» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/03/2018 - දේශය
සාම්ප්‍රදායට අභියෝග කළ ඇමරිකාවේ ආරක්ෂක බලවතා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට කොන්ග‍්‍රස් ආණ්ඩුව හැරුණ විට වඩාත් බලවත් චරිතයක් වශයෙන් ආරක්ෂක ඇමැති ජේම්ස් මැතිස් නම් කළ හැකිය. නොබෝදා හෙතෙම ලෝකයේ බලවත් රටවල් දෙස බලාගෙන කරන ලද අදහස් දැක්වීම ඉතාම තියුණු එකක් වී තිබේ. ත‍්‍රස්තවාදයට වඩා ප‍්‍රබල රටවල් වලින් එන තර්ජන ගැන නැගෙන සිය අවධානය ඉතාම බලවත් බව කියා සිටියේ ට‍්‍රම්ප් බලයට පැමිණි ජනාධිපතිවරණයට අදාලව සිදුවෙමින් පවතින පරීක්ෂණ පිලිබඳව කියමින්ය.

ඇමරිකානු ආරක්ෂක අමාත්‍ය ජේම්ස් නෝර්මන් මැතිස් විශ‍්‍රාමලත් නාවික හමුදා ජෙනරල්වරයෙකු වන අතර හෙතෙම හිටපු ජනාධිපති බැරක් ඔබාමා යටතේ මැදපෙරදිග, උතුරු අප‍්‍රිකා හා මධ්‍යම ආසියාවේ හමුදා මෙහෙයුම් භාරව සිටියේය. ඉරාකය සමග ඇමරිකානු හමුදාව පැටලී තිබුණ යුද්ධය කාලයේ දී මධ්‍යම නාවික සේනාංකයේ ඉහලම නිලධාරියා වූ මැතිස් එකිනෙකට වෙනස් ආරක්ෂක කාර්යන්හි නිරතව සිට පසුව ඇමරිකානු හමුදාවල ප‍්‍රධාන අණදෙන නිලධාරියාගේ තැනට පත්විය. 2017 ජනවාරි මාසයේ දී ආරක්ෂක අමාත්‍යංශය භාරගන්නා විට සක‍්‍රීය සේවයෙන් ඉවත්වී අවුරුදු තුනක කාලයක් පමණක් ගත වී තිබුණ අතර ඇමරිකානු නීතිය අනුව හමුදා සේවයෙන් ඉවත්ව හත් වසරකට කලින් අමාත්‍ය ධුරයකට පත් කරන ලද දෙවැනියා වශයෙන් ඔහු ගැන සදහන්ව තිබේ.

ආරක්ෂක අමාත්‍ය ධුරය දරන අතරවාරයේ තවමත් ඔහු තමන් සතු ආක‍්‍රමණශීලී තීරණ වල පිහිටන බව පෙනෙන නමුත් ඇමරිකාව අත්පත් කරගෙන ඇති අධිපතිභාවය තවදුරටත් තහවුරු කරනු සඳහා ඔහුගේ අත්දැකීම් සහ කුසලතා වෙන් කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. උතුරු කොරියාවේ පවතින තත්ත්වය, රුසියාවේ ප‍්‍රවණතා ගැන නිතර අවධානයෙන් සිටින ජේම්ස් මැතිස් සමහර අවස්ථා වල දී ආරක්ෂක වියදම් අඩු කිරීම හා ලෝක ආරක්ෂාව ඉදිරියේ ඇමරිකානු බලධාරීන් ගන්නා තීරණ කෙරෙහි සිය නොපහන් භාවය පළ කරන අවස්ථා ද තිබේ. ආරක්ෂක සේවයෙහි පරිනත භාවය හා එය කෙරෙහි ඇති තීක්ෂණ විලාසය එයට හේතු වන බව ජගත් විචාරක මතයයි.

