» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/09/2018 - දේශය
ජිමී කාටර් සමාජ මෙහෙවර

ජේම්ස් අර්ල් කාටර් ඇමරිකාවේ තිස් නම වැනි ජනාධිපතිවරයා වශයෙන් පත් වූයේ 1977 වසරේ ජනවාරි විසි වැනිදාය. ජිමී කාටර් යන නමින් ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත් වූ අතර අදටත් ගෞරවණීය ජීවිතයක් ගත කරයි. වසර හතරක, එක වරමකට පමණක් ඔහු ගේ ජනාධිපති ධුර කාලය සීමා විය. තැන්පත් චරිතයක් සේ සැලකෙන හෙතෙම වඩා ජනාදරයට පත් වූයේ විශ‍්‍රාම ජිවිතයක් ගත කරන වකවානුවේදීය. වර්තමානයේ ඇමරිකාවේ ජීවත්වන එරට හිටපු ජනාධිපතිවරු අතරින් එරට බදු ගෙවන ජනතාවට අඩුම බරක් වී ඇති පුද්ගලයා වශයෙන් ජිමී කාටර් සමාජ ඇගයීමට ලක්ව තිබේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකු නඩත්තු කරන්නට වෙන් කරන මුදලින් හරි අඩක්වත් වියදම් නොකරන සරල ජීවිතයකට හෙතෙම නැඹුරු වී සිටී.

හිටපු ජනාධිපතිවරයා පිහිටුවාගත් කාටර් මධ්‍යස්ථානය මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් හා ආර්ථික වශයෙන් ආධාර අවශ්‍ය ජනකොටස් වලට පිහිටවීම සඳහා ක‍්‍රියාත්මක වෙයි. ලාභ නොලබන රාජ්‍ය නොවන ආයතනයක් වශයෙන් කාටර් මධ්‍යස්ථානයේ මෙහෙවර ලෝකයේ රටවල් අසූවක ව්‍යාප්ත වී ඇත. බලයේ සිටි ජනාධිපති කාටර් ට වඩා සමාජ මෙහෙවරෙහි නිරත ජිමී කාටර් බලවත් චරිතයකි. කාටර් පදනම ස්ථාපිත කර එයින් කරන සමාජ සුබසිද්ධිය උදෙසා ජිමී කාටර් වෙත 2002 වසරේ දී නොබෙල් සම්මානය හිමිවිය.

කාටර් පරම්පරාවේ මුල් පුරුක ඉංග‍්‍රීසි ජාතික සංක‍්‍රමණිකයන්ය. වර්ජිනියා ප‍්‍රාන්තය පදිංචියට තෝරා ගත් අතර දෙවන පරම්පරාවේ කාටර් දෙමාපියෝ වෘත්තිය වශයෙන් රටකජු වගාව තෝරා ගෙන තිබුණි. ජිමී ගේ පියා ගොවිපොලක් පවත්වාගෙන ගිය අතර සාර්ථක ව්‍යාපාරිකයෙකු සේ ප‍්‍රකටය. පළමු වැනි ලෝක යුද්ධය වකවානුවේ දෙවන ලූතිනන්වරයෙකු සේ ඔහු සේවය කර ඇත. මව හෙදියක වූවාය. තරුණ ජිමී පාසල් අධ්‍යාපනයෙන් ඉනික්බිතිව නාවික ඇකඩමියෙන් විද්‍යා උපාධිය අවසන් කළේය. ඉගෙනුමට දක්ෂතාවයක් පෙන්වූ අතර පාසල් කාලයේ දී වඩු කර්මාන්තයෙහි ඇල්මක් දැක්වීය. ජනාධිපති ධුරයේ කටයුතු අතරවාරයේ පවා වඩු කාර්මික වෘත්තියට අභිමානයක් අපේක්ෂාවෙන් ක්ෂේත‍්‍රයේ ශිල්පීන් සමග එකට වැඩ කරන ලද අවස්ථා ගණනාවකි. බලය ගැන නොතකා අල්පේච්ඡ ජීවිතයකට නැඹුරු වී සිටි හෙතෙම ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු පවා රට කජු වගා කරනු සඳහා සිට පවුලේ ගොවිපොලට යන බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.

