» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/07/2017 - දේශය
හිතට බෙහෙත්දෙන ප්‍රකට චරිත

මානසික රෝග වලට ගොදුරු වූ පිරිස ජන සමාජයෙන් කොන් විය යුතු නැති අතර එය ද වෙනත් රෝගී තත්ත්වයක් මෙන් සාමාන්‍ය එකක් බවට මතයක් ඇති කරන ව්‍යායාමයක් ආරම්භ කර ඇත. ප‍්‍රකට ගායිකාවක වූ ලේඩි ගාගා සහ විලියම් කුමාරයා අතර කරන ලද රූපමය දුරකථන සංවාදයක් අන්තර් ජාලයට නිකුත්ව තිබේ. සුවිශේෂී චරිත නමුත් තම අභ්‍යන්තරය ද එම සංවාදයෙන් හෙළිදරව් කරන්නට ලෝක ප‍්‍රකට මෙම චරිත දෙක සූදානම්වීම විශේෂ තත්ත්වයකි. යම් මානසික ව්‍යාධියකට ගොදුරුවූවෝ ‘පිස්සු’ හැදුන අය යනුවෙන් වෙන් කළ යුතු නැති බව මෙයින් අවධාරණය කරන පණිවුඩයයි.

මනුෂ්‍ය ශරීරයේ වෙනත් තැනක ආබාධයක් හටගත් විට ප‍්‍රතිකාරකරන විධි තිබේ. මොලය ආශි‍්‍රතව ඇතිවන එක්තරා පීඩනයකට පසු ඇතිවන මානසික රෝග ව්‍යාධිය ද එවැන්නකි. ශ‍්‍රී ලංකාවේ පවා හදවත් රෝග, දියවැඩියාව ඇතුළු සමහර රෝග නම්බුකාර ඒවාය. තමන්ට හෝ පවුලේ අයෙකුට ඒවා වැළඳීමෙන් ඉතාම ඉහළ ප‍්‍රතිකාර වෙනුවෙන් චැනල් කරන ලද වෛද්‍යවරයා ගැන ද ඒ වෙනුවෙන් දරන වියදම සම්බන්ධව කතා කරන්නේ තරමක පුරාජේරුවකින්ය. නමුත් අංගොඩ මානසික රෝහලෙන් ප‍්‍රතිකාර ගන්නා බව කියන්නට කිසිවෙකු කිසිසේත් සූදානම් නැත. ලෝකයේ කොතැනකත් සාමාන්‍යයෙන් සිදුවන්නේ එයයි. මෙම අසාමාන්‍ය භාවිතාව තුරන් කර මානසික රෝගී පිරිස පවා මෙම සමාජයේ සාමාන්‍ය කොටස්කරුවන් බව කියන්නට ලේඩි ගාගා සහ බි‍්‍රතාන්‍යයේ විලියම් කුමාරයා ඉදිරිපත්වීම පැසසුමට ලක්ව තිබේ. එය මානසික ව්‍යාධිය ගැන යහපත් අදහස් ඇති කරන ප‍්‍රචාරක ව්‍යාපාරයක කොටසක් වශයෙන්ය. එහි දී විලියම් කුමාරයා බි‍්‍රතාන්‍යයේ කෙන්සින්ටන් මාලිගයේ සිය කාමරයේ සිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඇයගේ නිවසේ මුළුතැන්ගෙයි ඉන්නා ප‍්‍රකට ගායිකාවක වන ලේඩි ගාගා සමග එකිනෙකා මුහුණ දුන් මානසික ව්‍යාධි ගැන අදහස් හුවමාරු කරගත්තේය. එය සරල කතාබහක් වශයෙන් සිදුවූ අතර තම තමන්ගේ පැති නොසඟවා ප‍්‍රකාශ කිරීමෙන් ඔවුන් ද මෙවැනි රෝගී තත්ත්වයන්ට මුහුණ දුන් අතර එය සමාජයෙන් කොන්කරන්නට හේතුවක් විය යුතු නැති බව අවධාරණය කෙරිණ. මෙම දුරකථන කතා බහ වීඩියෝ කිරීමෙන් පසු සකස් සකස් කරන ලද කෙටි වෘතාන්තය අන්තර් ජාලය පුරා විහිදෙමින් ලෝකය පුරා අති විශාල පිරිසකට නැවුම් පණිවුඩයක් නිකුත් කරන්නට සමත්ව තිබේ. මෙහි වැදගත්කම කුමක්ද? මටත් පිස්සු හැදිලා තිබුණා යනුවෙන් කියන්නට මැලිවන සමාජයකට එය සාමාන්‍යකරණය කරන්නට තැත් කිරීමය. ජනයා අතර ප‍්‍රකට, අද්විතීය චරිත එසේ හැසිරෙන විට මෙම මානසික රෝගී තත්ත්වය ද සාමාන්‍ය එකක් වනු ඇති අතර එය රෝගීන්ගේ මානසික ශක්තියට ද හේතු වනු ඇතැයි සැලකේ.

