» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/08/2015 - දේශය
ලෝකය ඉක්මවූ මිනිස්සු

ගූගල් සමාගම ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමග රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා සපයන ගිවිසුමක් නොබෝදා අත්සන් කළේය. ශ‍්‍රී ලංකා ආණ්ඩුව පුද්ගලික සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් මෙරට දුෂ්කර ප‍්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සැපයෙනු ඇත. ඉහළ අහසේ රඳවන බැලූන් මගින් ශ‍්‍රී ලංකාවේ දුර බැහැර දුෂ්කර පලාත් ලෝකය සමග යා කරන අතර එය වැදගත් අවස්ථාවකි. ලෝක ප‍්‍රකට සමාගමක් ආණ්ඩුවක් සමග ගිවිසුම් අත්සන් කිරීම වර්තමානයේ සාමාන්‍ය සිද්ධියකි. මෙයින් අවුරුදු දහයකට දොලහකට කලින් ලෝකයේ වෙළඳ සමාගමක් රටකට පැමිණ රටට ඉහළින් අහසේ බැලූන් සවිකර රටේ සන්නිවේදන සම්බන්ධතා පාලනය කරන්නට තැත් කළහොත් එය විශාල අර්බුදයක් ඇති කරනු නිසැකය. නමුත් සන්නිවේදන තාක්ෂණික යුගයේ දී එය සමාජ ගොලීයකරණයේ ආකාරයටම සකස්වූ සරල ක‍්‍රියාපටිපාටියකි.

ගූගල් සමාගම මෙරට අහසේ බැලූන් සවිකර සන්නිවේදනය සකස් කරන්නට කලින් ජෝර්ජ් ක්ලූනි සුඩානයේ සිදුවන දේශපාලන ගැටුම් වාර්තා කරන්නට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගෙන තනි පුද්ගල මැදිහත්මක නිතර වන්නේය. ගූගල් පමණක් නොවේ ක්ලූනි ද රටවල් අතර තිබූ සම්ප‍්‍රදාය අභිබවා සිටින බව පැහැදිලිව පෙනේ.

රටක් සතුව සුවිශේෂී පරමාධිපත්‍ය බලයක් තිබේ. එම බලය අභියෝගයට ලක් කරන්නේ පුද්ගලයන්ය. රටකටත් වඩා වටින පුද්ගලයන් රටක් තුළ ජීවත්වන බවට වන අදහස ප‍්‍රායෝගිකව සනාථ වෙයි. එය පුලූල් අවධානයට ලක්විය යුතුය. එකිනෙකට වෙනස් මුහුණුවරකින් ක‍්‍රියාකරමින් ලෝක ස්වභාවය කෙරෙහි බලපෑමක් කරන ලද දාර්ශනික අදහස් ඇති චරිත සහ එම චරිත ආයතන ගතව ක‍්‍රියාකරමින් ජගත් ප‍්‍රජාව තුළ බලපෑම් කරන තැනට ලෝකය පත්ව තිබේ. එය රටවල් අතර සම්ප‍්‍රදායික තානාපති සම්බන්ධතා ඉක්මවා පුද්ගල සම්බන්ධතා මතුවන අවස්ථා බව පෙන්වා දීම වටී. මෙයින් පෙනෙන ආකාරයට ලෝකයේ රටවල් අතර බැ`දීම් අලූත් මුහුණුවරක් ගෙන තිබේ. මේ අනුව දශක කිහිපයකට කලින් ලෝකයේ රටවල් අතර ගනුදෙනු සිදුවූ නිල ස්වභාවය අද අභියෝගයකට ලක්ව ඇත. රටවල් අතර මැදිහත්කරුවන් වශයෙන් සිටි නාතාපති කාර්යාලය හුදෙක් නිල සංකේතයක් පමණකි. එයට එපිටින් ව්‍යුහයක් සකස් වී තිබේ. එම ව්‍යුහයේ බලවත් චරිත බවට පත්ව ඇති සුවිශේෂී පුද්ගලයන් ලෝකයේ පැවැත්මෙහි සෘජු බලපෑම් කරන්නන් බවට පත්ව ඇත. එය විශේෂ ලක්ෂණයකි. තානාපති කාර්යාලයක නිල රාජ්‍ය තාන්ත‍්‍රික කාර්ය භාරය හරහා තමන්ගේ එදිනෙදා ගනුදෙනු කරන පිළිවෙතට එපිටින් යමින් අන්‍ය ව්‍යුහයක් මෙහිදී සකස් වන බව පැහැදිලිය.