වගා කරනු සඳහා ගොවිපොලට යන බව ප‍්‍රසිද්ධියේ කියන්නට ඔහුට උරුමයක් පැවැති බව සඳහන් කළ යුතුය. සිය පියාගේ අභාවයෙන් පසු රට කජු ගොවිපොල භාරගත් හෙතෙම එහි සාර්ථකත්වය අනුව ප‍්‍රදේශයේ වැදගත් තැනක් හිමිකරගෙන සිටියේය. සාමාන්‍ය ජනතාවගේ සිවිල් අයිතීන් ගැන කතා කරන චරිතයක් විය. සමාජ තත්ත්වය හා සිවිල් ක‍්‍රියාකාරීත්වය අනුව ජිමී කාටර් ඩිමොක‍්‍රටික් පක්ෂයට ලැදිව කටයුතු කළේය. දේශපාලනයට ප‍්‍රවේශ වූ ජිමී කාටර් මුලින් සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන ලද අතර පසුව 1971 සිට 1975 දක්වා ජෝර්ජියාවේ ආණ්ඩුකාර ධුරයට පත්විය. එයින් වසරකට පසු ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනෙන පක්ෂ ඡන්දයට තරග කරන ලද ඔහු එයින් ජය ගත්තේය.

ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ප‍්‍රතිවාදි අපේක්ෂක හෙන්රි ෆෝඞ් පරාජය කර සියුම් ජයග‍්‍රහණයක් ලැබූ ජිමී කාටර් ධුරයට පත් දෙවන දිනයේ දී වියට්නාම යුද්ධයට සහභාගී නොවීමේ වරදට සිරගතව සිටි ඇමරිකානුවන්ට පොදු සමාවක් ප‍්‍රකාශ කිරීම විශේෂ සිද්ධියකි. අධ්‍යාපන හා බලශක්ති අංශ වලට නව කැබිනට් ධුර ඇති කිරීම ජිමී කාටර් පාලන කාලයේ දී ගත් වැදගත් තීරණ වශයෙන් සැලකේ. ඛනිජ තෙල් ජාතික ප‍්‍රතිපත්තිය හැදූ හෙතෙම මිල පාලනය හා නව තාක්ෂණය එම ක්ෂේත‍්‍රයට හදුන්වා දුන්නේය. එකල පැවැති බොරතෙල් ඒකාධිකාරය හා එහි නැඹුරුව සලකන විට දුර දිග හිතා බලා එවැනි ව්‍යුහයක් ඇමරිකාව තුළ ස්ථාපිත කිරීම ඇගයීමට ලක් විය. කැම්ප් ඬේවිඞ් සම්මුතිය, පැනමා ඇල සම්බන්ධ අර්බුදය නිරාකරණය හා අවි සීමාව සම්බන්ධ ජාත්‍යන්තර එකඟතාවල තවත් වටයක සාකච්ඡා පැවැත්වීම ජිමී කාටර් පාලන කාලය තුළ ගත් තීරණ අතර සැලකිය යුතු තැනක තිබේ. ඉරානය සම්බන්ධයෙන් මතු වූ ප‍්‍රශ්න, සෝවියට් ඇමරිකා ලෝක බලවතුන්ගේ සීතල යුද්ධය හා පසුව උද්ගත වූ ප‍්‍රශ්න ජිමී කාටර් කෙරෙහි එතෙක් පැවති ප‍්‍රබෝධය සීමා කරන ලද අතර පළමු වාරය අවසානයේ පවත්වන ලද ඩිමොක‍්‍රටික් පක්ෂ සම්මේලනයේ දී ඔහු පාක්ෂිකයන්ගේ අභියෝගයකට මුහුණ දුන්නේය. මැද මාවතේ දේශපාලනය ඔහු අනුගමනය කළේය. මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පරාජය වූ අතර අනතුරුව පැවැති ජනාධිපතිවරණයෙන් පසු රිපබ්ලිකන් අපේක්ෂක රේගන් ජයගත්තේය. එක ධුර කාලයකට පසු ජනාධිපති ධුරය භාර දී ඉවත්ව යන්නට සිදුවිය.