මෙම වසරේ සැප්තැම්බර් මාසය ලබන විට ආරක්ෂක අමාත්‍ය මැතිස් හැට අට වැනි වියට පැමිණෙයි. බාල විය ගැන සඳහන් වන විට තරමක් අපහසුකම් මැද හැදුණු වැඩුණු මැතිස් කොලොම්බියා උසස් විද්‍යාලයේ අධ්‍යාපනය නිමකර ඉතිහාසයට අදාල උපාධිය වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් දිනාගෙන ඇත. ඇමරිකාවේ ජාතික ආරක්ෂක විශිව විද්‍යාලයේ දී ශාස්ත‍්‍රපති උපාධිය ලැබූ හෙතෙම මුලින් නාවික භටයෙකු සේ සේවයට එකතු වී වසර තුනකට පසු දෙවන ලූතිනන් ධුරයට පත්ව තිබේ. පුහුණුව ලබන අතරවාරයේ බුද්ධිමත් කාර්යශූර භටයෙකු සේ ඇගයීමට ලක්ව ඇති අතර දක්ෂතාවය පදනම් කරගෙන පියවරෙන් පියවර ඉදිරියට එන්නට සමත්ව ඇත.

මැතිස් ගැන කියැවෙන විට ඔහුගේ අධ්‍යයන කාර්ය පටිපාටිය ගැන ද සඳහන් වෙයි. ඔහු හොඳට පොත පත කියවන්නෙකි. ලෝකයේ සමාජ සංස්කෘතිය හා යුද ඉතිහාසය ගැන ඉතාම විශාල අවබෝධයක් තිබේ. ඔහුගේ පුද්ගලික පුස්තකාලයේ ලෝකයේ සිදුවූ ගැටුම් හා යුද තත්තව ගැන ලියැවුණු පොත පත හත් දහසකට වඩා තිබුණ බව එක්තරා අවස්ථාවක ලියැවී තිබේ. ඉරාකය සමග ගැටුමට යුද සේනාක මෙහෙයවන විට එරට සමාජ ආර්ථික පසුබිම සහ විශේෂයෙන් සංස්කෘතික අනන්‍යතා ගැන භටයන්ට විස්තර කර දීමට හෙතෙම මහත් උනන්දුවක් දැක්වූ බව ද අනාවරණය වෙයි. යුද අත්දැකීම් ගැන කියැවෙන විට ඔහු පලස්තීන, ඇෆ්ගනිස්ථාන හා ඉරාක යුද අවස්ථාවල දී සකී‍්‍රය සේවයේ නිරතව සිටි බව දැක්වෙයි. ඇෆ්ගනිස්ථානය සමග පැවැති සටනේ දී මැතිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවා ඇති අතර එරට දකුණු පැත්තේ මෙහෙයුම් පනස් අටක් සාර්ථකව පවත්වන්නට සමත්ව තිබේ.

දිගින් දිගටම ආරක්ෂක හමුදා වල එකිනෙකට වෙනස් නිලතල ඉසිලූ ජේම්ස් නෝර්මන් මැතිස් 2016 දී සේවයෙන් විශ‍්‍රාම ලැබීය. නමුත් එරට රාජ්‍ය හා පුද්ගලික අංශ වල ප‍්‍රධාන තනතුර ගණනාවක් ඔහු කරා පැමිණ සේවය ලබාගෙන තිබේ. ඒවා රට තුළ ආරක්ෂාව හා බුද්ධි සේවා වලට අදාල වන අතරම නොයෙක් විශ්ව විද්‍යාල වල ආරාධිත දේශන පවත්වමින් යුද බිමේ දී හා සෙසු රාජකාරිවලදී ලබාගත් අත්දැකීම් අලූත් පරම්පරාව සමග බෙදා හදා ගෙන ඇත. එය ඉතාම විශේෂ කර්තව්‍යයක් වශයෙන් කැපවීමෙන් කරන ලද බම ඔහු ගැන කරන අධ්‍යයන වල දී පෙනී යන කරුණකි. එක්තරා වකවානුවක ඇමරිකාවේ ප‍්‍රධාන සමාගම්වල බලවත්ම අධ්‍යක්ෂකවරු නියෝජනය කරන ව්‍යුහයක සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර තවත් අවස්ථාවක දී ඇමරිකානු ආරක්ෂක නිලදාරීන් හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සමාජ සුරක්ෂිතතාව හා උදවු උපකාර වෙනුවෙන් පිහිටුවා ඇති ආයතනයක ද කටයුතු කර තිබේ. ඒවායෙන් සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ජන ජීවිතය නගා සිටුවනු සඳහා ඔහු සතුව ඇති කුසලතා නොඅඩුව පිරිනමන ලද බව දැක්වෙයි.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ජයගත් වහා නිව් ජර්සිස ප‍්‍රාන්තයේ දී ඔහුගේ ඉතාම සමීප කැබිනට් සගයන් මුණ ගැසී ඉදිරි කටයුතු සාකච්ඡා කරමින් සිටි අතර එහි දී කැදවීමක් ලැබුණ මැතිස් පැයක් කතාකර එළියට එන විට ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයකින් ලෝකයට කියා සිටියේ මැතිස් තමන්ග් ආරක්ෂක අමාත්‍යවරයා විය යුතු බවය. එය එසේම සිදුවූ අතර ඇමරිකානු යුද නිලධාරියෙකු ආරක්ෂක අමාත්‍යධුරයට පත් කිරීම සඳහා වූ විධි විධාන වෙනස් කරමින් ඔහු පදවිය භාරගත්තේය.

