» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/04/2017 - දේශය
ලංකාවේ හිටපු සිංහල සුද්දා

ඩොයිලි පරම්පරාව එවකට බි‍්‍රතාන්‍යයේ ගරු කටයුතු පසුබිමකින් යුක්තව ජීවත් විය. සක්සස් ප‍්‍රදේශයේ ජීවත්වූ මතියෙස් ඩොයිලි ගේ දෙවැනි දරුවා වෙස්මිනිස්ටර් හි ඉගෙනුම ලබා පසුව කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත්තේය. උපාධිය සමත්වීමෙන් වසර පහකට පසු 1801 දී හෙතෙම ලංකාවට පැමිණියේ තම මව්බිමට සේවය කරනු සඳහාය. ජෝන් ඩොයිලි තම ජීවිතයේ අවසන් හුස්ම හෙලූවේ ද ලංකාවේ දීය. දීර්ඝ කාලයක් මෙරට එකිනෙකට වෙනස් පසුබිමක් තුළ විශාල කාර්ය භාරයක් ඉටු කරන ලද බව ඉතිහාසයෙහි ලියැවී තිබේ. එය උපත ලැබූ රට වෙනුවෙන් ද නොඑසේනම් ජීවත් වූ දුපතේ වැසියන් වෙනුවෙන් දැයි තවමත් නිශ්චිතව විග‍්‍රහයට ලක්ව නැති කාරණයකි.

ලංකාවට පැමිණි තරුණ ජෝන් ඩොයිලි මුහුදුබඩ මාතර නගරයේ නිලධාරී ධුරයක් වෙනුවෙන් පත් කර යවා තිබේ. බි‍්‍රතාන්‍ය නියෝජිතයෙකු සේ මාතර පාලනයට එකතු වූ හෙතෙම කරතොට ධම්මාරාම නායක හිමියන්ගෙන් සිංහල භාෂාව සහ බුද්ධාගම හදාරා තිබේ. රට සම්පූර්ණයෙන් බි‍්‍රතාන්‍යයට යටත්වන විට උඩරට ගිවිසුම හදන්නට පමණක් නොව ස්වදේශිකයන් හා බි‍්‍රතාන්‍ය පාලකයන් අතර භාෂා පරිවර්තන කාර්යය වෙනුවෙන් ද හෙතෙම ප‍්‍රබල කාර්යයක් ඉටු කරන ලද බව ප‍්‍රකාශ වෙයි. ජෝන් ඩොයිලි සතුව තිබුණ පරිචය හෙයින් ස්වදේශිකයන් හැදෑරීම පමණක් නොව රාජකාරි අතරතුර දිනපොත නඩත්තු කිරීම ඓතිහාසික වශයෙන් වැදගත් කාර්යයක් වී තිබේ. පසු කාලයක මහනුවර දිසාපති කාර්යාලයේ තිබී හමුවූ ජොන් ඩොයිලි දිනපොත මුද්‍රණය කරන ලද අතර එය එකල සමාජ සහ ආර්ථික ව්‍යුහය හදුනාගන්නට ශාස්ත‍්‍රවේදීහු පාවිච්චි කරති.