විශ‍්‍රාම ජීවිතයකට හුරු වූ ජිමී කාටර් සිය ජනතාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කිරීම අත්හරින්නට මැලි කමක් දැක්වීය. 1982 වසරේ දී කාටර් මධ්‍යස්ථානය ආරම්භ කළේ එහි පියවරක් වශයෙනි. ලෝකයේ තැනින් තැන සිදුවන මානව අයිතිවාසිකම් වෙනුවෙන් හෙතෙම පෙනී සිටියේය. දුප්පත්කම දුරුකරන්නට වැඩ පිලිවෙල සකස් කළේය. දියුණු වෙමින් පවතින රටවල ජනී ජනයා වෙනුවෙන් බෝවෙන රෝග නිවාරණය ගැන දැනුම හා අවබෝධය පැතිරවීය. ගැටුම් පවතින රටවලට ගොස් සාම සාකච්ඡා පැවැත්වීය. ජනාධිපති ධුරයෙහි සිටින වකවානුවෙදී අහිංසක නායකයෙකු වශයෙන් ප‍්‍රකට වූ ජිමී කාටර් විශ‍්‍රාම යාමෙන් පසු එයට වඩා තීරණාත්මක චරිතයක් වශයෙන් නැගී කීර්තිමත් තැනකට පැමිණියේය. හිටපු ලෝක නායකයන් අතර ප‍්‍රධාන තැනක් හිමි විය. නොයෙක් දේශනා වලට ඇරයුම් ලැබූ අතර ජිමී කාටර් සිය අත්දැකීම්, දේශන හා සාහිත්‍ය කෘති තිහකට වඩා පළ කරන ලද දක්ෂ ලේඛකයෙකු වශයෙන් ද නමක් දිනා ඇත. මනුෂ්‍යත්වය, දර්ශනය හා ආගම ගැන ලියූ පොත පත බහුල වූ අතර නිර්මාණකරණයේ ද නිරත විය.

ජිමී කාටර් බුද්ධිමත් හොඳ නායකයෙකු සේ සැලකෙයි. බලයේ සිටිය දී පමණක් නොව විශ‍්‍රාම කාලයේ දී ද කාගේ හෝ ධනය අනවශ්‍ය පරිදි නාස්ති කරවාට ඔහු කැමැති වූයේ නැත. ජිමී කාටර් මරණ දඬුවම ගැන මනාපයක් දැක්වූයේ නැත. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු තුවක්කු සංස්කෘතිය ප‍්‍රතික්ෂේප කරන ලද අතර ගිනි අවි පාලනය කළ යුතු බව කල්පනා කළ නයකයෙකි. සරල ජීවිතයට හුරු වී සිටි ජිමී කාටර් සිය බිරිඳ සමග එකතු වී රටේ ජනතාව ගැන පමණක් නොව ලෝකයේ ජනතාවගේ ද ජීවිත උසස් කිරීම ගැන නිතර අවධානයෙන් සිටියේය. එක අවස්ථාවක පිලිකා රෝග තත්ත්වයක් මතු වූ නමුත් එයට ප‍්‍රතිකාර ගත් අතර පසු කාලයක ඔහු තමන්ගේ අවමංගල්‍ය කළ යුතු ආකාරය ගැන ද ලියා තැබීය. අදටත් ඔහු ගැන මහ ඉහළි පිලිගැනීමක් ජාත්‍යන්තර සමාජය තුළ තිබේ.