පසුගිය කාලයේ දිනයක ජේම්ස් මැතිස් ප‍්‍රසිද්ධ දේශනයක් ජෝන් හොප්කින්ස් ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී පවත්වන ලද අතර එහි දී ඇමරිකාවේ ආරක්ෂක විධි ක‍්‍රම හා උපාය මාර්ගගැන සඳහන් කරමින් කියා සිටියේ අප ඉඩතාම තරගකාරීව සියළුම ආක‍්‍රමණිකයන්ට මුහුණ දෙන අතර ගුවන, භූමිය, මුහුද, පැතිරුණ සියළුම අවකාශය පමණක් නොව සයිබර් අවකාශය ද අනගිබවනීය සේ පරීක්ෂාවට ලක් කරන බව තහවුරු කළේය. සම්බන්ධ ආයතන ශක්තිමත් කරන, ආරක්ෂක අංශ සමග සහයෝගීතාවය ගෙන යන හා කොන්ග‍්‍රස් මණ්ඩලය එකඟ කරගෙන අවශ්‍ය කරන මුල්‍ය සම්පත් උපයාගෙන සියළු පැති කළමණාකරනය කළ හැකි බවට විශ්වාසය ද පළ කළේය.

ඇමරිකානු ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා වශයෙන් සටන් බිමට ගිය හෙතෙම ඉතාම නිරවද්‍ය ලෙස කාර්ය මෙහෙයවන ලද බවට ඇගයීමට පාත‍්‍ර වී තිබේ. ස්වකීය ශාස්ත‍්‍රාලීය අධ්‍යයන වලින් කිසි විටෙක නොදෙවෙනි අන්දමට පොත පත ඇසරු කරන ලද අතර හුදෙක් ආයුධය ගෙන සටන් මෙහෙයවීමට පමණක් නොව සතුරා අධ්‍යයනය කර ඔහුගේ සංස්කෘතිය හැඳීන සියළු ධෛර්යය යොදවා සටන මෙහෙයවන්නට හැකි බව ඔප්පු කර ඇත. ඇමරිකාවේ ආරක්ෂක ඇමැති ධුරය අතට දෙන්නේ ආරක්ෂක මානසිකත්වය පහ වූ පසුව බව පැහැදිලි නමුත් සම්ප‍්‍රදාය හා ඒ වෙනුවෙන් පවතින විධිවිධාන පසෙක තබා ධුරයට පත්වූ මැතිව්ස් සිය සංයමය හා පරිනත භාවය මනාවට පෙන්වා දෙයි. ධෛර්යයෙන් කතා කරන අතර ප‍්‍රතිවාදීන්ට අභියෝග කරයි. නියම සතුරා පමණක් නොව ඔහුගේ ආක‍්‍රමණ විලාසය ගැන ද හදුනාගෙන රට වෙනුවෙන් සේවය කරයි. ආරක්ෂක අංශයක සිට සිවිල් ජීවිතයට පැමිණීමෙන් පසු මධ්‍යස්ථව හිතන්නට හැකි චරිත විරලය.