» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
03/01/2016 - දේශය
දීපිකා පදුකෝන් ගේ අසනීපය

ජනතාන්ත‍්‍රිකත්වයට පත්වන චරිත වලට ස්වභාවයෙන්ම ජනතාව අතර තමන්ට හිමි තැන ගැන හොඳ අවබෝධයක් සහිතය. ජනතාව මෙම ජනකාන්ත චරිත දෙස බලන්නේ අපූර්වත්වත්වයෙනි. පරමාදර්ශී ආකාරයටය. ඉහළින් ඉහළටම නැගෙන අද්විතීය පුද්ගලයෙකුට එක්තරා අවස්ථාවක තමන් අසාමාන්‍ය බව දැනෙන්නේ කොහොමද? එය මානසික ප‍්‍රශ්නයකි. සාමාන්‍ය මිනිස් ගුණාංග පිහිටා තිබිය යුතු නමුත් එම ගුණ අභිබවා නුගුණ පැන නගින විට එය දැනෙන පමණක් නොව ඒ හෙයින් තමන් නිවැරදි විය යුතු බව හිතන චරිත දුලබය. ඒ ආකාරයට හිතන අය දුලබ පරිසරයක නිර්භීතව සමාජය හමුවට පැමිණ තමන්ගේ මානසිකත්වය දුර්වල සහ ගැටලූ සහගත බව කියන්නට තරම් ආත්ම ශක්තියක් ඇති චරිත කොපමණ ඉහළට ඔසවා තැබිය යුතු තරම් වටිනා එකක්ද?

දීපිකා පදුකොන් එවැනි දැක්මක් ඇති කාන්තාවකි. බොලිවුඞ් රංගන ශිල්පිනියක වශයෙන් ඉතාම ඉහළ පිළිගැනීමක් ඇති දීපිකා තමන්ගේ ජනප‍්‍රියත්වය මොහොතකට පැත්තකින් තබන්නීය. එම ජනප‍්‍රියත්වයට අත්පත් විය හැකි ඉරණම ගැන කිසිසේත් අවධානය යොමු නොකරන්නීය. මාධ්‍ය හමුවට පැමිණ තමන්ට මානසික ගැටලූවක් ඇති අතර එයට නොකඩවා ප‍්‍රතිකාර ගන්නා බව ප‍්‍රකාශ කළාය. දැන් එය ප‍්‍රශ්නයක් නැති බව දක්වා එයට ගොදුරු වූ ආකාරය ද ප‍්‍රසිද්ධියේ අනාවරණය කරන්නට මැලි නොවූවාය. මෙම සාකච්ඡාව ඉදිරිපත් කළ ඉන්දීය එන්.ඞී.ටී.වී. නාලිකාව කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් ගැනීම අනුව ලෝක ජනගහනයෙන් සියයට තිස් හයක් කිසියම් ආකාරයක මානසික ප‍්‍රශ්නයකින් පෙලෙන බවය. නමුත් ගැටලූව දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ වෙනත් රෝගයක් මෙන් මෙම ප‍්‍රශ්නය තමන්ට ඇති බව නොදැන ජීවත්වන පිරිස විශාල බවය. එම නාලිකාවට අනුව ඉන්දියාවේ පමණක් මානසික ව්‍යාධි හෙයින් දිවි නසා ගන්නා ප‍්‍රමාණය ඉහළ ප‍්‍රතිශතයක් වන අතර එවැනි පසුබිමක තිබිය දී දීපිකා ඉදිරියට පැමිණ පෙනී සිටින්නේ මෙම නොදන්නා නමුත් ප‍්‍රතිකාර ගත යුතු ජන සමාජයෝ කොටසක් වෙනුවෙන් බව අඟවයි.

