» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/09/2017 - දේශය
ලොව සන්සුන් කරන සත්ගුරු

අතිශය කාර්ය බහුල අවිවේකී ජන සමාජයක ජීවත්වන ලෝකවාසීහු තැන්පත්ව සාවධානවෙනු සඳහා ඇති මාර්ග පිලිබඳව සොයා බලමින් සිටිති. ජාගී වාසුදේව් නොඑසේනම් සත්ගුරු වශයෙන් ලෝකය පුරා හªනන, ජන සිත් පහන් කරන මග දක්වන එක් ප‍්‍රබල චරිතයක් වී තිබේ. ඉන්දියානු ජාතික යෝගියෙකු වන සත්ගුරු මනස ඒකාග‍්‍ර කර කිසිම දෙයක් නැති භාවනානුයෝගී තත්ත්වයට පත් කරනු වෙනුවට සංකීර්ණතා මැඩ තමන්ට පාලනය කරගත හැකි තරමට මනස දියුණු කරන්නට හැකි මාර්ගය පෙන්වා දෙන යෝගීවරයෙකි. එසේ හැඳින්වීමට ලක්වනු දකින්නට යෝගීවරයා කැමැතිය. ඉතාම දියුණු මිනිස් මොලය පවතින අද්විතීය ලෝක ස්වභාවය තුළ පාවිච්චි නොකර නතර කිරීම සුදුසුදැයි විමසන හෙතෙම අපට වත්මන් යුගයේ අවශ්‍ය එයින් එපිට සන්සුන් භාවයක් සොයා යාම බව ප‍්‍රකාශ කරයි.

සත්ගුරු ගුප්ත යෝගීවරයෙකි. කවියෙකු පමණක් නොව නිව්යෝක් ටයිම්ස් පුවත්පත දක්වන පරිදි වැඩිම අලෙවියක් ඇති ග‍්‍රන්ථ කතුවරයෙකි. ලාභ නොලබන ස්වේච්ඡුා සංවිධානයක් වන ඉෂා පදනමේ නිර්මාතෘ වන හෙතෙම ඉන්දියාව, ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, සිංගප්පූරුව, කැනඩාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක යෝග වැඩසටහන් පවත්වාගෙන යයි. පදනම සමාජ සහ ආර්ථික කටයුතු ක‍්‍රියාත්මක කරන අන්දම දෙස බලා සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සමාජ ආර්ථික කාර්යයන් හි උපදේශක ධුරය මෙම වසරේ ජනවාරියේ දී පිරිනමන ලද අතර එයට සමාන්තරව ලෝකය පුරා පවත්වන ලද ආධ්‍යාත්මික කාර්යය වෙනුවෙන් සත්ගුරු යෝගීවරයා පද්ම විභූෂණ සම්මානය පිරිනමයි.

මයිසූර් හි දරුවන් සිවු දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා වූ වාසුදේව් ඇතුළු පවුලේ අයට පියාගේ රැකියාව හෙයින් ඉන්දියාවේ තැනින් තැන යන්නට සිදුවූ බව සඳහන්ය. අවුරුදු දොලහේ දී හමුවූ යෝගියෙකු ගේ ඉගැන්වීම අනුව යෝග අභ්‍යාස පටන්ගත් අතර එය අඛණ්ඩව පවත්වාගෙන යන හුරුව ජීවිතයට ළං කරගත්තේය. මයිසූර් විශ්ව විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි සාහිත්‍ය උපාධිය ගත් අතර එකල යතුරු පැදියක නැගී නිතර සංචාරය කරන්නට හුරු වී සිටියේය. මිත‍්‍රයන් සමග ඉන්දියාවේ නොයෙක් තැන් වල යතුරු පැදියෙන් ගමන් කරන ලද අතර උපාධියෙන් පසු ඔහු සත්ව පාලනය හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයෙහි නිරතව ආදායමක් උපයාගත්තේය.

යෝගී අභ්‍යාස අත් නොහරින ලද තරුණ වාසුදේව් අවුරුදු විසි පහේ දී පමණ එක්තරා කªකරයක දී කිසිවෙකු නැති, කිසිවක් නැති තැනකට පත් වූ බව පසු කාලයක ප‍්‍රකාශ කළේය. මුලින් ඒ කුමක්දැයි වටහා ගත නොහැකි වූ අතර විනාඩි දහයකට පහලොවකට පසු තමන් පත්ව සිටි ගුප්ත තත්ත්වයෙන් අත් මිදෙන ලද බව ද දක්වන හෙතෙම අවස්ථා ගණනාවක දී මෙම අභ්‍යාසයෙන් පසක් කරගත් ස්වභාවය අනුව යෝගී උපදේශනය ආරම්භ කර තිබේ. 1983 දී පළමු යෝග අභ්‍යාස උගන්වන අවස්ථාව මයිසූර් හි පවත්වන විට එයට සහභාගී වුයේ හත් දෙනෙකු පමණකි. කර්නාටක, හයිද්‍රාබාද් නගරවලට යතුරු පැදියෙන් යමින් එමින් එකී නගරවල ද යෝග පන්ති ව්‍යාප්ත කරන ලද තමන්ගේ ගොවිපොල කුලියෙන් යැපුන හෙතෙම යොග අභ්‍යාස පන්ති වෙනුවෙන් කිසිදු ගාස්තුවක් අය නොකිරීම විශේ්ෂත්වයකි. කෙටි කාලයකට පසු හෙතෙම ධ්‍යාන්ලිංග නමින් විශේෂ මධ්‍යස්ථානයක් පවත්වන අතර එය සර්ව සම්පූර්ණ භාවනා උපදේශක ස්ථානයක් වශයෙන් පොදු ජනතාවට විවෘත කරයි. ධ්‍යාන්ලිංගම් අඩි හැත්තෑ හයක් උස විශේෂ ද්වාරයක් වන අතර යකඩ හෝ කොන්ක‍්‍රීට් රහිතව කරන ලද අතර අද එය සත්ගුරු යෝගී ගේ අන්තර්ජාතික සංකේතය බවට පත්ව තිබේ.

ඉෂා පදනම 1993 දී පිහිටුවන අතර එය යෝග අභ්‍යාස පමණක් නොව එයින් එපිටට විහිදී ගිය සමාජ කාර්යයන්ට පදනමක් දමයි. හරිත අත් ව්‍යාපෘතිය එයින් එකකි. තමිල්නාඩුවේ ගහ කොළ ගහනය සියයට දහයකින් වැඩි කරන්නට එය හේතු වූ අතර මිලියන දෙකක ජනගහනයකගේ සහභාගීත්වයෙන් ප‍්‍රාන්තය පුරා ගස් මිලියන විසි හතක් රොපනය කරන ලද බව දැක්වෙයි. එය කොපමණ සංවේදී එකක් ද යත් 2010 දී ඉන්දිරා ගාන්ධි සම්මානය හිමි විය. නැෂනල් ජියෝග‍්‍රැපික් සඟරාවට සම්මුඛ සාකච්ඡුාවක් දෙන සත්ගුරු කියා තිබුණේ පැවැති වෘක්ෂ සංහාරය දෙස බලන ලද නොයෙක් විද්‍යාර්ථීන් නුදුරු කාලයේ දී දරුණු කාන්තාරයක් විය හැකි යැයි පෙන්වාදුන් ප‍්‍රදේශය ජනතාවගේ මනස වෙනස් කිරීමෙන් පසු සම්පූර්ණයෙන්ම වෙනස් තැනක් කරන්නට හැකි වූ බව සඳහන් කරයි. ග‍්‍රාමීය ප‍්‍රතිව්‍යුහගත කරන වැඩසටහන අනුව සෞඛ්‍ය හා ජීවන මටට්ම උසස් කරන වැඩ සටහන් දියත් කරන ලද අතර වසර 2003 වන විට ගම්මාන පනස්හතර දහසක වැසියන් මිලියන හැත්තෑවකට එයින් ප‍්‍රතිලාභ අත්කර දුන්නේය. ඉන්දියාව පුරා ගමන්කරමින් ගොවියන් හමුවී ගොවි සංවිධාන ශක්තිමත් කර ඔවුන් මුහුණ දුන් ගැටළු වලට ද උත්තර පසයනලද බව වාර්තා පෙන්වයි. පදනම පාසල් හතක් පවත්වාගෙන යන අතර එහි හත්දහසක දරුවන් හොඳින් ඉගෙන ගනිමින් සිටී. අධ්‍යාපනට සඳහාපහසුකම් අඩු පාසල් පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් තෝරාගෙන ඒයේ ඇති පහසුකම් නංවන අතර සත්ගුරු ගේ අභිලාශය එම රජයේ පාසල් ගණන තුන් දහස ඉක්මවන තැනට පත් කරන්නටය. අනෙක හෙතෙම කුඩා ව්‍යවසායකයන් සොයා ගොස් ඔවුන් නගා සිටුවන ප‍්‍රයත්නයක ද නිරතය.

ඉන්දියන් හොකී කණ්ඩායමට යෝග පුහුණු කළ හෙතෙම වඩා අවධානයට ලක්විය යුතු තමිල්නාඩු බන්ධනාගාර වලට ගොස් ඒවායේ කටුක ජීවිත ගත කරන පිරිස වෙනුවෙන් පිහිට වූ බව දැක්වෙයි. යෝග අභ්‍යාස වලට එකතුවන කොටස් සමග හිමාලය ඇතුළු විශේෂිත ප‍්‍රදේශවලට ගොස් කඳවුරු පවත්වන යෝගී සත්ගුරු පීඩනයෙන් පිරි ජීවිතගත කරන ජනී ජනයා සන්සුන් කරන වැඩ පිලිවෙල කරගෙන යයි. චෙන්නයි විශ්ව විද්‍යාලයේ දේශන ඇතුළුව තවත් ස්ථානවල පවත්වන විශේෂ දේශන ද ඒ අතර වෙන බව දැක්වෙයි.

සෑම වසරකම මහා ශිවරාත‍්‍රී සංදර්ශනය ලක්ෂ සංඛ්‍යාත ජනතායකගේ සහභාගීත්වයෙන් පවත්වන සත්ගුරු එය සංගීත, නර්තන හා භාවනා වැඩසටහන් වලින් පරිපූර්ණ කරන ලද බව මාධ්‍ය වාර්තා පෙන්වයි. ලෝකයේ නොයක් තැන් වලට ගොස් ජනී ජනයාගේ හිත් හදන යෝගීවරයා වඩාත් ප‍්‍රචලිත එක අරමුණකට හිත කැඳවා එක තැනක නතර කරන ගුප්ත චරිතයක් සේ නොවේ. ඔහු මනස වඩා උසස් තැනකට කැඳවන අතර භෞතික ශරීරය හා මනස අතර සියුම් පැති උකහා ගෙන අලූත් විභවයක් කරා කැඳවන බව විද්වතුන්ගේ විග‍්‍රහයයි. ජාගී වාසුදේව් නොඑසේනම් සත්ගුරු එක්සත් ජාතීීන්ගේ සාමය සඳහා වූ මිලෙනියම් සමුළුව අමතන ලද අතර වසර ගණනක් ලෝක ආර්ථික සංස්දය නියෝජනය කරයි. බහු ආගමික ගෝලීය වැඩසටහන් පවත්වන හෙතෙම කිසිම බෙදීමක් වෙන්කිරීමක් නැති හෘදයාංගම පැවැත්මක් වෙනුවෙන් සිය අධ්‍යාත්මික වැඩසටහන මෙහෙයවයි.

මෙයින් වසර හයකට කලින් ජාගී වාසුදේව් ඉන්දියාවේ වඩාත් ප‍්‍රබල පුද්ගලයන් දොලොස් දෙනෙකු අතරින් අයෙකු සේ නම් කරයි. සිය අනන්‍ය යෝගී දර්ශනය ලොව පුරා පතුරවනු සඳහා ප‍්‍රකාශන, පතපොත හ`ඩ පට පළකරන අතර ඔහුගේ චර්යාව පැහැදිලි කිරීම වෙනුවෙන් චිත‍්‍රපට ද තැනී ඇත. මෙම අද්විතීය චරිතය හැසිරෙන අන්දම නිරීක්ෂණය කරන ලෝකය පුරා විද්වතුන් ඔහුගේ දර්ශනය ගැන කතා කරන්නේ ප‍්‍රසාදයෙන්ය. ලෝකය පුරා දැවෙන, තැවෙන හදවත් නිස්කාන්සුවෙන් සනසවන්නට හැකි නම් එය විශේෂිත තත්ත්වයකි. සත් ගුරු එකී අධ්‍යාශය වෙනුවෙන් පෙනී සිටියි.