ජාත්‍යන්තරය හමුවේ රටවල් අබිබවා පුද්ගලයන් ඉදිරියට පැමිණි අවස්ථා ගණනාවකි. ඒ අතරින් කැපී පෙනෙන අවස්ථා කිහිපයක් අවධානයට ගැනීම මෙම පැතිකඩ වටහා ගැනීමට උපයෝගීවනු ඇත. ටෙඞ් ටර්නර් දර්ශනයක් අනුව ක‍්‍රියාකරන විද්වතෙකු ලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ චරිතයකි. කේබල් නිවුස් නෙට් වර්ක් නොඑසේ නම් සී.එන්.එන්. ආරම්භ කර පැය විසි හතර පුරා ප‍්‍රවෘත්ති විකාශය අරඹන්නේ ඔහු ගේ දුරදර්ශී ආකල්ප බව නොරහසකි. එක්සත් ජාතීන්ගේ පදනමට අවශ්‍ය වැඩසටහන් පවත්වාගෙන යන්නට ඇමරිකානු ඩොලර් බිලියනයක් පිරිනමන්නට ඔහු තීරණය කරයි. ලෝකයේ සියලූම රටවල සහයෝගීතාවයෙන් ලෝකය යහපත් තැනක් කරන්නට ව්‍යාපෘති සම්පාදනය කරන එක්සත් ජාතීන්ගේ පදනම රටක සම්බන්ධතා අභිබවා පුද්ගලයන්ගේ ශක්තිය කෙරෙහි නතු වූ අවස්ථාවක වශයෙන් එය සැලකිය හැකිය. රටවල තානාපති කාර්යාල සමග අනන්‍ය සම්බන්ධතා ගොඩනගාගෙන ලෝකයේ පැවැත්ම ගැන තීන්දු තීරණ ගත් ආයතන කෙලින්ම පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන්නට පෙළඹීම මෑත කාලය තුළ නිර්මාණය වී ඇති නව ප‍්‍රවනතාවයකි.

ජෝර්ජ් ක්ලූනි රංගන ශිල්පියෙකි. ඔහු රඟපෑම ඉක්මවා ගිය අභියෝගයක් භාරගත්තේය. සුඩානයේ වෙන්නේ මොනවාදැයි ලෝකයට ප‍්‍රකාශ කිරීමය. තමන්ට ඇති සමාජයීය බලය අතට ගත් ජොර්ජ් ක්ලූනි චන්ද්‍රිකා තාත්ෂණය භාවිතා කර ඒ කාලයේ එහි සිදුවන අභ්‍යන්තර දේශපාලන ප‍්‍රචණ්ඩත්වය ජාත්‍යන්තරයට මුදාහැරියේය. තොරතුරු කෙලින්ම ලෝකය පුරා විසුරුවාහරින විට නිල ප‍්‍රවෘත්ති සේවා යම් යම් වාරණ මැද ගෙන ගිය ප‍්‍රවෘත්ති විසුරුවා හැරීම් අපහසුතාවයකට පත්වෙයි. එයින් පැන නැගුණ ක්ලූනිගේ ගමන අද අප‍්‍රිකාවේ දේශපාලනයේ ධනය කොල්ල කැ ආකාරය ගැන ගවේශනයට යොමු වී තිබේ. රටක නොඑසේනම් පිලිගත් මාධ්‍ය ව්‍යුහයක පැවැත්මට එපිටින් අලූත් රාමුවක් සකස්ව ඇත්තේ එහෙමය. ආණ්ඩු වලින් නිල වශයෙන් තොරතුරු එකතු කර ගත් සම්ප‍්‍රදාය වෙනස් වී ජෝර්ජ් ක්ලූනි වැනි මතධාරීන් දක්වන අදහස් වලට නතු වෙන්නට පටන්ගෙන තිබේ. එය වර්තමානයේ තානාපති සේවා සලකා බලමින් සිටින නව ප‍්‍රවනතාවයක් වශයෙන් සැලකිය හැකිය.