''මුලින් මට මහන්සියක් දැනුණා. පසුව සාංකාවක් වැනි ගතියක් දැනුණ අතර එය විශාධිය බව මම තේරුම් ගත්තා'' යනුවෙන් ඇය සඳහන් කරන්නී ඉන්දියාවේ ප‍්‍රධාන මාධ්‍ය නාලිකාවකටය. එය ලෝකය පුරා ප‍්‍රචාරය වූයේ ඇසිල්ලකිනි. මෙම මානසික ගැටලූව ඇති බව දැනගත් වහා ඇය නිතර නියමිත වැඩ වල අඛණ්ඩව නිරත වන්නට බලවත් උත්සාහයක් දරා ඇත. රසිකයන් සමග සම්බන්ධ වෙන්නට තද උත්සාහයක් ගෙන තිබේ. නමුත් ඇයගේ මෑණියන් මෙම තත්ත්වය අවබෝධ කරගෙන දන්නා වෛද්‍යවරයෙකුට සහ පසුව වැඩිදුර ප‍්‍රතිකාර වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ඇත. ඖෂධ භාවිතයෙන් නිදුක් නිරෝගී විය හැකි තත්ත්වයක් වශයෙන් මෙය සැලකිය නොහැකිය. ගැටලූවක් ඇති බව තමන් අවබෝධ කරගත යුතු පමණක් නොව එයින් මිදෙන්නට කැපවිය යුතු ද ස්වකීය ආත්ම ශක්තිය පෙරටුවේ තබාගෙනය. දීපිකා පදුකොන් තම මානසික තත්ත්වය විෂාධය වශයෙන් හඳුනාගත්තා පමණක් නොව ප‍්‍රතිරූපයට සිදුවිය හැකි අවාසිය නොසලකා සිය රසිකයන් වෙනුවෙන් එය අනාවරණය කරන්නීය. සැලකිය යුතු බැරෑරුම් තීරණයක් බව සඳහන් කිරීම අවශ්‍යය.

දිපිකා පදුකොන් ඉපදුනේ ඩෙන්මාර්කයේ කොපර්හේගන් නුවර නමුත් හැදී වැඩුණේ බැංගලෝරයේය. එයට පසුබිම් වූයේ ඇගේ තාත්තා බැඞ්මින්ටන් ක‍්‍රීඩිකයෙකු වීමය. පදුකෝන් ද බැඞ්මින්ටන් කී‍්‍රඩා කරමින් සිටි අතරවාරයේ අහම්බෙන් බොලිවුඞ් සිනමාවට එක් වූ අතර දෙවතාවක් ෆිල්ම්ෆෙයාර් සම්මානයට පාත‍්‍රවූවාය. අද වන විට ඇයගේ මානසික තත්ත්වය ගැන කරන ලද අනාවරණය නොසලකා හරින ඉන්දියානු චිත‍්‍රපට ලෝලීහු ඇය බොලිවුඞ් හි ජනප‍්‍රියම චරිතය බවට තෝරාගෙන ඇති අතර නිෂ්පාදකයන්ට අනුව වැඩිම ගාස්තුවක් අය කරන නළු නිළියන් අතරෙහි ඇය සිටියි. පදුකෝන් නගරයට පැමිණ මුම්බාහි ජීවත්වෙයි. පවුල සමග බැඳීමක් ඇති අතර නිති පතා දෙමව්පියන් බලන්නට යන බව ඇය ගැන පුද්ගලික තොරතුරු අනාවරණය කරන ලිපි ලේඛන පෙන්වයි. එපමණක් නොවේ. ඇය ආගමානුකූලව විනීත ජීවිතයක් ගත කරන බව ද තොරතුරු හෙළි කරන කාරණයකි. නමුත් අධික වෙහෙස සහ එකම කාර්යයෙහි නිතිපතා නිරතව සිටීම මානසික ව්‍යාධියකට ගොදුරු කර ඇත.

අද සමාජය තුළ වැඩි දෙනෙකු අවධානයට ලක් කරන්නේ ශරීරයෙන් නිරෝගීව ජීවත්වීම ගැනය. නිරෝගී බව පෙනෙන වැඩි දෙනෙකු තමන්ගේ මානසික නිරෝගී බව ගැන තකන්නේ නැත. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. එකම දේ වෙනුවෙන් අධිකව වෙහෙසෙන චරිත නිතර මානසික රෝග වලට ගොදුරු වෙයි. ඒවා එළිපිට කියැවෙන්නේ නැත. විශේෂයෙන් ජන නායකයන්ය. ධනය බලය හමුවේ ඉතා ඉහළටම නැගෙන දේශපාලනඥයන් ඒ අතරෙහි ප‍්‍රමුඛ බව ද විචාරකයන් දක්වන අදහසකි. වින්ස්ටන් චර්චිල් පවා තමන්ට මානසික ගැටලූ ඇති බව පිළිගෙන තිබේ. චර්චිල් යුද වීරයෙකි. බය නොහඳුනන අධිශ්ඨානශීලී චරිතයකි. ඔහු තමන්ට 'බ්ලැක් ඩොග්' යනුවෙන් ඔහුම හඳුන්වනලද ව්‍යාධිය ඇති බව කියන අතර සිය දෛනික කාර්යයෙන් නිදහස්ව චිත‍්‍ර අඳින්නට නැඹුරු වෙන්නේය. ඒ වයස අවුරුදු හතලිහේ දීය. තවත් අවස්ථාවක මිනිසුන් හා එක්ව පෙදරේරු වැඩ කරන්නේය. මනස වෙනස් කරගන්නා අදහසින්ය. විශේෂයෙන් මානසික සහනය වෙනුවෙන් බව එයින් වටහා ගත හැකිය. නමුත් ගැටලූව ඇත්තේ මේ ව්‍යාධිය ඇති බව නොදැන සහ නොසලකා ක‍්‍රියා කරන අති විශාල පිරිසයි. එයින් ඔවුන් මුහුණ දී ඇති බරපතල තත්ත්වය පමණක් නොව සමාජටය කෙරෙහි නරක පැත්තෙන් බලපාන්නට ඇති ඉඩකඩ සුළු පටු එකක් නොවේ.

