» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/06/2017 - දේශය
ධර්මාශෝක චරිතය දෙස පොසොන් සඳ එළියෙන්

අශෝක මහ රජතුමා ඉන්දියානු මයුරන් රාජ වංශයෙන් පැමිණ ලොව අමරණීයත්වයට පත් පාලකයෙකි. ඉන්දු ශී‍්‍ර ලංකා සම්බන්ධතා ගැන සාකච්ඡා කරන ඕනෑම පසුබිමක දී වත්මනෙහි දී අශෝක යනු නරක අධිරාජ්‍යවාදියෙකු නොවේ. හෙතෙම ආක‍්‍රමණිකයෙකු සේ සලකන්නේ නැත. අසල්වැසි කුඩා රටක් වූ ලංකාවේ පැවැත්මට බලපෑම් කර එහි ආගම, සංස්කෘතිය සහ අවසානයේ දී අනන්‍යතාවය වෙනස් කරන ලද බව කිසිසේත් නොසැලකේ. උදාවෙන පොසොන් දිනයත් ධර්මාශෝක ප‍්‍රභාව දිලෙන තවත් අවස්ථාවකි. අශෝක රජු ඉන්දියන් උප කලාපය පසුබිම් කරගෙන විමසා බැලීමේ දී ප‍්‍රබල පාලකයෙකු පමණක් නොව ජනී ජනයා අතර සම්බන්ධතා ගොඩනැගූ අසමාන ජනතාන්ත‍්‍රිකයෙකි.

මයුරන් රාජවංශයෙහි චන්ද්‍රගුප්ත රජු ගේ මුණුපුරෙකු වශයෙන් අශෝක රජු අභිශේකත්වය ලැබීය. පැරණි ඉන්දියාවේ විශාලතම අධිරාජ්‍යය ගොඩනැගුවේය. මෙදවස තමිල්නාඩු, කර්නාටක සහ කේරළ වශයෙන් දැක්වෙන ප‍්‍රාන්ත සියල්ල එක අණසකට යටත් කරන ලද අශෝක රජු පාඨලී පුත‍්‍ර වශයෙන් එදා හැඳින්වූ අද පට්නා නගරය සිය අගනුවර කරගෙන රාජ්‍ය පාලනය මෙහෙයවා ඇති බව දැක්වෙයි. ස්වකීය අධිරාජ්‍යය තවත් පුළුල් කරනු සඳහා කාලිංග ප‍්‍රදේශය එනම් වර්තමානයේ ඔඩිස්සා ප‍්‍රාන්තය යටත් කරගන්නා සටන් මෙහෙයවන්නට අශෝක රජු අණ දෙන්නේය. එය අති විශාල යුද්ධයකි. ලක්ෂ ගණනක් මෙහි දී මරණයට පත්වන අතර තවත් ඒ හා සමාන පිරිසක් තුවාල ලැබ බරපතල තත්ත්වයට පත්ව තිබේ. ජය තහවුරු කරගත් රජු ආපසු හැරී බලන විට එය ජයග‍්‍රහණයක් නොවේ. නගරය වේදනාවෙන් පිරි තැනකි. වැසියෝ වේදනාබරිතය. දුක කනස්සල්ල වඩා මතු වී පෙණුන අතර භුමිය අල්ලා ගැනීමෙන් අධිරාජ්‍යවාදියෙකු විය යුතු නැති අතර එය කළ කළ හැකි ජනතාවගේ හදවත් අල්ලා ගැනීමෙන් පමණක් බව අශෝක නරපති තේරුම් ගන්නට ඇත. අශෝක යනුවෙන් පැවැති අධිරාජ්‍යවාදියාගේ නමට ඉදිරියෙන් චණ්ඩ යන වදන එකතු වී චණ්ඩාශෝක සේ නම් කරන විට හෙතෙම මහත් කනස්සල්ලට පත්වන්නට ඇත.

ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ශාසනයෙහි පැවිදි වූ කුඩා සාමනේරයන් වහන්සේ නමක ගේ උපශාන්ත ගමන දෙස බලා එයින් ඇති පසු සිද්ධි කිහිපයක් අවසානයේ චින්තන වෙනසකට ලක් වූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය. එතුමන් ගේ ජීවිතයේ එකී හැරවුම් ලක්ෂය නොවේ නම් බුද්ධ දර්ශනය ලොව පුරා පැතිර අති විශාල පිරිසක් සද්ධර්මය අවබෝධ කරන ප‍්‍රවේශය ඇති කරන්නේ නැත. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ඉන්දියාවට සීමා වී පසුව එය නේපාලයට පමණක් ඉතිරිවිය හැකි ධර්මතාවයක් වනු තිබිය දී සම්බුද්ධ ශාසනය සෑහෙන කාලයක් පවතින ජවෝත්පාදනයේ එක වැදගත් සාධකයක් සේ ධර්මාශෝක රජතුමන්ගේ වැඩ පිලිවෙල දැකිය හැකිය.

