» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/04/2016 - දේශය
තුර්කි ජනාධිපතිගේ කාමර දාහේ මාලිගාව

තුර්කි ජනාධිපති ටායිප් එර්ඩොගාන් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට ලක්ව තිබේ. ඔහුගේ ඇමරිකානු සංචාරය ගැන එකිනෙකට වෙනස් මාතෘකා ඉදිරිපත් කරන බටහිර මාධ්‍ය එය ඔහු සුපුරුදු පරිදි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගේ නිල හමුවීමකට ඉඩක් නැති සංචාරයක් බව අඟවා තිබේ. ඇමරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් හමුවන අතර ජනාධිපති බැරක් භෝජන සංග‍්‍රහකදී හමුවනු ඇති බව කියයි. තවත් මාධ්‍ය කියන්නේ තුර්කි ජනාධිපතිවරයා න්‍යෂ්ටික ආරක්ෂන සමුළුවට සහභාගී වන අතරවාරයේ දී මාධ්‍යයට වසන්වී බැරක් ඔබාමා මුණ ගැසී එරට අභ්‍යන්තරය පමණක් නොව ආන්දෝලනාත්මක කරුණු ගැන සාකච්ඡුා විය හැකි බවය.

ටායිප් එර්ඩොගාන් තමන්ගේ ගමන ගැන විමසිලිවන්ත මාධ්‍ය වෙත තවත් ප‍්‍රහාරාත්මක වචන හරඹයක් ඉදිරිපත් කළේය. ඇමරිකාව කුර්දි සටන්කරුවන්ට සහාය දක්වන ආකල්පයක ඉන්නා බව තුර්කි ජනාධිපතිවරයා උපකල්පනය කරයි. '' ඔහු කියන්නේ ත‍්‍රස්තවාදීන් යනු ත‍්‍රස්තවාදීන්ම විනා ඒ අතර හොඳ ත‍්‍රස්තවාදයක් නැති බවය'' එය ඉතා බැරූරුම් ප‍්‍රකාශයකි. එර්ඩොගන් පැති ගණනාවකින් සියුම් පීඩනයකට හසු වී ඇති ලෝක නායකයෙකු බවට පත්ව ඇති අතර ඔහු අනුකූල වන ස්වභාවය අනුව ඔහු සතු පරිචය සහ ජන තාන්ති‍්‍රකත්වය හෙළිදරව් වෙන්නට බෙහෙවින් ඉඩකඩ තිබේ.

මන්ද හෙතෙම නියෝජනය කරන්නේ දීර්ඝ ඉතිහාසයක් ඇති පුලූල් පසුබිමක ඇති අධිරාජ්‍යයක අනන්‍යතාවයකි. තුර්කියේ තිබුණ සම්භාව්‍යත්වය ඇති කරන්නට එර්ඩොගාන් උත්සුක වෙයි. එය එක් පැත්තකින් තමන්ගේ ආඪ්‍යය මතු කිරීමකි. ඉතිහාසයට අනුව බටහිර රටවල් ගණනාවක් පැවැතුණේ තුර්කි අධිරාජ්‍යයේ ග‍්‍රහනයට යටත්වය. පසු කාලයක නිදහස් වූ එම රටවල් වෙනම ස්වාධීනත්වයට පත්වූ අතර ලිබරල් ප‍්‍රතිංසස්කරණ වලට යොමු විය. එය එම රටවල ආර්ථික නවෝදයකට මග පාදන්නේය. තුර්කියේ සෑහෙන ජන කොටසක් ජර්මනිය ඇතුළු යුරෝපා රටවල සේවය කරන අතර එම රටවල් තුළ වෙසෙමින් තුර්කිය තුළ සියුම්ව නැගෙන්නට උනන්දුවන රාජකීයත්වය ඔවුන් යම් ආකාරයක විවේචනයකට ලක් කරයි. එහි උද්වේගකර තැනක් බවට පත්වූයේ මෙයින් සති කිහිපයකට කලින් ජර්මන් රූපවාහිනී නාලිකාවක් ප‍්‍රචාරය කරන ලද විනාඩි දෙකක ගීතයකි.

මෙම ගීතය රජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වශයෙන් ටායිප් එර්ඩොගාන් උපහාසයට ලක් කරන එකකි. මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන ස්වභාවය ගීතය සුක්ෂම ලෙස විනිවිද එම ගීතය උපහාසාත්මක එකකි. එයින් කියන්නේ තුර්කි පාලකයා එරට සංරක්ෂිත ප‍්‍රදේශයක අනුමැතියක් රහිතව කාමර දහසකින් යුතු මාලිගාවක් තනන බවය. මාධ්‍ය දඩයම ගැන එම ගීතයේ කියැවෙයි. ජනාධිපතිවරයා අකමැති දේ ලියන මාධ්‍යවේදීහු හිරගත කරන රටක අනවසරයෙන් මාලිගා හදන්නේ කොහොමදැයි එහි අන්තර්ගතය වී තිබේ. මෙම සිදුවීම පෙන්වන්නේ ලෝකයේ කොතැනත් වෙන්නේ එකක් බවය. ජර්මනියේ මාධ්‍ය ගීත නිර්මාණය කරන්නේ තමන්ගේ ලිබරල් ද්‍රෘෂ්ඨිය අනුවය. බටහිර මාධ්‍ය ඔහු කොටු කරන්නට හදන්නේ ඔවුන්ගේ ව්‍යුහයෙන්ය. නමුත් ටායිප් එර්ඩොගාන් පෙනවන්නේ ඔහු පාලකයෙකු බවය. කොපමණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ ලිබරල් අදහස් පවතින නමුත් හෙතෙම අඟවන්නට තැත් දරන්නේ රටක් වශයෙන් තමන් සතුව තිබූ අනන්‍යතාවයයි.

