» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/12/2018 - දේශය
ලෝකයේ වැඩිම වැටුප ගන්නා කාන්තාව

ලෝකයේ වැඩිම වැටුපක් උපයන කාන්තාව ගැන ජාත්‍යන්තරයේ ආන්දෝලනයක් හටගෙන තිබේ. සේවයට ගෙවන වැටුප සම්බන්ධයෙන් කාන්තා හා පිරිමි සමානාත්මතාව ගැන විශාල සාකච්ඡාවක් සිදුවන වකවානුවක බෙට් 365 ඩොට් කොම් නමැති අන්තර් ජාල ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයේ ප‍්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් බි‍්‍රතාන්‍ය ජාතික ඩෙනීස් කවුස්ට් පසුගිය වසරේ දී පවුම් මිලියන 220 ක වේතනයකට හිමිකම් කියා තිබේ. එයට අමතරව සමාගමේ කොටස් වලට හිමි ප‍්‍රතිලාභ වශයෙන් තවත් පවුම් මිලියන 45 ක් උපයා ගෙන ඇති අතර වැටුප කලින් වසරට වඩා සියයට විසි දෙකක ඉහළ නැගීමකි. ලෝකයේ ප‍්‍රමුඛ ව්‍යාපාර ජාල මෙම වැටුප් ගෙවීමේ ඉලක්කම් ගැන මවිත වී ඇත. වැඩිම වටිනාකමක් ඇති ලෝකයේ අංක එකේ සමාගම මෙහෙයවන ප‍්‍රධානියාගේ වැටුප මෙන් තුන් ගුණයක් බව දැක්වෙයි.

ඩෙනීස් කවුස්ට් ගේ සමාගම ධනය උපයන අන්දම ගැටළු සහගතය. ලෝකය පුරා දුප්පත් පොහොසත් ජනි ජනයා ඉක්මනින් වාසනාව අපේක්ෂාවෙන් ඔට්ටු ඇල්ලීමෙහි නිරතය. පරාජය වන පුද්ගලයෝ බොහෝය. අතලොස්සක් දෙනා වාසනාවන්තයෝ වෙති. දිනුවත් පරාජය වුවත් ඩෙනිස් කවුස්ටි වැනි ප‍්‍රධානීහු යහමින් උපයති. ඇයගේ ධනය ගැන අප‍්‍රසාදයෙන් කතා කරන පිරිස එමටය. ඒ අතරවාරයේ ඇය නැගී ඉදිරියට පැමිණි ගමන ගැන විස්මයෙන් කතා කරන අවස්ථා සෑහෙන තරම් වාර්තා වෙයි. ජාත්‍යන්තර ජනමාධ්‍යයේ ඇගේ වගතුග ගැන කතාකිරීමට නොපසුබටව සූදානම්ය.

සූදු ඔට්ටු තැබීම තාක්ෂණික මුහුණුවරක් ගෙන තිබේ. එය නීත්‍යානුකූල ව්‍යාපාරයක් සේ වර්ධනය වී ඇත. වාසනාව සොයා ඔට්ටු අල්ලන තරම කොපමණ ව්‍යාප්ත වී ඇත්ද යත් ඩෙනිස් කවුස්ටි ගේ ඩොට් කොම් සමාගම 2017 මූල්‍ය වර්ෂයේ දී පිරිවැටුම සියයට 26 කින් ඉහළ ගොස් පවුම් මිලියන 2,718 තෙක් නැග ඇති අතර ශුද්ධ ලාභය සියයට 33 කින් වර්ධනය වී තිබේ. එවැනි පිරිවැටුමක් ගෙන එන්නේ ලෝකයේ විශාලතම අන්තර් ජාල ඔට්ටු සේවාව සහ එය වටා සාමාජික වී ඇති මිලියන තිස් පහකට අධික ගනුදෙනුකරුවන් සමග බව අනාවරණය වන විශේෂ සිද්ධියකි. ඩෙනිස් කවුස්ටි ගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහු සූදු ව්‍යාපාරයක් කරගෙන ගියේය. මධ්‍යම එංගලන්යේ කුඩා නගරයක කුඩා ගොඩනැගිල්ලක එය කරගෙන ගියේය. ආර්ථික විද්‍යාව ගැන ෂෙෆිල්ඞ් විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම පංතියේ උපාධිධාරිනියක වන ඩෙනිස් කවුස්ටි එය බිංදුවෙන් ආරම්භ කළේ එතෙක් පැවැති සම්ප‍්‍රදායික ව්‍යුහය වෙනස් කර අන්තර් ජාල ඔට්ටු ඇල්ලීමක් බවට පරිවර්තනය කරමින්ය. මුලින් සුළු ඔට්ටු අල්ලන තැනක ගරාජය තෝරා ගත්තේය. ඩෙනිස් කවුස්ට් මෙම ව්‍යාපාරය තාක්ෂණිය යුගයට ඇතුළු කිරීම උවමනා වී තිබුණි. එය හැරෙන්නට අන් මගක් නැති බව ඇය ගේ විශ්වාසය වූවාය. අන්තර්ජාලයේ විකුණන්නට දැන්වීමක් පළ කර තිබුණ බෙට් 365 ඩොට් කොම් අඩවිය පවුම් විසි පන්දහසකට මිල දී ගත් ඇය ඔට්ටු ඇල්ලීමේ ක‍්‍රියාවලිය නවීකරණය කළ අතර සුළුවෙන් ආරම්භ වූ ගමන මහා ව්‍යාපාරයක් බවට පත්වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