දීපිකා පදුකෝන් තමන් මුහුණ දුන් ඉරණමෙන් ගැලවෙන්නට තැත්කරනවා පමණක් නොව එය සමාජයට ඉදිරිපත් කර තමන් මුහුණ දුන් සාංකාව, විෂාධය වැනි තත්ත්ව ඇති තවත් පිරිසක් ගලවා ගන්නට හැකි යම් දෙයක් කරන්නට සූදානම් බව ද කියා සිටියි. එය වෛද්‍ය ප‍්‍රතිකාර පතන රෝගීන් නිරෝගී කරන්නට වෛද්‍ය සායනයක් සංවිධානය කරනවාට වඩා බලවත් ප‍්‍රයත්නයකි. තමන් නිරෝගී යැයි හිතන යම් කණ්ඩායමක් හමුවට ගොස් ඔබ මානසිකව රෝගී වී ඇති බව කියා ප‍්‍රතිකාර වෙලූවෙන් පොළඹවන්නට සමත් විය යුතු වැඩ පිළිවෙලකි.

අධිකව වෙහෙසෙන, එකම කාර්යයක එක දිගට නිරතව සිටින පුද්ගලයෝ සාංකාව හෝ විෂාධය වැනි මානසික තත්ත්වයන්ට ගොදුරු වෙති. එයට ඉතාම දරුණු ආකාරයට ගොදුරවන අයවලූන් හැසිරෙන්නේ විකෘති චරිත හැටියටය. ලෝක ඉතිහාසයේ බලවත් චරිත මානසික ව්‍යාධියට ගොදුරු වී සාහසික ආකාරයට හැසුරුණ පමණක් නොව එය සමස්ථ ලෝක පැවැත්මට තර්ජනයක් වූ ආකාරය පර්යේෂකයන් සිය අවධානයට ගෙන තිබේ. බලකාමයෙන් මත්ව පොදු උන්නතිය නොතකා ක‍්‍රියා කළ නොයෙකුත් චරිත අභ්‍යන්තරව දරුණු ව්‍යාධියක් තිබෙන්නට ඉඩ කඩ බොහෝ බව මානසික විශේෂඥයන් අද දක්වන කාරණයකි. එදා පමණක් නොව අදත් අප අතර ගැවසෙන, සමාජයේ කැපී පෙනෙණ චරිත මානසික ගැටලූ සහ අධික පීඩනයකින් යුතුව ජීවත් වන බව රහසක් නොවේ. එම රහස අනාවරණය කර තමන් ප‍්‍රතිකාර ලබන බව පමණක් නොව එම තේරුම් ගැනීමෙන් පසු නිවැරදිව යළි ජීවිතයට අවතීර්ණ වී ඇති බව කියන්නට හැකියාව ඇත්තේ කෙබඳු ඉහළ මානසිකත්වයක් සහිතව ද යන්න තේරුම් ගැනීම අවශ්‍යය.

ජනතාව තමන් අතර ජීවත්වන සුවිශේෂී පුද්ගලයන් ජන තාන්ත‍්‍රිකත්වයට පත් කරන්නේ ඔවුහු සතු දර්ශනය සහ එම දර්ශනය ක‍්‍රියාත්මක කරන්නට දක්වන අපරිමිත කැපවීම හෙයින්ය. එකම කාර්යය වෙනුවෙන් ජීවිතයේ වැඩිම කාලයක් එක දිගට වෙහෙසෙන ජන තානත‍්‍රිකයන්ට තමන්ගේ පෞද්ගලික මානසිකත්වය ගැන හිතන්නට මෙම පැත්ත කදිම අනාවරණයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.