ජෝර්ජ් සොරස් සිය ධනය උපයෝගී කරගෙන ඕපන් සොසයිටි ඉන්ස්ටිටියුට් නමැති විද්වත් ආයතනයක් පිහිටුවා ලෝකයේ අවබෝධාත්මක පැත්ත දෙස අවධානය යොමු වෙමින් සිටී. බිල්ගේට්ස් වැනි ධනවතුන් සිය ධනය වැය කර ලෝකයේ බලවත් සෞඛ්‍ය ගැටලූ සම්බන්ධයෙන් ධනය වියදම් කර ප‍්‍රතිකාර සොයන්නට පටන්ගෙන ඇත. ජපානයේ සසකාවා සහ නිපොන් පදනම පමණක් නොව ලෝක ආර්ථික සංසදය ද මෙහි තවත් පැති දෙකකි. ජපානයේ සසකාවා සිය ශක්තිය මෙහෙයවා ලෝකයේ නොයෙක් රටවල ආධාර හිමි විය යුතු පැති සොයා බලා ඒවාට උපකාර කරමින් සිටි. සසකාවා සහ නිපෝන් පදනම මෑතකදී එහි මෙහෙයුමට ඇමරිකානු අද්මිරාල් වරයෙකු පත් කරගෙන ආසියාවේ පීඩනයක් ඇති, ගැටලූ සහිත පැති සොයා බලා ඒවාට නිර්මාණාත්මක විසඳුම් සපයයි. ලෝක ආර්ථික සංසදය බිහි වන්නේ ලෝකයේ අලූත් ආර්ථික ප‍්‍රවනතා සම්බන්ධයෙන් විකල්ප ආකාරයට හිතන විද්වතුන්ට සාකච්ඡා කරන්නට පසුබිම සකස් කරන පදනමක් වශයෙනි. ජර්මන් ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වනූ කෝෂ් වොන්ග් පිහිටුවන මෙම ලෝක ආර්ථික සංසදය රටවල් සම්බන්ධීකරණය කරන අලූත් රුහැනක් බවට පත්ව ඇත.

අපි‍්‍රකාවේ දේශපාලනය යහපත් තැනක් කර හොඳ චරිත මතු කරගන්නට ව්‍යාපාරයක් දියත් කරන්නේ මෝ ඊබ‍්‍රහිම් නමැති ඊජිප්තු ධනවතෙකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආංශයෙහි ආයෝජනය කර ධනය උපයාගත් හෙතෙම අප‍්‍රිකාවේ දුෂිතයන් නොවන හොඳ පාලකයන් තේරීමේ තරගයක් පවත්වා එම යහපත් පුද්ගලයන් අගය කරන වැඩසටහනක් අරඹා ඇති අතර එය අලූත් නායකත්ව ධෛර්යයට පත් කරන්නකි.

රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා ඇති කිරීම හමුවේ වෙස්පාලියන් සම්මුතිය තීරණාත්මක මෙහෙවරක් කරන ලද යුගය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. වසර 1648 දී අත්සන් කරන ලද වෙස්පාලියන් ගිවිසුම අද අප සාකච්ඡා කරන විදේශ කටයුතු සේවාවට පදනම සකස් වන්නේය. යුරෝපයේ රටවල් අතර වරින් වර ඇති වූ යුද ගැටුම් දශක හතරක පමණ කාලයක් අඛණ්ඩව එය ගෞරවාන්විතව සම්මුතියකට යාමේ උවමනාවට බාධා කරන්නේ සෘජු සන්නිවේදනයයි. තීන්දුවක් ගන්නට ගත වන කාලය අද මෙන් ක්ෂණික නැත. රාජ්‍ය පාලකයා හමුවී විස්තර කතා කර තීන්දුවකට පැමිණෙන්නට සති මාස ගණන් ගතවෙයි. කාලය බාධාව තුරන් කරන්නට පාලකයාගේ සම්පූර්ණ බලය හිමි නියෝජිතයෙකු නොඑසේනම් පත් කරගැනීමේ උවමනාව මතුවන්නේ ඒ අනුවය.

වර්තමානයේ තානාපතිවරු ඉටුකරන්නේ වෙස්පාලියන් යුගයේ එක්තරා අවසාන භූමිකාවකි. රාජ්‍යතාන්ත‍්‍රික භාවය සහ රටවල් නියෝජනය කරන බලවත් චරිත ලෝකය පුරා නොයෙක් ආකාරයට බිහි වෙමින් තිබේ. සන්නිවේදනයේ වේගවත් බව රාජ්‍ය අතර සම්බන්ධතා ඇති කරන අතරමැදියන් ගේ වැදගත්කම අඩු කරන්නේය. එය සෘජු සන්නිවේදනයක් දක්වා ලෝකයේ දෙකෙලවර සජීවීව යා කරන විට අතරමැදියන් අවශ්‍යම නැති වකවානුවක් බිහිවිය හැකිය. එයින් පෙනෙන්නේ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ සහ තානාපති කාර්යාලයේ වැදගත්කම සම්බන්ධ තීරණාත්මක ප‍්‍රවේශයකි.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.