ජෝන් ඩොයිලි බි‍්‍රතාන්‍ය වෙනුවෙන් සේවය කළ බුද්ධි අංශ ප‍්‍රධානියා සේ සැලකීම වරදක් නොවේ. හෙතෙම රටට පැමිණියේ අනාගතය සොයාගෙන නමුත් පන්සල සම්බන්ධ කරගෙන ස්වදේශීක ජාලයක් නිර්මාණය කරගෙන ඇත. හෙතෙම මෙරට මිනිසුන්ගේ හිත් දිනාගෙන ඒ පැත්තෙන් මේ පැත්තට සේන්දු වී තිබේ. ප‍්‍රකට කිවිඳියක වූ කොරනේලියා පෙරුමාල් නොහොත් ගජමන් නෝනා සමග හිතවත් වෙයි. කවියෙන් දුක කියා සිටි ඇයට නින්දගමක් පවරා ඇත. සිංහලෙන් කතා කරන මෙම සුදු පාලකයා කෙරෙහි නැඹුරු වූ ස්වදේශියෝ ප‍්‍රදේශයේ ඔහු ගේ පාලනය ඉවසන්නට ඇති බව නිසැකය. මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලාගෙන කදුකර රාජධානිය යටත් කරගන්නට ඉංග‍්‍රීසිහු ක‍්‍රියා කරන විට අවස්ථා කිහිපයක දී දරුණු පරාජයන්ට ලක්විය. අවසානයේ දී ඩොයිලි වැනි හිතවත් නිලධාරීන් යොදවා ගෙන වෙළඳ සම්බන්ධතා ඇරඹූ බව සඳහන්ය. 1805 දී එවකට ආණ්ඩුකාර ශ‍්‍රීමත් තෝමස් මෙයිට්ලන්ඞ්, ඩොයිලි සිය පාලන ව්‍යුහයේ ප‍්‍රධාන පරිවර්තකයා වශයෙන් තෝරාගත්තේය. එය අලූත් වටයකින් රට සම්පූර්ණයෙන් යටත් කරගැනීමේ ක‍්‍රියාදාමයක ඇරඹුමක් වන්නට ඇත. උඩරට නායකයන් ජෝන් ඩොයිලි ගේ කතාව සහ ලංකාවේ සංස්කෘතිය ගැන තිබුණ අවබෝධය හෙයින් පැහැදී සිටි අතර බි‍්‍රතාන්‍ය පාලකයන් පවා ඩොයිලි පෙරමුණෙහි තබා කි‍්‍රයා කරමින් මෙරට යටත් කරගැනීමේ වෑයම කරගෙන ගිය බව තේරුම්ගත යුතුය. 1812 දී මෙරටට පැමිණි රොබට් බ‍්‍රවුනින්ග් ආණ්ඩුකාරවරයා තද ආක‍්‍රමණික ආකල්ප ඇතිව හැසිරුණේය. එය යම් අවස්ථාවල පාර්ශව අතර අවබෝධය දුරස් කර ගැටුම් අවුලූවන්නට සමත් වූ බව පළවෙයි. ඇතැමි විට සුදු අධිරාජ්‍යවාදීන්ගේ හැසිරීම රජු ඇතුළු උඩරට නායකයන් නොඉවසූ අතර එතැනින් එන පණිවුඩ පරිවර්තනය කර දෙන ඩොයිලි තමන්ගේ ජාතිකයන් අතර නොසැලකිල්ලට ලක්වන්නට හේතු වූ බවට තොරතුරු තිබේ.

බි‍්‍රතාන්‍යයේ එපමණ උසස් නැති එනම් වංශවතුන් නොවන කණ්ඩායමක් ලංකාවට පැමිණ ඩොයිලි ගේ ලියැවිලි හා සංකල්ප පරීක්ෂා කරන විට පෙනී යන කරුණකි. ලංකාවේ තිබුණ උසස් අනන්‍යතා පාලනය කරන්නට බි‍්‍රතාන්‍ය දරන ලද වෑයම ගැන ඔහුගේ තක්සේරුව එයින් අදහස් කර ඇති බව පෙනේ. අවුරුදු විසි හතක් වයසැති තරුණයෙකුව මෙරටට පැමිණ ගාල්ල හා මාතර ප‍්‍රදේශ වල ආදායම් එකතු කරන ලද නිලධාරියෙකුව සේවය කරන්නේය. එතැන් සිට ස්වාමීන් වහන්සේලා, පහතරට හා උඩරට ලංකාවේ ප‍්‍රධානීන් සහ වංශවතුන් ළඟින් ඇසුරු කරන්නේය. ස්වදේශිකයන් පමණක් නොව බි‍්‍රතාන්‍ය නායකයන් සමග ද හැසිරෙයි. උඩරට ගිවිසුම හැදුණේ ඩොයිලි ගේ හිතේ බව ප‍්‍රකටය. එහි වගන්තියක් පාසා කියවා අදිකාරම්, නිලමේ හා මොහොට්ටාලවරු එකඟ කරගන්නට සමත්විය. පන්සල ද රාජ්‍යය ද අවනත විය. ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය කුමක්ද? සමහර අවස්ථාවල උඩරට ගිවිසුම අත්සන් කරන විට සිංහල නායකයන් ඉල්ලා සිටි තනතුරු ගැන කරුණු සඳහන් වෙයි. තවත් වෙලාවක ඔහු තමන්ගේ පාලකයන් වෙනුවෙන් මෙරට ජාතික නායකයන් නොමග යවා රවටන්නට ඇත. විශාල යුද්ධයක සිටි පාර්ශව දෙකක් මැදට පැන විශ්වාසය ඇති කර සිංහල නායකයන්ගේ හිත දිනා ගන්නට තරම් ශක්තිමත් එකම බුද්ධි අංශ නිලධාරියා වූයේ ජෝන් ඩොයිලි බව විවාදයක් නැත. උඩරට ගිවිසුමට අත්සන් කළ ලංකාවේ නායකයන් ගේ අත්සන් එක වෙලාවේ එකතු කරගෙන නැත. ඒ වෙනුවෙන් විශාල ප‍්‍රයත්නයක් තිබෙන්නට ඇති බව පෙනේ. වාරියපොල සුමංගල හිමියන් ගිවිසුමට කලින් ඔසවන ලද ඉංග‍්‍රීසි කොඩිය බිම දමා ඇත. මෙවැනි පසුබිමකින් පෙන්වන්නේ එහි තිබුණ සංකීර්ණත්වයයි. යටත්වන්නට තිබුණ අකමැත්තයි.

