» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/12/2017 - දේශය
නවසීලන්තයේ අලුත් අගමැතිනි

ජසින්ද්‍රා කේට් ආඩ්‍රේන් ඉතා කෙටි කාලයක් ඇතුලත නවසීලන්තයේ කම්කරු පක්ෂ නායකත්වයට හා එයින් පසු රටේ නායකත්වයට පත් වූවාය. 2017 වසරේ අගෝස්තු පළමුවැනි දා පක්ෂ නායකත්වයට පත් වූ ඇය ඔක්තෝම්බර් විසි හයවැනිදා වන විට අගමැතිනිය වශයෙන් ලෝක අවධානයට ලක් වූ බව සඳහන් කරන්නට අවශ්‍යය. අගමැතිවරුන් දෙදෙනෙකු පසුබිමෙහි සේවය කර හසල අත්දැකීම් ඇති ජසින්ද්‍රා දක්ෂ තීරණ ගන්නා චරිතයක වශයෙන් ප‍්‍රකටය. නවසීලන්තයේ හිටපු අගමැති ක්ලාක් යටතේ පර්යේෂණ නිලධාරිනියක සේ සේවය කර ඇති ඇය එයට කලින් බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ගේ ප‍්‍රතිපත්ති උපදේශිකාවක වශයන් ද සේවය කර ඇත. සමාජ ප‍්‍රතිසංස්කරණවාදී අදහස් ඇති ජසින්ද්‍රා සමාජවාදී පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග වලට ද ගරු කරන ස්ථාවරයක පිහිටා ඇති දක්ෂ නායිකාවක බව සඳහන් වෙයි.

අගමැතිනිය වශයෙන් දිවුරුම් දීමෙන් පසු රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවක දී වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු ඇය අම්මා කෙනෙකු වෙන්නේ කවදාදැයි ඇසූ ප‍්‍රශ්නය හෙයින් රාජකාරි ජීවිතය හා පුද්ගලිකත්වය අතර ආන්දෝලනයකට ලක්ව තිබේ. එය මෑතක දී වාර්තා වූ තත්ත්වයකි. එය රාජ්‍ය තාන්ත‍්‍රික පුද්ගලයෙකුගෙන් ප‍්‍රශ්න කළ යුතු හෝ උත්තරයක් අපේක්ෂාවෙන් කරන ලද බරපතල නගන ලද්දක් නොවන නමුත් එහි දී උත්තර දුන් ආකාරය ආන්දෝලනයක් ඇති කර තිබේ. අම්මා කෙනෙකු වෙන්නේ කවදාදැයි ප‍්‍රශ්නයක් අහන්නට අයිතියක් ඇති බව පිලිගත් අගමැතිනිය නවසීලන්තයේ හැම විවාහක කාන්තාවකගේම ප‍්‍රාතිහාර්යය නම් එම අභිලාශය බව කියා සිටියාය. මෙම උත්තරය දෙස බැලූ එරට විපක්ෂ නායකයා පසුව ‘‘එහෙමනම් අගමැතිනියට ප‍්‍රසූත නිවාඩු ගන්න වේවි’’ යැයි උපහාසයෙන් මෙන් කියා සිටියේ ජනතාව බාර දුන් රාජකාරි කාලය තුළ එය නිසි සේ කරන්නට සමත් වේ දැයි අනියමාර්ථයෙන් ඉඟි කරමින්ය. නවසීලන්ත රටවැසියන් ඉදිරියේ දිග හැරුණු මෙම විවාදයේ දී කිපුණු ගති පෙන්නුම් කළ අගමැතිනිය රස්සාවක් භාරගන්නා අයෙකුගෙන් මෙවැනි ප‍්‍රශ්න නැගීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කළාය. කාන්තාවක බලයට පත්වීම සහ එයින් පසු පුද්ගලික ජීවිතයේ දී මාතෘත්වය ගැන තීරණ ගැනීම පුද්ගලයා සතු අයිතියක් බව තදින් අවධාරණය කරන්නට මෙහි දී අගමැතිනිය සමත් වී ඇත.

2017 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ජසින්ද්‍රා කේට් ආඩ්‍රේන් නවසීලන්තයේ මවුන්ට් ඇල්බට් මැතිවරණ කොට්ඨාශයේ පැවැති ඡන්දයේ දී කම්කරු පක්ෂ මහජන නියෝජිතවරිය සේ පත් වූවාය. වසර දහයක පමණ කාලයක් නවසීලන්ත පාර්ලිමේන්තුවේ පත්කරන ලද මන්තී‍්‍රවරියක සේ සේවය කළ ඇය ආසනයක සංවිධාන කටයුතු භාරගෙන ඡන්දයකට ගිය පළමු අවස්ථාවේදී ම ජය අත් කරගැනීම කැපී පෙනෙන සිද්ධියකි. ඡන්දය දිනා මාස කිහිපයක් ගත වන විට මැතිවරණ වලින් අසාර්ථක වෙමින් තිබුණ කම්කරු පක්ෂයේ නායකයා ඉල්ලා අස් වූ අතර එයින් පසු පක්ෂය භාරගන්නට ලැබුණ ඉල්ලීමට ජසින්ද්‍රා අවනත වූවාය. මුහුණ දුන් පළමු ජාතික මැතිවරණයේ දී ම දෙවන බහුතරය දිනා ගන්නට කම්කරු පක්ෂය සමත් වූ අතර සහයෝගීතා ආණ්ඩුවක් පිහිටුවන විට දෙවැනි බලය හිමි කම්කරු පක්ෂ නායිකා ජසින්ද්‍රා කේට් ආඩ්‍රේන් අගමැතිනිය කරන්නට වැඩිම ආසන ගණනක් හිමිකරගෙන සිටි ජාතික පක්ෂය සහාය දුන්නේය. නවසීලන්තයේ ග‍්‍රීන් පක්ෂය ද එයට එකඟතාවය පළ කරන ලදී.

