» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/09/2016 - දේශය
බිල් ගේට්ස් ගේ කිකිළි පැටව්

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ දී දිළිඳු ජනතාව නෛතිකව බලගන්වන අන්තර් ජාතික කොමිසමක් පත් කරයි. එයින් අපේක්ෂා කළේ ලෝකයේ දිළිඳුකම වසර දහයක් ඇතුලත හරි අඩකින් අඩු කරන වෑයමකි. රටවල් වල බලපවත්වන නීති රීති වෙනස් කර දිළිඳුකම තුරන් කළ හැකි බව යෝජනා කළ මෙම විද්වත් කොමිසම සිය වාර්තාව ලෝක නායකයන් වෙත භාර දුන්නේය. නමුත් අදටත් දුප්පත්කම තුරන් වී නැත. අලූත් වාර්තා පෙන්වන්නේ දිනකට ඇමරිකානු ඩොලර් 1.9 කට අඩු ආදායමකින් ජීවත්වන ජන පිරිස සමස්ථ ජනගහනයෙන් සියයට 12.7 ක් බවය.

ලෝක ප‍්‍රකට චරිතයක් වන බිල් ගේට්ස් දුප්පත්කම නැති කරන්නට ප‍්‍රායෝගික ප‍්‍රයත්නයකට අවතීර්ණ වී තිබේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ වන හෙතෙම අද එම ව්‍යාපාරය ලෝකයේ විශාලතම පරිගනක මෘදුකාංග සමාගම බවට පත් කර තිබේ. අලූත්ම වාර්තා අනුව ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 78.6 කි. ධන කුවේරයෙකු පමණක් නොව නිර්මාණශීලී සංකල්පධාරියෙකු වන හෙතෙම දුප්පත් ජනතාව එතැනින් ඉහළට ඔසවා තබන ප‍්‍රයත්නයකට මුල පුරා තිබේ. ව්‍යවසායකත්වයකි. අපහසු දෙයක් නොවේ. කිකිළියන් ඇති කිරීමය. අප‍්‍රිකානු කලාපයේ ජීවත් වන දිළිඳු ප‍්‍රජාවගේ ජීවිත යහපත් කරන්නට කිකිළයන් ඇති කිරීම හොඳ ව්‍යවසායයක් බව ඔහුගේ අදහස අනුව ඉදිරිපත් කරයි. හෙතෙම ගණන් බලන්නේ අමුතු අන්දමකටය. කිකිළි පැටවුන් පස් දෙනෙකු අත් පත් කරගතහොත් මාස තුනකින් කුකුළු පැටවුන් හතලිහක් හදා ගත හැකිය. අවුරුද්දක් අවසානයේ දී එක සතෙකු ඇමරිකානු ඩොලර් පහ බැගින් විකිණුන සත්ව පාලන ව්‍යාපාරයක් ඇරඹුවහොත් අවුරුද්දකින් පහසුවෙන් ඇමරිකානු ඩොලර් 1000 ක් එයින් උපයාගත හැකි බව දක්වයි. බටහිර අප‍්‍රිකාවේ දී එය පහසුවෙන් කරගත හැකි බව කියන හෙතෙම දරිද්‍රතා රේඛාව වන අවුුරුද්දකට ඇමරිකානු ඩොලර් 700 ඉක්මවිය හැකි කියන්නේ දිළිදු බවෙන් මිදෙන්නට අවස්ථාව ඇති බව දක්වමින්ය.

මන්ද පෝෂණය නිසා ලෝකයේ අවුරුද්දකට මිය යන දරුවන් ගණන මිලියන 3.1 කි. ‘‘ බිත්තරයක් ආහාරයට දිය හැකි සමාජයක් හදන්නට පුලූවන් නම් එම දරුවන් ගේ පෝෂණය නැංවිය හැකිය.’’ බිල් ගේට්ස් උපකල්පනය කරයි. බිලියනයකට වැඩි පිරිසක් දුප්පත් කමේ ආගාධයේ ඉන්නා බව පෙන්වා දෙන හෙතෙම කියන්නේ බටහිර අප‍්‍රිකානු සමාජය තුළ පවතින දුප්පත්කම නැතිකරන්නට සත්ව පාලනය උපයෝගී කරගත හැකි බවය. බිල් ගේට්ස් පදනම එයට සහාය වෙන්නට සූදානම්ය. ඉලක්ක කරන අප‍්‍රිකානු කලාපයේ දැන් කිකිළියන් ඇති කිරීම සියයට පහක ප‍්‍රතිශතයකි. එය සියයට තිහ දක්වා නංවන්නට බිල් ගේට්ස් පදනම ආධාර කරන බව කියන්නේ එය සාක්ශාත් කර ගත හැකි අරමුණක් යන විශ්වාසය ඇතිවය.

