» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/10/2015 - දේශය
ක්ලින්ටන්ගෙන් චිත‍්‍රපටයක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තෑවැනි සැසිවාරයට ලෝක නායකයන් සහභාගී වන්නේ උනන්දුවකින්ය. ඒ වෙනුවෙන් එකතුවෙන්නට නිල පෙළඹවීමක් තිබේ. සංවිධානයේ සාමාජිකයන් වශයෙන් සැසිවාරයට සහභාගීවීම වැදගත් එකකි. එයට සහභාගී වන සියලූ දෙනාට ලෝක නායකයන් සමග සාකච්ඡාකරන්නට විවෘත අවස්ථාවක් ලැබේ. ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මුණ ගැසෙන්නට ලැබෙන අවස්ථාව අපතේ හරින්නට ද, ලෝක නායකයෝ සූදානම් නැත.

එක්සත් ජාතීන්ගේ සමුලූව පැවැත්වෙන අතර නිව්යෝක් නගරයේ දි ක්ලින්ටන් පදනමේ වාර්ෂික සංවත්සරය ද පැවැත්වෙයි. ලෝකයේ ප‍්‍රමුඛ පුද්ගලයන් දහසක් එයට ආරාධනා ලැබ තිබේ. ලෝක නායකයන් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආරාධනය නොසලකා හරින්නේ නැත. ඇමරිකාවේ ජනාධිපතිවරුන් අතර සිටි බුෂ්, ජිමී කාටර් හෝ වෙනත් නායකයෙකු මුණ ගැසීමට වඩා ක්ලින්ටන් හිටපු ජනාධිපතිවරයාගේ ඇයුමක් ලෝකයේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට වැදගත්වන්නේ ඇයි? එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගීවන අතරවාරයේ ක්ලින්ටන් පදනමේ ආරාධනාව පිලිගන්නට ලෝක නායකයන්ට විශේෂ හේතුවක් තිබේද? එයට විශේෂ හේතුවක් තිබේ. ක්ලින්ටන් පදනම පෙන්වන වාර්තා චිත‍්‍රපටයම නොවේ. සැසියට සහභාගීවන ආරාධිතයන්ට නවීණ තාක්ෂණයෙන් යුත් වර්චුවල් රියැලිටි වර්ගයේ චිත‍්‍රපටයක් සුවිශේෂී තාක්ෂණය යටතේ නරඹන්නට සිදුවෙයි. එයින් පෙන්වන්නේ පදනම ලෝකයේ නොයෙක් තැන ක‍්‍රියාත්මක කරන වැඩසටහන්ය. සැම්සුන්ග් ආයතනයේ නවතම තාක්ෂණය නිසා එය නරඹන අයට පෙනෙන්නේ ත‍්‍රිමාණව සහ තමන් ද එහි එතැන සිටින ආකාරයටය. මවිත කරන කාරණාව එයයි.

එම හේතුව වඩා වැදගත් අවධානයක් ඇතිකරන කාරණ්‍යක් තිබේ. ජනාධිපතිධුරයෙන් විශ‍්‍රාම ගෙන ඇති නමුත් බිල් ක්ලින්ටන් තමන්ගේ මෙහෙවර අවසන් කර නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ලැබුණ වරම අවසන් කළ ක්ලින්ටන් තමන්ගේ ධෛර්යයෙන් අලූත් වටයකින් ලෝක අවධානය දිනා ගෙන තිබේ. පුද්ගලයෙකු වශයෙන් කැපී පෙනෙන තැනක් අත්පත් කරගෙන සිටී. එයට මුල් වෙන්නේ ක්ලින්ටන් පදනමයි. 2005 අවුරුද්දේ පිහිටුවන එය අද සැලකිය යුතු ගෞරවයක් හිමිකරගෙන ඇති ජාත්‍යන්තර ආකෘතියකි. පදනම පිහිටුවාගෙන තම බලය අලූත් ආකාරයකට තහවුරු කරගෙන ඇති බව මෙවර පවත්වන ක්ලින්ටන් පදනමේ එකොලොස්වැනි සංවත්සරය අ`ගවන්නේ බලවත් ආකාරයකටය. ක්ලින්ටන් පදනම රාජ්‍ය තාන්ත‍්‍රිකත්ව යුගය අවසන් වූ පසු ජන තාන්ත‍්‍රිකත්වයට මාවත විවෘත කරගෙන ඇත්තේ ඒ අනුව බව ස`දහන් කළ හැකිය.