මෙම දුරකථන කතාබහේ දී ලේඩි ගාගා පොප් ගායිකාව තමන් වසර දහනමයේ දී මානසික ගැටළුවකට මුහුණ දුන් අයුරු සිහිපත් කළාය. වේදිකාවේ දී පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් ගයන නමුත් එයින් ඇතිවන තෙහෙට්ටුව හා ඒකාකාරී ජීවිතය තමන්ට එපා වූ බව ඇය අනාවරණය කරන ලද අතර පසුව අවබෝධයෙන් එයින් මිදුණ බව කියා සිටියාය. විලියම් කුමාරයා මෙහි දී කියා සිටියේ මානසික අපහසුතාවයකට පත්වූ බව දැනගත් විට පවුලේ අය හෝ හිතවතුන් සමග සාකච්ඡුා කිරීම හොඳම කි‍්‍රයාමාර්ගයක් බවය. මෙම කතාබහ අතරතුර ලබන ඔක්තෝම්බර් මාසයේ දී ලන්ඩන් හි දී දෙදෙනා මුණගැසී, මානසික දුබලතා යනු සාමාන්‍ය රෝගී තත්ත්වයක් බව අඟවන මෙයට වඩා පුළුල් වැඩසටහනක් කරන්නට එකඟ වී තිබේ. තවත් පැත්තක් වෙන්නේ මෙම කතාබහ ඇතිවෙන්නට දිනකට කලින් වාර්තා වූ සිද්ධියයි. එනම් හැරී කුමාරයා ඬේලිමේල් පුවත් පතට ඔවුන්ගේ අම්මා එනම් ඩයනා කුමරිය ගේ හදිසි අභාවය හෙයින් ඔහු මුහුණ පෑ මානසික වියැවුල ගැන විස්තර කර තිබීමයි. එම විස්තරය අතරතුර ලෝකයේ අනෙක් අය ඒ දෙස බලනවාට වඩා වෙනස් ආකාරයකින් ප‍්‍රශ්නයට මුහුණ දෙන්නට ධෛර්යය ලැබුණේ විලියම් කුමාරයාගේ මග පෙන්වීම බව හැරී කුමරු සඳහන් කර තිබේ. රජ පවුලේ සාමාජිකයන් වශයෙන් පමණක් නොව ඩයනා කුමරියගේ දරුවන් හා ලේලිය වශයෙන් එකම අරමුණක් ඇතිව නිතර කතා බහ කරමින් සිටි හෙයින් අත් වූ බරපතල මානසික අර්බුදයෙන් ගැලවෙන්නට හැකි වූ බව හැරී කුමාරයා තව දුරටත් සඳහන් කර ඇත.

මානසික තත්ත්වය අයහපත් වූ සාමාජිකයෙකු ලජ්ජාවට හේතුවක් සේ සලකන්නට හුරුවීම තුරන් කරන මෙම ව්‍යායාමට ලෝකය පුරා හොඳ ප‍්‍රතිචාරයක් හිමි වූ අතර එය අතිශය ඇගයීමට ලක්ව තිබේ. එය ලෝකය පුරා වෙසෙන මානසික රෝගීන්ගේ ස්වභාවය දෙස අලූත් මුහුණුවරකින් බලන්නට පසුබිම සකස් කර ඇත.

මානසික ආබාධයක් ඇති බව දැනෙන ඕනෑම කෙනෙකු ලජ්ජාව නිසා තව තවත් අමාරු තැනකට පත්වෙයි. තමන් ‘පිස්සෙක්’ යැයි සමාජය හිතනවාට හෝ එසේ කල්පනා කර කොන් කරනවාට කිසිවෙකු කැමැති නැත. එහෙයින් උත්සාහ කරන්නේ සමාජයෙන් සැඟවී ජීවත්වීමටය. පවුලේ හිතවතුක් ද එයට උදව් කරනවා විනා එය සාමාන්‍ය සේ සලකා මානසික රෝග වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්නේ නැත. රෝහලක නතර වී ප‍්‍රතිකාර ගතහොත් ලංකාවේ නම් අංගොඩ ගියා යැයි ප‍්‍රසිද්ධියේ කියන්නට කිසිම සූදානමක් නැත බව සඳහන් කළ යුතුය. එවැනි වාතාවරණයක් මැද ලෝක ප‍්‍රකට චරිත දෙකක් තමන්ගේ අභ්‍යන්තරය ඉදිරිපත් කර ඒවා සාමාන්‍ය බව නොවලහා කියා අනෙක් අය සමග බෙදා ගැනීම විශාල පරිත්‍යාගයකි.