බිල් ගේට්ස් හිතන්නේ ලෝකය වෙනස් කරන්නට තමන්ගෙන් විය හැකි මෙහෙවර ගැනය. ඇමරිකානු ජාතිත ව්‍යවසායකයෙකු හැටියට ඔහු නැගෙන්නේ දර්ශනයක් ඇතිවය. පාසල් වියේ දී කුඩා පරිගණකයකින් වැඩසටහනක් සම්පාදනය කරන හෙතෙම හාවඞ් විශ්ව විද්‍යාලයේ දී මුණ ගැසෙන සගයෙකු සමග එකතු වී අලූත් ව්‍යවසායයක් ආරම්භ කරයි. එය ඒ වන විට නොවිසඳි තිබුණ පරිගනක ආශිත ගැටලූ ගණනාවකට විසඳුම් සම්පාදනය කළේය. අලූත් සොයා ගැනීම පද්ධති නිර්මාණය කිරීම් මගින් ඉතාම කෙටි කාලයක් ඇතුලත සාර්ථකත්වයේ ඉහළම තැනකට ඔසවා තැබීය. අද ජාත්‍යන්තරය ඔහු දෙස බලන්නේ පරමාදර්ශී චරිතයක් හැටියටය. බිල් ගේට්ස් හිතන්නේ තමන්ගේ අතෘප්තිමත්ම පාරිභෝගිකයා තමන්ට හොඳම පාඩම කියා දෙන පුද්ගලයා බවය. එයින් පෙනෙන්නේ ඔහු සිතිවිලි කි‍්‍රයාකරන අන්දමයි. අසාර්ථකත්වය කුමක් ද යන්න පෙන්වා දෙන්නට එම අතෘප්තිමත්ම පුද්ගලයා ඉදිරිපත්වන විට එය උපයෝගී කරගෙන සාර්ථකත්වය සොයායන්නට හැකියාව තිබේ. බිල් ගේට්ස් දුප්පත්කම දෙස අවධානය යොමු කළේ ද එයට අනන්‍ය ශිල්පය අනුවය. මිනිස්සුන්ගේ අතට කරන්නට බැරි ව්‍යාපෘති පටවා ඒවාට ආධාර බෙදා දෙනවා වෙනුවට කරන්නට හැකි ලෙහෙසි දේවල් වලින් පළමු වටය සූදානම් කරන්නේය.

අති විශාල ධනයක් හිමි ඔහුට පහසුවෙන් දස දහස් සංඛ්‍යාත පිරිසකට සල්ලි බෙදා දී දුප්පත්කම නැති කරන්නට පියවර ගන්නට හැකියාවක් තිබිණි. බිල් හා මෙලින්දා පදනම ලෝකයේ විශාලතම රාජ්‍ය නොවන සංවිධාන වලින් එකකි. එහි වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන තිස්පහකට වැඩිය. බිලියනයක් වන ලෝක වාසීන් වෙනුවෙන් දුප්පත්කම තුරන් කරන්නට ආණ්ඩු හරිහරියට වැඩ කරන්නට පදනමට ශක්තිය තිබේ. නමුත් එහු තෝරා ගත්තේ වෙනත් පැත්තකින්ය. කිකිළි පැටවුන්ගේ කතාන්දරයකින්ය. ‘‘ මම එම වයවසාය අධ්‍යයනය කළා. මූලික වියදම අඩුයි. ගෙදර කානාතාවකට හෝ වැඩිහිටියෙකුට ආරක්ෂා කරන්න පුලූවන්. විශාල පිරිවැයක් දරා සතුන්ට ආරක්ෂා කරන්නට තැනක්වත් හදන්න උවමනා නැහැ. නමුත් මාස තුනකින් උපයන්න අවස්තාව පෑදෙනවා’’ ඔහු ගේ දර්ශනය එයයි. ලෝකයේ එක පැත්තකින් දුප්පත්කම, දුප්පත්කම නිසාම ආහාර මිලදී ගන්නට ඇති හැකියාව අඩුවීම පමණක් නොව අනාගතයේ ජනගහනය වැඩිවන විට නිපදවන ආහාර ප‍්‍රමාණවත් නොවන තරමට ප‍්‍රශ්න ඇතිවන විට මෙයට වඩා විකල්පයක් නැති බව හෙතෙම තීරණය කර ඇති බව පෙනේ. කොතැනක හෝ නිෂ්පාදනයක් කළහොත් එය ආර්ථිකයක් හදන අතර එය විනා දුප්පත්කමනැති කරන වෙනත් පාරක් නැති බව බිල් ගේට්ස් නිගමනය කර ඇත.