ලංකාව යටත් කර ගැනීමෙන් පසු සුදු පාලකයන් ඩොයිලි ගැන එපමණ උනන්දුවක් දක්වා නැත. ඔහුගේ අවසාන කාලයේ දී මහනුවර ජීවත් වුව ද වසර නමයකට සීමා වූ එම කාලය තුළ වඩා හුදෙකලා වී ඇත. අමුත්තන් මුණ ගැසෙන්නට බැහැරට පැමිණීම සීමා කර තිබේ. උණ වැළඳී මිය යන්නේ වයස අවුරුදු පණහක් වයසැතිව දී ය. ජෝන් ඩොයිලිට හිමි වූයේ සාමාන්‍යයෙන් එරට පුරවැසියෙකුට ලැබෙන පහලම පන්තියේ ගෞරව නාමයක් බව පළ වෙයි. මහනුවර වැසියන් හා බි‍්‍රතාන්‍ය නියෝජනය කරන ලද නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දේහය පිළිබඳ අවසන් කටයුතු කර ඇති බව දැක්වෙන අතර පසු කාලයක ඔහුගේ සොහොයුරන් මෙරටට පැමිණ සිහිවටන පුවරුවක් ඉදි කරන ලද බව ලියැවිලි වල දැක්වෙයි. මෑතක දී එනම් 2013 වසරේ බි‍්‍රතාන්‍ය ඔටුන්න හිමි චාර්ලස් කුමරු ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මහනුවර ගැලිසන් සුසාන භුමියට ගොස් සිය පුරවැසියාගේ නමට බුහුමන් දැක්වීය.

1824 මැයි 29 වැනිදා නිකුත් වූ ලංකාවේ ගැසට් පත‍්‍රයෙහි අන්‍ය භාෂාවක් අවබෝධ කරගැනීමට ඇති හැකියාව තුළින් ජීවිතය සාක්ෂාත් කරගත් අයුරු හා දක්ෂතා දැක්වූ රාජ්‍ය නිලධාරියෙකු බව සපථ කර තිබේ. ලංකාවේ අවසන් රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ගේ අවසන් දින කිහිපය ගැන ඩොයිලි සිය දිනපොතෙ හි සටහන් කර ඇත්තේ ශ‍්‍රී වික‍්‍රම රජුගේ පාලන දක්ෂතා ලංකාවේ වැසියන් හදුනා ගත යුතුව තිබුණි යන්න අර්ථ ගැන්වෙන අයුරින්ය. එකී අදහස ගවේශනය කළ යුතුය. වර්තමානයේ ලියැවෙන ශාස්ත‍්‍රීය කෘතීන් හි රාජසිංහ රාජ්‍ය පාලනය සහ ඔහුගේ ක‍්‍රියාකාරීත්වය ගැන අලූත් කෝණයකින් ලියැවෙමින් තිබේ. මේ දක්වා රාජසිංහ රජු ගැන කියැවෙන ඇතැම් කතාන්දර ඉංග‍්‍රීසීන් විසින් ලංකාවේ අවසන් පාලකයාගේ සාහසිකත්වය මතුකිරීම අරමුණු කරගෙන ශූර ලෙස රචනා කරන ලද නිර්මාණ බවට නැගෙන තර්ක බැහැර කිරීම එතරම් පහසු නැත. එයින් රජු ගේ පැවැත්ම ස්වදේශිකයන් ගේ පිළිකුලට ලක්වන්නට ඇති අතර අධිරාජ්‍යවාදීන්ගේ නීතිගරුක හොඳ බව මතු කරන ලද බව නිසැකය. ඩොයිලි ලියැවිලි වලින් මතුවන වචන වලින් වෙනස් අයුරින් පෙන්වන්නේ ද එය බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.