පොලිස් නිලධාරියෙකු වූ පියා සහ පාසලක ආපනශාලා සේවිකාවක වූ අම්මා ඇසුරෙහි මූලික අධ්‍යාපනය ලැබූ ජසින්ද්‍රා හැමිල්ටන් හි සිට වයිකාටෝ විශ්ව විද්‍යාලයට ගියාය. එහි දී දේශපාලන හා මහජන සම්බන්ධතා විෂයෙහි සන්නිවේදන අධ්‍යයන උපාධිය හිමිකරගත්තාය. දෙමව්පියන් දේශපාලනයෙහි නිරත වූයේ නැත. නමුත් ඇගේ නැන්දනිය කම්කරු පක්ෂයේ දේශපාලන කටයුතු වල දීර්ඝ කාලයක් නියැලී සිටියාය. 1999 වසරේ පැවැති අතුරු මැතිවරණ අපේක්ෂකයෙකු ගේ ඡන්ද ව්‍යාපාරයට නැන්දනියගේ ඇරයුමෙන් හවුල් වූ තරුණ ජසින්ද්‍රා පක්ෂයට බැඳී තරුණ ලීගයේ කැපී පෙනෙන සාමාජිකාවක බවට පත් වූවාය. උපාධිය ගැනීමෙන් පසු පර්යේෂණ කරන්නියක වශයෙන් පක්ෂ දේශපාලනයට හවුල් වී සිටි අතර පසුව නිව්යෝක් බලා ගොස් සුළු සේවිකාවක සේ සේවය කරන්නට පටන් ගත්තාය. ලන්ඩන් බලා ගොස් ටෝනි බ්ලෙයාර් ගේ අසූ දෙනෙකුගෙන් යුත් උපදේශක කණ්ඩායමට බැඳෙන්නට අවස්ථාව ලැබෙන්නේ එයින් අනතුරුවය. බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මුණ ගැසෙන්නට හෝ අවස්ථාව නොතිබුණ නමුත් ඇය බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගේ කටයුතු ගැන විවරණය කරමින් දක්ෂ ලෙස රාජකාරි කරන ලද බව සඳහන්ය. 2008 වසරේ මුල් භාගයේ දී ඇය සමාජවාදී තරුණ සංවිධානයේ සභාපතිනිය වශයෙන් ඡන්දයෙන් තේරී පත්වීම විශේෂ අවස්ථාවකි.

පාර්ලිමේන්තු කාර්යයන් හි දී විප්ලවීය අදහස් ඇති බව පෙන්නුම් කළ වත්මන් අගමැතිනිය විවාහ අයිතිය සම්බන්ධ පණත් කෙටුම් පතක් ඇය මන්තී‍්‍රවරියක සේ කි‍්‍රයා කරන කාලයේ දී විවාද වන විට එහි දී සියළුම දෙනාට විවාහය ගැන තීරණ ගැනීමට පුද්ගලික අයිතියක් ඇති අතර එයට බලපෑම් කළ නොහැකිය යන ස්ථාවරයෙහි සිටියාය. ගබ්සාව සම්බන්ධ නීතිය අපරාධ නීතියෙන් ඉවත් කරන්නට ඡන්දය පාවිච්චි කළාය. ශිෂ්‍ය ණය පොලී අය නොකරන තීරණය වෙනුවෙන් පෙනී සිටි අතර සමාජයේ මානසික සෞඛ්‍ය පැති දියුණු කරන්නට සහාය දුන්නාය. විරල භාෂා වන් හැදෑරීමට එම ප‍්‍රදේශවල දරුවන්ට ඇති අයිතිය ගැන පාර්ලිමේන්තුවේ දී කතා කළ ජසින්ද්‍රා සංක‍්‍රමණික ප‍්‍රශ්නයේ දී රටට පැමිණෙන පිරිස සතු දක්ෂතා ගැන විශ්වාසයක පිහිටා කි‍්‍රයා කළාය.

දෙස් විදෙස් අත්දැකීම් බහුල නමුත් මැතිවරණයට සති හතකට කලින් පක්ෂයක නායකත්වයට පත්වීම සාමාන්‍ය වගකිමක් නොවන බව ජසින්ද්‍රා දැන සිටිටයාය. කම්කරු පක්ෂයේ ජනප‍්‍රියතාවය අඩු වී තිබුණ වකවානුවක පක්ෂ වගකීම අතට ගෙන කිසියම් ස්ථාවරත්වයක් කරා යොමු කරන සැලැස්මක් ඇයට තිබුණා විය හැකිය. පක්ෂය භාරගෙන පළමු පුවත්පත් සාකච්ඡාව කරන විට ඇයට ආධාරකරුවන්ගෙන් නොයෙක් සහාය ලැබිණ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණ අන්දමට මුදල් ත්‍යාගවලින් පක්ෂ අරමුදල පිරී ගිය අතර ඇය වටා පාක්ෂිකයන් එකතු වූයේ උමතුවෙන් මෙන් යැයි සඳහන් විය.

තරුණ අලූත් අදහස් ඇති අගමැතිනිය පරිසර සංරක්ෂණය, කාබනික විමෝචනය හා තමන්ගේ ජීවිත කාලයේ දී ම න්‍යෂ්ඨික බෝම්බ නැති ලෝකයක් බිහිවනු දැකීම ද අභිප‍්‍රාය සේ සලකන්නීය. නවසීලන්තයේ රජ පරපුරේ පාලන අයිතියෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුදවා ගැනීමේ කාර්යට ඇය අලූතින් අත ගසා තිබේ. එය වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ද සූදානම්ය.