අවි බලයෙන් කලාපය දිග් විජය කරන්නට තැත් දැරූ අශෝක නරපති පසුව එළැඹි තීරණය හෙයින් අද වන විට ආසියාව පමණක් නොව පෙරදිග හා බටහිර ද බුදු දහම කෙරෙහි අවබෝධයෙන් කි‍්‍රයාකරන අතිවිශාල ජනකායක් බිහි කර තිබේ. ධර්මාශෝක රජු ශාසන හිතකාමී නරපතියෙකු බවට පත්වන්නේ තම දුව හා පුතු දහම වෙනුවෙන් කැප කිරීමෙන්ය. රජු වශයෙන් ලෝකය යටත් කරගන්නට කරන ලද බරපතල යුද්ධයට වඩා පහසුවෙන් හෙතෙම මිහිදු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය මගින් ජාත්‍යන්තරය වෙත සිය ධාර්මික බලය පතුරවයි. එදා ලංකාව වෙත මිහිදු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කරන විට මෙරට රාජ්‍ය පාලකයාව සිටි දේවානම්පියතිස්ස රජු සිය අසල්වැසි රාජ්‍යයෙන් ලැබුණ ධර්ම තිළිණය මහත් භක්තියකින් පිලිගත් වග බෞද්ධ ඉතිහාසයෙහි සඳහන් වන අතර රජු බුද්ධාගම වැළද ගත් පසු පුරවැසියන් ද තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා බෞද්ධ රාජ්‍යයක් බවට පත් වූ බව සැලකිය යුතුය. ධර්ම සංකේත, අටලොස් කුලයක ශිල්පීන් යනා දී වශයෙන් ලංකාව දහම වෙත පතිත වෙන එහි අනන්‍යතාවය බෝ කරගන්නා තැනක් බවට පත්වන්නේ ධර්මාශෝක රජුගෙන් ලද මිල කළ නොහැකි මහා දායාදය හෙයින්ය. ප‍්‍රකට ඉතිහාසඥයෙකු වන එච්. ජී. වෙල්ස් සඳහන් කරන පරිදි ඉතිහාසයේ පවතින රජ පෙලපත් සහ රාජකීය නාමයන් අතර අශෝක නම ඉහළින් දිලිහී වැඡඹෙන්නට මෙම පසුබිම ප‍්‍රමාණවත් වී තිබේ.

ධර්මාශෝක රජු ජීවත් වූ යුගයේ දී එවකට ඉන්දීය පරිසරය තුළ වැඞී මෝරමින් තිබුණ සමාජ ප‍්‍රශ්න වලට බුදු දහමෙන් දෙන දර්ශනය ඉතා ගැලපෙන උත්තරයක් බව හෙතෙම අවබෝධ කරගෙන සිටි බව පෙනේ. ඔහු තුළ දහමට එකතුවීම සමග ඇති කරන ලද වෙනස අනුව පටු බෙදීම් දුරු කර මනුෂ්‍ය වටිනාකම් සාක්ෂාත් කර ඇත. බලය පිලිබඳ ගැටලූ, ආක‍්‍රමණය, ජනතා අරගල පමණක් නොව පරිසර ප‍්‍රශ්න වලට පවා බුදු දහම දක්වන මධ්‍යම ප‍්‍රතිපදාව ගැලපෙන බව ධර්මාශෝක රජු අවබෝධ කරගන්නට ඇත.

ධර්මාශෝක රජතුමා ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කෙරෙහි පැහැදෙන්නේ හෙතෙම යුද්ධයකින් ජයගෙන එක්තරා සන්ධිස්ථානයක පසුවන අවස්ථාවේදීය. අමතක නොකළ යුතු ස්වභාවය එයයි. සාහසිකත්වය නොඅඩුව තිබෙන්නට ඇති යුද බිම තුළ පැවැති වේදනා සමනය කර සංහිඳියාව ඇතිකරන්නට ධර්මය මනා සේ උපයෝගී කරගත් බව ධර්මාශෝක රජු ගේ චරිතය කියවන විට අවබෝධ වන සියුම් කාරණයකි. අද දවසේ පවා රටට අවශ්‍ය සංහිදියාවයි. ජාත්‍යන්තරය පවා පොළඹවන්නේ සංහිදියා වැඩ පිලිවෙලක් සඳහාය. ශ‍්‍රී ලංකාව ද දශක තුනක් තිස්සේ පැවැති දරුණු යුද්ධයක අවසානයේ සිටී. අති විශාල පිරිසකට ජීවිත අහිමි වූ සහ සදාකාලිකව අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බිහි කරන ලද යුද්ධය අවසානයේ දී ත‍්‍රස්තවාදය පරාජය කර ඇත. උතුර හා දකුණ එක්තරා සංධිස්ථානයකට පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාව පසුකරමින් ඉන්නේ ජාතීන් අතර අවබෝධයක් පැන නැගෙන අවස්ථාවකය. සංහිදියාවක් තුළින් ජන කොටස් අතර විශ්වාසය තහවුරු වෙන්නට නම් නැවත තැවතත් බුදු දහමේ ආභාශය වැදගත්ය. මධ්‍යස්ථව කරුණු විමසා සත්‍ය සොයා ගැනීමටත් යථාවබෝධයෙන් කි‍්‍රයා කිරීමටත් දහම මනා මගපෙන්වීමක් වනු ඇත. ධර්මාශෝක රජතුමන් ගේ දැක්ම එහි දී වැදගත්ය. බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය රටට ගෙන එන ලද දිනයේ දී මෙම කාරණාගැන අවධානය යොමුකළ යුතුය. බුදු රජාණන් වහන්සේ ලක්බිමට තෙවතාවක් වැඩම කරන ලද අතර ධර්මය ලක්බිමෙහි මුල්බැස අනන්‍යතාවය හා එක්වන්නේ ධර්මාශෝක රජු ගේ ධර්ම ප‍්‍රචාරයෙන් ඉනික්බිතිවය. පුලූල් දැක්මක්, ජනහිතකාමීත්වය සම්බන්ධ විශාල සංකල්පයක් තිබුණ නරපතියෙකු වශයෙන් අශෝක රජතුමන් ගවේශනය කළ යුතුය.