ටායිප් එර්ඩොගාන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයෙකි. පාලනය අනුව ඔහු තුර්කියේ ජනාධිපති නමුත් රටවැසියන්ට තමුන්ගේ හිතේ ඉන්නා රජ කෙනෙකි. තුර්කි අධිරාජ්‍ය නියෝජනය කරන සම්භාව්‍ය පාලකයෙකි. හෙතෙම කැමැත්තක් දක්වන්නේ එරට ලක්ෂණ නැවත එකතු කරන්නටය. මාලිගා සහ රාජ්‍යත්වය තුර්කියට අමුතු දේ නොවේ. නමුත් ලිබරල් අදහස් ඇති රටවල් ඒවා බරපතල ලෙස විවේචනය කරයි. ගැටුම හටගන්නේ එතැනින්ය. ජර්මන් ආර්ථිකයෙන් ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් මිණුම් දඩු ඔසවන මෙම සිදුවීම පෙන්වන්නේ ලෝකයේ ස්වභාවයයි. ජර්මන් නාලිකාවක මෙම ගීතය ප‍්‍රචාරය වන විට එරට සිටින ජර්මන් තානාපතිවරයා කැඳවූ තුර්කි විදේශ අමාත්‍යංශය එම ගීතය ගැන ප‍්‍රශ්න කර ඇත. නමුත් තුර්කියේ වැසියන් ඒවා ගණනකට ගන්නේ නැත. බටහිර මිණුම් දණ්ඩ වෙනුවට ඔවුන් දකින්නේ තම රටේ පෞඩත්වයයි.

ටායිප් එර්ඩොගාන් ලිබරල් අදහස් ඇතිව ඉස්ලාම් සංස්කෘතියේ යම් යම් ලක්ෂණ විවෘත කරන ලද නමුත් ඔහු නැවත අධිරාජ්‍ය ලක්ෂණ ඇති කරන්නට මැලිකමක් දක්වන්නේ නැත. එක පැත්තකින් ජාත්‍යන්තරය සමග සම්බන්ධ වෙන්නට උත්සුක වන හෙතෙම රට තුළ පවතින්නට හදන්නේ ආඩ්‍යත්වයෙන් යුත් පාලකයෙකු නමුත් ඔහු හදන්නේ අධිරාජ්‍යයෙකු වෙන්නටය. පැරණි ව්‍යුහයට ආඩම්බර වෙන්නට ඔහු කැමැතිය. නමුත් යුරෝපයේ ආර්ථික එන්ජිම බවට පත්ව ඇති ජර්මනිය කියන්නේ රජෙක් වෙන්න හදන පාලකයෙක් කියාය. තුර්කියේ රට වැසියන් මෙම සිදුවීම ගැන අතරමැද තැනක ඉන්නා නමුත් තුර්කියෙන් පරිබාහිරව ජීවත්වන පිරිස එය කදිම කටගැස්මකි.

ටායිප් එර්ඩොගාන් එරට දොලොස් වැනි ජනාධිපතිවරයාය. එයට කලින් 2003 සිට 2014 දක්වා හෙතෙම තුර්කියේ අගමැති බව සඳහන් කළ යුතුය. යුක්තිය සහ සංවර්ධනය යනුවෙන් දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද හෙතෙම එයට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරට එකතු වූයේ ජනප‍්‍රසාදයක් සහිතවය. අද වන තුරු රට තුළ ඔහුගේ ජනප‍්‍රියත්වය පිරිහී නැත. අලූත් පරම්පරාව තුළ පවා විශාල විග‍්‍රයක් ඇති බවක් නොපෙනේ.

2023 වසර වන විට තුර්කිය යුරෝපා සංගමයේ සිටිය යුතු තැන සම්බන්ධයෙන් දර්ශයක් තුර්කියට තිබේ. එය ඉස්ලාම් ආකල්ප සමග සසඳන්නට අවශ්‍යය. එර්ඩොගාන් කියන පරිදි ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරීත්වයෙන් ඉල්පෙන එකක් විය යුතුය. ඇමරිකාවේ ආකල්ප පමණක් නොව යුරෝපා ප‍්‍රජාවේ සම්බන්ධතා ද මෙහිලා ඉතා වැදගත් බව පෙනේ. හැම පැත්තටම වඩා උපකාරී වෙන්නේ ජනතාවගේ ප‍්‍රසාදයයි. තුර්කි ජනාධිපතිවරයා ජනතාන්ත‍්‍රිකත්වය අතරින් තනන ඔහුගේ අධිරාජ්‍යයේ ව්‍යුහය දෙස අන්තර් ජාතික ප‍්‍රජාව තුළ ඉතා ඉහළ අවධානයක් තිබේ. ජර්මනියේ නාලිකාවක් විකාශ්‍ය කරන ගීතය මගින් සංකේතවත් කරන කාමර දහසක මාලිගාව දෙස බලන්නට අවශ්‍ය එකී ප‍්‍රවේශයෙන්ය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.