පුද්ගලයෙකුගේ ශක්තිය තුළින් වෙනසක් ඇති කරන බලවේග ගොඩනැගෙන ආකාරය සමබන්ධව මේ පෙන්වන්නේ තවත් එක් පැත්තක උදාහරණයකි. ජනාධිපතිවරයෙකු වශයෙන් ක්ලින්ටන් ජාත්‍යන්තර තලයේ මතුකරගෙන තිබූ බලවත් ප‍්‍රතිරූපයක් තිබිණ. වාර දෙක අවසානයේ දී විශ‍්‍රාම ගෙන විශ‍්‍රාම ගෙන නිදහසේ පැත්තකට වෙන්නට ක්ලින්ටන් තීරණය කළේ නැත. නිල බලයෙන් ඇමරිකාවේ ජනාධිපතිධුරයෙන් ඉවත්වන විට තිබූ ප‍්‍රතිරූපයට ආකාරයටම ජාත්‍යන්තර අවධානය දිනාගන්නට එහු පිහිටුවන ක්ලින්ටන් පදනම සමත්වෙයි.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය හැත්තෑවෙනි වතාවට පැවැත්වෙන විට ක්ලින්ටන් සිය පදනමේ සැසිවාරය නිව්යෝ්ක් නගරයේ දීම පවත්වයි. ලෝකයේ නායකයන් වශයෙන් රාජ්‍ය තාන්ත‍්‍රික, දාර්ශනික, ව්‍යාපාර සහ සිවිල් සමාජ නායකයන් දහසකට එම අවස්ථාවට ආරාධනා කරයි. ඇරයුම ලැබ එතැනට එන සියලූ දෙනාට වගකීමක් තිබේ. ක්ලින්ටන් ග්ලෝබල් ඉනේෂියේටිව් සංවත්සරයට එන නායකයන් ලෝකයේ උන්නතිය උදෙසා අලූත් ව්‍යාපෘති හෝ සංකල්ප දහසක් මෙහිදී යෝජනා කරන්නට අවශ්‍යය. එපමණක් නොවේ ලබන වසරේ දි එම ව්‍යාපෘති සාර්ථක කර ඒවායේ ප‍්‍රතිඵල ඉදිරිපත් කරන පොරොන්දුව ඇතිවය. ඒ අනුව හුදෙක් සම්ප‍්‍රදායික කතා සාප්පුවක් පමණක් නොවේ. ලෝකයට සහ මිනිස් වර්ගයාට යමක් කරන ඉලක්කයක් ඇතිව ගෙන යන ව්‍යායාමයකි.

හො`ද අදහස් තුළින් නියම ප‍්‍රතිඵල ඇති කර යහපත් සමාජයක් හදන්නට යන අරමුණ ඇතිව මෙම පදනම මෙහෙයැවෙයි. ඉදිරි වසර දහය තුළ ලෝකයේ පැවැත්ම සම්බන්ධයෙන් ඉතා ඉහළ බලාපොරොත්තු ඇති කරන්නට මෙම වැයම බලවත් පරිශ‍්‍රමයක් දරයි. පදනම එකතු කර ඇති දත්ත වලට අනුව රටවල් එකසිය අසූවක ව්‍යාපෘති 3,200 ක් මගින් මනුෂ්‍යයන් මිලියන 430 ක ජීවිත වෙනස් කරන්නට මෙම කැපවීම සමත්ව තිබෙන බව අනාවරණය වෙයි. එය ඉතා විශාල බලපෑමක් බව පැහැදිලිව පෙනේ.

ඇමරිකානු සමාජයේ ක‍්‍රමය අනුව විශ‍්‍රාම යන ජනාධිපතිවරුන් තමන්ට ගැලපෙන ආකාරයට අඛණ්ඩව කිසියම් සමාජ කාර්යයක් කරන්නට කැපවෙයි. එය ඉතා නිහ`ඩ සේවාවක් වන බව පැහැදිලිය. නමුත් ක්ලින්ටන් සිය එකම දියණිය චෙල්සියා ද සම්බන්ධ කරගෙන ආරම්භ කරන ලද මෙම සැලසුම නැවත වතාවක් ක්ලින්ටන් නම ඉහළටම ඔසවා තබන ලද බව ස`දහන් කළ යුතුව තිබේ.