බිල් ගේට්ස් සහ මෙලින්දා පදනම ඔස්සේ ඔවුන් සැලසුම් කරන්නේ පරිවර්තනයකටය. මේ දක්වා ලෝකයේ ඒඞ්ස් හා මැලේරියාව නැති කරන්නට විශාල ධනයක් පරිත්‍යාග කර තිබේ. කෘෂිකර්මයේ අභිවෘද්ධියට ධනය යොදවා ඇත. ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය අලූත් පැති ගැන පර්යේෂණ කරන්නේ මෙම අරමුදලේ සහායෙන්ය. බිල් ගේට්ස් තමන්ගේ ගමන් මග තුළ ලෝකයේ පැවැත්ම වෙනුවෙන් විශාල මෙහෙවරක් කර තිබේ. ඒවා එකින්නෙක වෙන්කර දාමයක් සේ දක්වන්නට තරම් පහසු නැති තරමට සංකීර්ණය. බිල් සම මෙලින්දා යුවල තමන්ගේ දරුවන්ට වත්කම් වලින් සියයට පහක් ඉතිරි කර තම සම්පූර්ණ වත්කමින් ඉතිරි සියයට අනූ පහ ලෝකයේ උන්නතියට වෙන් කරන්නට තීරණය කරන්නේ නම් එයින් එහා අනාවරණය කළ යුතු යමක් නැත.

සිය තිස් දෙහැවිරිදි වියේ දී ලෝකයේ ලාබාලතම තමන්ගේම මහන්සියෙන් බිලියනපතියෙකු වූ බිල් ගේට්ස් වරක් ටයිම්ස් සඟරාව නම් කළේ ලෝකයේ පැවැත්මට බලපෑමක් කළ හැකි බලවත්ම පුද්ගලයන් විසි දෙනාගෙන් එක් අයෙකු හැටියටය. 2012 අවුරුද්දේ ෆෝබ්ස් සඟරාව ලෝකයේ වඩාත්ම බලපුලූවන්කාර පුද්ගලයන්ගේ ලැයිස්තුවේ හතර වැනියා හැටියට නම් කළේ බිල් ගේට්ස්ය. ඔහු ගේ නම තුඩ තුඩ රුව් දෙන පසුබිමක අලූතින්ම ඔහු කියන්නේ කුඩා කිකිළි පැටවුන් පස් දෙනෙකුගෙන් ආරම්භ කරන ව්‍යවසායකින් දුප්පත්කම දුරු කළ හැකි බවය. හිතන්නට වටින අදහසකි. ආගමික, සමාජ සහ සංස්කෘතික වටපිටාව අනුව මෙම අදහසට එකඟ නැති අය අතර බිල් ගේට්ස් කියන මතවාදය දෙස ආපසු හැරී උනන්දුවෙන් බලන සමාජයක් ද බිහිවෙමින් තිබේ. ලෝකයේ තියෙන ප‍්‍රශ්න කළම්ඹවා අලූත් පැති දිහා බලා වෙනස්කරන්නට හැකි ශක්තිමත් පුද්ගලයෝ ලෝකයේ සිටී. ඔවුහු ආන්ඩු වලට වඩා බලවත්ය. අලූතින් හිතා යමක් කරන්නට තැත් කරන්නේ ඒ අනුව බව අවධානයට ගත යුතුය.