චෙලිසිය ප‍්‍රාන්තයේ කදිම ගොවිපොලක ජීවත්වන ඩෙනිස් කවුස්ටි විවාහකය. තමන්ගේ දරුවෙකු සහ එකම පවුලේ දරුවන් හතර දෙනෙකු දරුකමට හදාගන්නා ඇය තමන් පස් දරු මවක යැයි කියා සිටින්නීය. බාල අවදිය ගැන එපමණ සවිස්තරාත්මක තොරතුරු සනිටුහන් නොවේ. පුද්ගලිකත්වය ආරක්ෂා කරගෙන සිටින්නට ඇය කැමැති බව පැහැදිලිව දැක්වෙයි. කුඩා අවදියේ පාසල් යන අතරතුර පවා පවුලේ ගිණුම් පොත් තැබීමේ ව්‍යාපාරයේ හවුල් කාරියක වී සිටියාය. පසුව නොයෙක් ආදායම් උපයන ව්‍යාපෘතින් හි නිරත වූ අතර අන්තර්ජාල ඔට්ටු තැබීම අරඹන්නේ 2000 වසරේ දී ය. ඉතාම කෙටි කාලයක් ඇතුලත එයට ලැබුණ ප‍්‍රතිචාරය අති මහත් වූ අතර අවුරුදු දොලහක් යන්නට මත්තෙන් 1917 අවුරුද්දේ එවකට පස්වන ජෝර්ජ් රජු ආරම්භ කරන ලද පුරවැසියන් අගය කිරීමේ ඉහළම සම්මානය දිනා ගැනීමට ද සමත් වූවාය. එයට හේතු වූයේ ඇය ව්‍යාපාරයට සමාන්තරව කරගෙන ගිය සමාජ සේවා කටයුතු බව පැවසේ. ඒ අතරවාරයේ බී.බී.සී ආයතනය හා කාන්තා පැය නමැති ව්‍යාපාරයක් ඇය ගේ කීර්තිය ඔසවා තබන සම්මාන පිරිනැමීය. බි‍්‍රතාන්‍යයේ පළමු කාන්තාවන් සියය අතරින් අයෙකු සේ නම් කිරීම කැපී පෙනෙයි. ස්ටැෆඞ්ෂයර් විශ්ව විද්‍යාලය සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමන්නේ ද 2012 අවුරුද්දේ දීය.

එක්තරා අවස්ථාවක ඇය ගේ ඔට්ටු තැබීමේ ව්‍යාපාරය ඇමරිකාවේ ප‍්‍රකට කැසීනෝ සමාගමක් සමග හවුල් ව්‍යාපාරයකට සූදානම් විය. ඇමරිකානු අධිකරණය එයට ඉඩ දුන්නේ නැත. වසර දහයක් දක්වා ක‍්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර වලට ඉඩ නොදෙන තීරණයක් ප්‍රකාශයට පත් කළේය. බි‍්‍රතාන්‍යයේ පවා එයට බාධා තිබේ. පසු කාලයක ඇය සිය මූලස්ථානය වඩා ලිහිල් නීති සහිත ජිබ්රෙල්ඩාහි දුපතකය ගෙන ගියාය.

සිය ව්‍යාපාරයෙන් අති විශාල ආදායමක් උපයන ඩෙනිස් කවුස්ටි එයින් කොටසක් පොදු යහපතට යොදවයි. මුලින් සිය ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරය නමින් පවත්වාගෙන ගිය සමාජ සේවා කටයුතු පසුව ඩෙනිස් කවුස්ටි පදනම යනුවෙන් නැවත නම් කරන්නට ඇය පියවර ගත්තාය. සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ, කාලගුණ විපත්, ප‍්‍රජා සත්කාරක කටයුතු වෙනුවෙන් පදනම ප‍්‍රදාන පිරිනමයි. පසුගිය වසරේ පමණක් පවුම් මිලියන 3.6 කි සමාජ සුබසාධනයට වැය කර ඇති බව දැක්වෙයි. ලෝකයේ බිලියනපතියන් නැවත ජන සමාජයේ යහපත වෙනුවෙන් කරන පරිත්‍යාග දෙස බලන විට සුළු එකක් නමුත් තරුණ ඩෙනිස් කවුට්ස් ගේ තීරණය ජනතාවගේ පැසසුමට ලක්ව ඇත.

ව්‍යාපාරයකින් සමාජයට ලැබෙන යහපත අයහපත යන දෙක අතර වැඩි වෙනසක් නැති තරමට සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබේ. අයහපත් නම් අති විශාල පිරිසක් සූදුව වටා ඒකරාශී වෙන්නේ නැත. සූදුව දුරු කළ යුතු බවට විශාල මත ඇති සහ නීති රීති තද කරන පසුබිමක පවා ඩෙනිස් කවුස්ටි වැනි චරිත ලෝකයේ අවධානයට ලක්ව තිබේ.