මානසික අපහසුතාවයක් බව තමන් තේරුම් ගත් විට ඒ ගැන තීරණයකට පැමිණීම තමන් නැඹුරු විය යුතු නැති අතර ඉතාම වැදගත් වන්නේ සමීප පිරිස සමග ඒ ගැන කතා කර සම්ප‍්‍රදාය බිඳ දැමීමය. එය හෙළිදරව් වන විට රෝගියා වෙන් නොකර ඔහු ප‍්‍රකෘති ස්වභාවයට ගෙන එන තෙක් පරෙස්සමෙන් ඇසුරු කරමින් මානසික ශක්තිය සැපයීම සමාජයේ යුතුකම විය යුතුව තිබේ. ලජ්ජාව වෙනුවට හදවත් එකතු වී එකිනෙකා බැඳන විට රෝගය පාලනය වන අතර ඖෂධ වලට වඩා වැදගත් වන්නේ රෝගියා තේරුම් ගැනීම බව මෙම අවබෝධාත්මක ව්‍යාපාරය අනාවරණය කරන කරුණකි. තැන තැන මුණු මුණු ගාමින් අපහසුතාවයට පත් කිරීම වෙනුවට මානසික ගැටළු වලින් පීඩා විඳින පිරිස මුදවා ගැනීම වැදගත් බව මෙහි දී පෙන්වා දෙන කාරණයකි. විලියම් කුමාරයා සහ ලේඩි ගාගා ගායිකාව මෙහි දී ස්වකීය පුද්ගලිකත්වය පැත්තකින් තබා එයින් සිදුවන අවාසි නොසලකා මුළු ලෝකයටම ඇහෙන්නට තමන් ද මානසික ගැටළු වට මුහුණ පෑ අය බව කියන්නේ සමාජ අභිමතාර්ථය වෙනුවෙනි.

මෙවැනි උදාර පරමාර්ථ වෙනුවෙන් පෙනී සිටින්නට සමාජයේ සෑම සියළු දෙනාම පැකිලීමකින් තොරව ඉදිරිපත් විය යුතුය. මෙයින් පෙන්වා දෙන පාඩම එයයි. ශ‍්‍රී ලංකාව මෑත කාලයේ ඇතිවූ අභ්‍යන්තර ගැටුම්, කෝලාහල, ස්වභාවික විපත් සහ ආර්ථික පීඩා හෙයින් අතිශය අර්බුද වලට මුහුණ පෑ බව අමතක කළ යුතු නැත. විපතට පත්වූවන් මානසික අතින් නොයෙක් අර්බුද වලට ගොදුරු වී තිබේ. දරුවන් අහිමි වූ මවුවරු, දෙමාපියන් අහිමි වූ දරුවන් මෙරට සෑම තැනකම විසිරී විහිදී ඇත. සමාජයේය කොතැනක හෝ ශෝකාන්තයක් තිබේ. ත‍්‍රස්තවාදය පමණක් නොව ස්වභාවික විපත් පවා එයට හේතුවී ඇති බව තේරුම් ගැනීම වැදගත්ය. සමාජයේ විශාල චරිත ඉදිරියට පැමිණ මෙම සරණක් අවශ්‍ය පිරිස සමග අත්වැල් බැඳගෙන ඔවුන්ගේ තත්ත්වය ලජ්ඡුාවකින් තොර එකක් බව තේරුම් කරදෙන්නට අවශ්‍යය. විලියම් කුමරු සහ ලේඩි ගාගා තමන් උපයාගෙන තිබුණ සියළු ගෞරව බහුමාන පැත්තකින් තබා තමන් ද මානසික අර්බුදයන්ට ගොදුරු වූ බව කියන විට එය කොපමණ වැදගත් දැයි වත්මන් අප ජීවත්වන සමාජය දෙස බලා අවබෝධ කරගත යුතුය.