ක්ලින්ටන් හිටපු ජනාධිපතිවරයාට කලින් බලයේ සිටි බුෂ් ජනාධිපතිවරයාට මෙවැනි අලූත් දෙයක් කරන්නට තද උවමනාවක් තිබුණේ නැත. ඔහු කියන ආකාරයට අනුව ජනාධිපති ධුරයෙන් ඉවත්වන විට තමන් ගේ කාර්යය අවසන්ය. ජිමී කාටර් ද වෙනස් නායකයෙකි. ඔහු ධුර කාලය හමාර වන විට තම ජෝර්ජියාවේ දී, කාටර් මධ්‍යස්ථානය පිහිටුවන්නේය. සාමය සහ මානව හිමිකම් වැනි කරුණු ගැන එහි යමක් සිදුවෙයි. සුළු වශයෙන් ජනහිතකාමී දේ වලට නැඹුරු වන්නේය. ලෝකයේ කොතැනකින් හෝ තොරාගත් තැනක නිවෙසක් ඇවැසි කෙනෙකු තෝරා නිවහනක් ගොඩනගා දී ජීවිත සාර්ථක කර ඔහු තෘප්තිමත් විය. දැන් බලයේ ඉන්නා ජනාධිපති බැරක් ඔබාමා පවා තමන්ගේ විශ‍්‍රාම කාලයේ දී කරන දේ ගැන දැනි සිටම සැලසුම් කරයි. නායකයන්ගේ ස්වභාවය එසේය. තනතුරින් විශ‍්‍රාමයාම යනු බලය අහිමිවීම නොවේ. නැවත නිවෙසට ගොස් විවේක ගැනීම නොවේ. වැඩ නතර කර සැහැල්ලූවෙන් ජීවත්වීමට තිරණය කිරීම ද නොවන බව ස`දහන් කරන්නට අවශ්‍යය. වැදගත්වන්නේ තමන්ගේ චරිතයෙන් අලූතෙන් යමක් කිරීමය. ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් ඉතාම බලවත් භාවයක් බලයේ සිටින විට ඇතිවෙයි. එය අමතක කර ගමන අවසන් කිරීම වැදගත්ම තීන්දුවක් නොවේ. තමන්දිනාගත් තැන සිට ආපසු හැරෙන විට එය මතක හිටින ආාකරයට කරන්නට තීරණය කිරීම අගය කළ යුතුය. ක්ලින්ටන් ගේ උත්සාහය ඒ අතර කැපී පෙනෙයි. ලෝකයේ එකිනෙකට වෙනස් තල වල නායකයන් ඇතුළු ජන සමාජය තුළ පරිවර්තනයක් උදෙසා කැපවෙන්නට සූදානම්සමාජයක් හදන්නට හෙතෙම සමත්වන්නේ ඒ නිසාය.

මෙවර එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගීවන ලෝක නායකයන් අතුරින් සමහරෙකු ආරාධනා ලැබ මෙම ක්ලින්ටන්ගේ වැඩ සටහනට ද එක්වෙති. ආරාධිතයන් ක්ලින්ටන් හමුවෙන්නේ පොරොන්දුවක් සහිතවය. එම පොරොන්දුව සමාජය වෙනුවෙන් අලූත් දෙයක් ඉදිරිපත් කිරීමය. ඉදිරිපත් කිරීම පමණක් නොව ඒ කෙරෙහි බලවත් කැපවීමෙන් අවුරුද්දක් ඇතුළත එය ක‍්‍රියාත්මක කර ප‍්‍රථිඵලය ජන සමාජයට පෙන්වන වගකීම ඇතිවය. ක්ලින්ටන් ග්ලෝබල් ඉනේෂියේටිව් සංවත්සරයට සහභාගී වෙන්නේ විශේෂිත පුද්ගලයන්ය. ඔවුන් ගේ ශක්තිය සහ බලය අනුව අලූත් යමක් හිතන්නට විශාල පසුබිමක් තිබේ. ක්ලින්ටන් ස්වකීය පෙළඹවිම ඇති කරන්නේ අලූතින් යමක් කරන්නටය. පුද්ගලයෙකු සතු බලය එයයි. රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය හා සමානවම නැගෙන ජනතාන්ත‍්‍රිකත්වය පෙන්වන නවතම රාමුව මෙයින් හ`දුනාගත හැකිය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.