඳහන්ය.

ධීවර යාත‍්‍රාවක නැගී ඇමරිකාවට යන අවස්ථාව ඔහුගේ නැඹුරුව වෙනස් කරයි. එහි දී ධීවර කර්මාන්තයේ නිරත වූ හෙතෙම පළමු යාත‍්‍රාව මිල දී ගන්නා අතර එයට කරීනා යැයි නම් තබයි. ඔහු ඇමරිකාවට ගොස් එහි දී ඇති කරගත් දියුණුව පදනම් කරගෙන තව තවත් ව්‍යාපාර අරඹන අතර පසුව නොර්වේ බලා පැමිණ එරට අඩපණ වෙමින් තිබුණ ව්‍යාපාර වල කොටස් මිල දී ගෙන ඒවායේ ආයෝජනය කිරීමට මහන්සි වී තිබේ. ඇතැම් සමාගම්වල සුළු කොටස් මිල දී ගෙන එයට ප‍්‍රවේශවන හෙතෙම පසුව විශාලම කොටස්කරු වන තෙක් මිල දී ගැනීම් කරන බව නිරීක්ෂණය කළ හැකිය. ලන්ඩන් හි සුප‍්‍රකට විම්බල්ඩන් පාපන්දු සමාජය මිල දී ගැනීම ආන්දෝලනාත්මක සිද්ධියක් වූ අතර එහි ක‍්‍රීඩා ලෝලීහු කොටසක් එයින් ඉවත් වී වෙනම ක‍්‍රීඩා සමාජයක් පිහිටුවන්නට පවා පියවර ගත්හ.

ඛනිජ තෙල්, සිමෙන්ති හා පසුව ඉංජිනේරු හා ඉදිකිරීම් යන අංශ වලට ව්‍යාප්ත වූ ඔහුගේ ව්‍යාපාර අතිශය වේගවත් වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි. ඒවායේ ඇතැම් ව්‍යාපාර නොර්වේ කොටස් වෙළඳ පොල ලැයිස්තු ගත කරන ලද අතර ඒවායේ කොටස් වලට හොඳ ඉල්ලූමක් තිබුණි.

කජෙල් ඉන්ග් රොක් ගේ ජීවිත ගමන මුහුදේ රළ පෙළ මත ආයාසයෙන් නැගී වර්ධනය වූ එකකි. අභියෝග සෑහෙන ප‍්‍රමාණයක් විය. එක අවස්ථාවක දී බලපත‍්‍ර රහිතව ධීවර කටයුතුවල නිරතවීම හෙයින් සිරදඬුවම් නියම වී තිබේ. 2005 වසරේ දී නෝර්වේ අධිකරණය ඔහු වරදකරු බව ප‍්‍රකාශයට පත් කරන අතර දින 120 ක සිර දඬුවමක් නියම වෙයි. එය දින විසි පහකට සීමා වන සේ ගෙවා දමන අතර එය කිසිසේත් අධෛර්යයට හේතුවක් කරගන්නේ නැත.

පරිසරය සඳහා වන අන්තර් ජාතික නෝර්වේ අරමුදල සමග සාකච්ඡා කරන කජෙල් පසුගිය වසරේ මැයි දහ හත් වැනිදා විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරයි. එය නාවික පර්යේෂණාගාරය ගැනය. මුහුද ගැන සොයා බලා පර්යේෂණ වාර්තා පළ කරන අරමුණ ඇතිව නිපදවන මෙම නැව වසර 2020 වන විට නිල වශයෙන් රාජකාරි අරඹනු ඇත. ලෝකයේ විශාලතම සාගර පර්යේෂණාගාරය වනු ඇති අතර එයට සබ්මැරීන්, මුහුද පත්ල පරීක්ෂා කළ හැකි විශේෂ මෙවලම් සහ රසායානාගාර හයක් සහිත විශේෂ නැවකි. තිස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් හා එමෙන් දෙගුණයක් පර්යේෂකයන් එහි සේවයේ නිරත වනු ඇත. දිනකට ප්ලාස්ටික් ටොන් පහ බැගින් එකතු කරන්නට එයින් සැලසුම් කර තිබේ.

පළමු විවාහයේ දරු දෙදෙනා සහ අලූත් විවාහයේ දරුවා සමග තිදෙනෙකුගෙන් යුතු පවුලේ අරමුණ ලෝකය යහපත් තැනක් කිරීමය. බිරිඳ හා එකතු වී ‘‘ඒකර් ශිෂ්‍යත්ව’’ ක‍්‍රමයක් ද ස්ථාපිත කර තිබේ. නෝර්වේ හි දක්ෂ දරුවන්ට ලෝකයේ උසස්ම විශ්ව විද්‍යාලවල ඉගෙන ගැනීමට එයින් සම්පත් දායකත්වය සැපයේ. අනාගතයේ දී නෝර්වේ ව්‍යාපාර, කර්මාන්ත හා සේවා අංශ උසස්ම තැනකට ගෙන එන අතර ජන සමාජය පරිවර්තනය කිරීම කජෙල් පවුලේ අරමුණ වී ඇත.

නෝර්වේ හි කී‍්‍රඩා සහ සංස්කෘතික අංශ වල දියුණුවට ප‍්‍රදානය කර ඇති මුදල මහත්ය. නොබෝදා හෙතෙම සිය බිරිඳ ඇනී ගේ‍්‍රටී හා එක්ව සිය වත්කම් වලින් කොටසක් බිල් ගේට්ස් හා වොරන් බෆට් ආරම්භ කර ඇති අරමුදලට බැර කරන බව ප‍්‍රකාශයට පත් කළේය. එසේ පරිත්‍යාග කරන්නට බැරිකමක් ඔහුට නැත කජෙල් ඉන්ග් රොක් නොර්වේ හි ධනවතුන්ගේ ලැයිස්තුවේ දහවැනියා බව ප‍්‍රකාශ වෙයි. සියළු සම්පත් උපයාගත්තේ මහ මුහුදෙන් අල්ලා ගත් මාලූ වලින් බව හෙතෙම අමතක කර නැත. වෙරලේ සිට බෝට්ටුවල කරන ධීවර කටයුතු දෙස බලා ගෙන සිටි දරුවෙකු වශයෙන් එහිම ගැලී ජීවිතය ජයගත් කජෙල් ලෝක ප‍්‍රජාව ගේ අවධානය දිනාගත් චරිතයක් වී ඇත. සිය පරිත්‍යාග වලින් ප‍්‍රයෝජනයට ගන්නා ප‍්‍රජාව මගින් අනාගතයේ දී ලෝකයේ සමාන අවස්ථා ඇති කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි.