» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/07/2016 - දේශය
සොලෙයිමානි තේරුම් ගැනීම

ඉරානය ඉතා පැරණි සහ දීර්ඝ ශිෂ්ඨාචරයක් ඇති රටකි. ක්වෙසම් සොලෙයිමානි ඉරාන විප්ලවීය හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකි. මෑත කාලය තුළ මැදපෙරදිග කලාපයේ ඉරානය හුදෙකලා රටක් බවට පත්විය. එයට හේතුව ඇමරිකාව සමග පැවැති ගැටුමයි. එය ඉරානය සහ මැදපෙරදිග රටවල් අතර බෙදීමක් නිර්මාණය කළේය. මෙම සංකීර්ණ ස්වභාවය තුළ සොලෙයිමාන් එක භූමිකාවක දී වීරයෙකි. තවත් අවස්ථාවක ත‍්‍රස්තවාදියෙකි. ආගමික නායකයන්ගේ දර්ශනය අනුව රට මෙහෙයවන්නට උපකාරී වන නොපෙනෙන හස්තයකි. එහෙයින් ජාත්‍යන්තර ප‍්‍රජාව ඔහු ගැන විමසිලිමත් වන්නට පටන්ගෙන තිබේ.

ඉරානය මැදපෙරදිග කලාපයේ බලවතා වශයෙන් සම්ප‍්‍රදායිකව පෙනී සිටියේය. එය එරටට ආවේනික ෂියා ආගමික දර්ශනයේ ප‍්‍රතිඵලයකි. ඉස්ලාම් ආගම අනුව එයින් දෙකට බෙදුණ ෂියා නිකායේ බහුතරයක් ජීවත්වන ඉරාකය, බහරේන්, ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල සිදුවීම් වලට ඉරානය මැදිහත් වෙන්නේ නිතැතින්ය. ෂියා නිකායේ සාමාජිකයන් ආරක්ෂා කරන්නට බැඳීමක් ඇති බව එවැනි මැදිහත්මක් කරන ඉරානයේ විශ්වාසයයි. ඉරානය තුළ ආරක්ෂක අංශ කිහිපයක් තිබේ. විප්ලවය ආරක්ෂා කරන හමුදා සේනාංකයක් සිටී. ඔවුන් ගේ කාර්ය භාරය ඉරාන විප්ලවයේ ජයග‍්‍රහණ ආරක්ෂා කිරීමයි. ක්වෙසම් සොලෙයිමානි එහි ප‍්‍රධානියාය. එරට ව්‍යවස්ථාවෙන් ද තහවුරු කර ඇති පරිදි ඉස්ලාම් දර්ශනය අනුව රට ආරක්ෂා කිරීම මෙම විප්ලවීය හමුදාවට පැවරෙන වගකීමකි. විදේශ මැදිහත්වීම් වලින් පමණක් නොව අන්‍ය ආගමික බලවේග වලින්ද ඉරාන ඉස්ලාම් සංස්කෘතිය ආරක්ෂා කරන කාර්ය භාරයෙහි විප්ලවීය හමුදාව නිරතය. ඉරානයහා එහි අවට ඇති ෂියා බහුතරය ඇති රටවල සිද්ධි වලට මැදිහත්වන ඉරානය දෙස බලන ඇමරිකාව එය හෙලා දකින්නේ එම රටවල් ආරක්ෂා කරනවා නොව පහර දෙන බවය.

ආගමික දර්ශනය අනාව ෂියා නිකාය ආරක්ෂා කිරීම එකකි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෝණයෙන් බලන ඇමරිකාව එය වැරදි බව කියයි. එම තරවටුව ඉහළම තැනක තිබුණේ ඇමරිකාවට මැදපෙරදිග ඛනිජ තෙල් උවමනාව වැඩිම තැනක තිබුණ පසුබිමක බව තේරුම් ගැනීම අවශ්‍යය. ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේ අනන්‍යතාවය වෙනුවට නිදහස් ඛනිජ තෙල් වෙළඳාමක් වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය ඇති කරන්නට ඇමරිකාව මහන්සිවෙන විට සොලෙයිමානි ගේ විප්ලවීය හමුදාවේ ක‍්‍රියාකාරකම් ඇමරිකාවට තිත්ත එකකි.

මැදපෙරදිග කලාපයේ ඇති වූ නොයෙක් ගැටුම් සහගත අවස්ථාවල මෙම විප්ලවීය හමුදාව යම් කාර්ය භාරයක නිරත වී තිබේ. නිලයෙන් මේජර් ජෙනරල් නමුත් ජාත්‍යන්තරය ඔහු හඳුන්වන්නේ ෂැඩෝ එනම් සැඟවුණ ජෙනරල්වරයෙකු හැටියටය. එයින් අඟවන අභ්‍යන්තරය නිරීක්ෂණය කරනවිට ක්වෙසම් සොලෙයිමානි ගේ බලවත් බව මැනැවින් අනාවරණය වෙයි. ඔහු ක‍්‍රියාකරන්නේ සංකීර්ණ ආකාරයකටය. උපායශීලී රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයක් උසුලන බවට ඔහු ඉදිරියේ ඇති අර්ථ දැක්වීමයි. හමුදා ක‍්‍රියාන්විත මෙහෙයවන්නේ ආගමික මතවාදී නියෝජනයක් සහිතව බව ඔහු ගැන කියන විට සඳහන් වන කරුණකි.

ඇමරිකාව ඉරාකය ආක‍්‍රමණය කරන විට මෙය පැහැදිලිව පෙණින. සදාම් හුසේන්ට විරුද්ධව ඇමරිකාවට මෙන්ම ඉරානයටත් ගැටලූ තිබිණ. එය පෙන්වන්නේ එහි පසුබිම විමසන විටය. ෂියා නිකායිකයන් වෙනුවෙන් පෙනී සිටි ඉරානය සදාම්ගෙන් පසුව ඇමරිකානුවන් තව දුරටත් ඉරාකයේ රැදී සිටීම ගැන කැමැත්තක් පෙන්නුවේ නැත. ක්වෙසම් සොලෙයිමානි ගේ විප්ලවීය හමුදාව ඇමරිකානු සෙබලූන්ට දැඩි බලපෑමක් එල්ල කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ ඔහු ත‍්‍රස්තවාදියෙකු වශයෙන් නම් කිරීමයි. සොලෙයිමානි ඇමරිකාවේ උදහසට පාත‍්‍රවූ අතර ඇමරිකානුවන්ගේ උදහසට ලක්වූ චරිතයක් වූ අතර එරටට ඇතුලූවීම ද තහනම් කළේය. ජාත්‍යන්තරයට පෙනෙන්නේ හෙතෙම ත‍්‍රස්තවාදියෙකු වශයෙන්ය. නමුත් ඔහු කළේ ඉරාකයේ කණ්ඩායම් වලට උපදෙස් හා අවි ආයුධ දී ඇමරිකානු භටයන්ට ප‍්‍රහාර එල්ල කිරීමයි. එක්තරා අවස්ථාවක ඔහු කෙලින්ම ඇමරිකානු සේනාංකයේ ප‍්‍රධානියාගේ දුරකථනයට කෙටි පණිවුඩයක් යවයි. තමන් සොලෙයිමානි බව හඳුන්වා දෙන හෙතෙම ඉරාකයේ සිද්ධවෙන්නේ කුමක්දැයි තමන්ගෙන් අහන ලෙස එහි සඳහන් කළේය. එයින් පෙන්වන්නේ ඉරාන විප්ලවීය හමුදාව මැදපෙරදිග ෂියා පැලැන්තිය වෙනුවෙන් බලපවත්වන පුලූල් ස්වභාවයයි. එහි ඇති අප‍්‍රමාණ බල ව්‍යුහයේ තරමයි.

සොලෙයිමානි සිය විප්ලවීය හමුදාව මෙහෙයවන්නේ ඔහුට අනන්‍ය ආකාරයකටය. ඇමරිකාවේ ඉලක්කයක් බව පෙනි පෙනී නමුත් ඇමරිකානු ප‍්‍රහාරවලින් මිය ගිය තමන්ගේ හමුදා සාමාජිකයන්ගේ අවසන් කටයුතුවලට නිර්භීතව සහභාගී වෙයි. එය කරන්නේ හොඳ ආරක්ෂාවක් සහිතව බව නිසැක නමුත් එහිදී සංවේදී වන ඔහු කඳුළු සලන සහ තමන්ගේ හමුදා සගයන් වෙනුවෙන් දුක්වෙන සිදුවීම් අන්තර්ජාලයෙන් දැකගත හැකිය. එයින් අනාවරණය කරන්නේ ඔහු හොඳ නායකයෙකු බවය.

ඇමරිකාව අයිසිස් ත‍්‍රස්තවාදීන් සමග සටන් කරන විට සිරියාවේ ඉන්නා අයිසිස් බල ඇනි වලට එරෙහිව සටන් කරන්නේ සොලෙයිමානි ගේ නායකත්වයයි. අදටත් ඔබාමා ජනාධිපතිවරයා අයිසිස් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන විට මීළඟ අපේක්ෂකත්වය දිනා ගැනීමේ වටයට තරග කරන ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් යැයි එය හඳුන්වන්නේ නැත්තේ මන්දැයි ප‍්‍රශ්න කරයි. අසියිස් ත‍්‍රස්තවාදීන්ට විරුද්ධව සටන්කිරීම ඇමරිකාවේ ප‍්‍රසාදයට හේතුවිය හැකි නමුත් ඇමරිකාව තමන් ඉරාකයේ දී විඳින ලද තත්ත්වයට සමාව දෙන එකක් නැත. එසේ තිබිය දී ඔහු රුසියාවේ දී පුටින් හමුවෙයි. සිරියාවේ සමහර පලාත් ත‍්‍රස්තවාදීන්ගෙන් මුදවා ගන්නා විට එහි ජනතාවට එහු වීරයෙක් බවට පත්වෙයි. එයට ඇමරිකාව කැමැතිය. සොලෙයිමාන්ගේ මැද පෙරදිග කලාපයේ අර්ථදායකත්වය කුමක්දැයි තවමත් තේරුම් ගැනීමට අපහසු වි ඇත්තේ එහෙයින්ය.

1957 අවුරුද්දේ ඉරානයේ සාමාන්‍ය පවුලක උපත ලැබූ සොලෙයිමානි හැදෙන වැඩෙන වයසට එන විට ඔවුන්ගේ පවුල ආර්ථික අතින් ඉතාමත් දුෂ්කර තත්ත්වයකට වැටී සිටියේය. ඉරානයේ පලාත් තිස් එකක් අතරින් විශාලම එක වන කෙයර්මන් හි දුගී ජීවිතයේ මුල් අවධියේ දී හෙතෙම ගොඩනැගිලි ඉදිකරන තැනක වැඩ කරන්නෙකු හැටියට කල් ගත කළේය. පසුව ජල සම්පාදනය සම්බන්ද කොන්ත‍්‍රාත් කලේය. ඒවායෙන් උපයන ආදායම සම්පූර්ණයෙන් යොදවන්නට සිදුවූයේ තමන්ගේ පවුලේ ණය ගෙවන්නට බව ඔහු පසු කාලයක සඳහන් කර ඇත. විවේකයෙන් ඉන්නා කාලයේ දී ශාරීරික ව්‍යායාම වලට නැඹුරු වූ සොලෙයිමානි තරුණයා තැනින් තැන ඇවිදිමින් ඉස්ලාම් ධර්මය දේශනා කරන දේශකයෙකු සමග සම්බන්ධ වෙන්නේ තීරණාත්මක අවස්ථාවක දීය.

1979 අවුරුද්දේ දී හෙතෙම ඉරාන විප්ලවීය හමුදාවට එකතු වෙයි. ෂා පලවා හරින විප්ලවයේ සාමාජිකයෙකු වන හෙතෙම අයතොල්ලා කොමෙයිනිගේ බලය තහවුරු කරයි. ගමන පටන් ගන්නේ එතැනින්ය. දුෂ්කර බව, ආගමික පසුබිම සහ මිලිටරි හුරුව ඔහු ජාත්‍යන්තරය කතා කරන අලූත් නායකයෙකු බවට පත් කර තිබේ. එකිනෙකට වෙනස් තත්ත්ව යටතේ ඔහු සම්බන්ධවන සංග‍්‍රාම අවසානයේ දී ඔහුට වගකීමක් පැවරී තිබේ. එය ෂියා ආගමික බලවේගයේ පැවැත්මයි. ඉරානයේ අනන්‍යතාවය ඉදිරියට ගෙන යාමයි. එකී අභියෝගාත්මක කාර්යය කරන ආකාරය දෙස ඉරාන වැසියෝ බලා සිටිති. ජාත්‍යන්තරය විශේෂයෙන් ඇමරිකාව ඒ දෙස බලා සිටින්නේ සුපරීක්ෂාකාරීවය.