» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/11/2015 - දේශය
නළුවෙකුට රටක් භාරවෙයි

ගෝතමාලාව මෙක්සිකෝව මායිම් කරගෙන පිහිටි කුඩා රටකි. ජනගහනය මිලියන පහලොවකට මදක් වැඩිය. මධ්‍යම ඇමරිකාවේ වඩාත්ම සුන්දර රටක් හැටියට සැලකෙයි. මේ දිනවල ලෝක අවධානය දිනාගෙන ඇත්තේ විස්මිත ආකාරයෙන් ප‍්‍රකාශ වූ ජතනා තීන්දුවක් සමගය. එරට පුරවැසියන් සිය රාජ්‍යතාන්ත‍්‍රිකයා වශයෙන් තෝරාගෙන ඇත්තේ දේශපාලන අත්දැකීම් ඇත්තේම නැති අයෙකි. ජනපි‍්‍රය කවට නළුවෙකු වන හෙතෙම ගෝතමාලවේ ජනාධිපතිවරයා වශයෙන් පත්කරගන්නේ ප‍්‍රතිවාදියා අභිබවා යන දෙගුණයක ඡන්ද ප‍්‍රතිශතයක කැමැත්තක් ඇතිවය. මේ ආකාරයේ වෙනසක් ගෝතමාලවේ ඇති කරන්නේ ඇයි? රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය පිරිසිදුව සහ විනිවිදව පෙනෙන ආකාරයට කරගෙන යන්නට අසමත්වන විට රටකට සිදුවෙන්නේ මේ ආකාරයේ ජනතා තීන්දුවකට අවනත වෙන්නටය. තේරුම් ගත යුතු කාරණය එයයි.

පසුගිය කාලය තුළ ගෝතමාලාව තුළ දුෂණය ඉහවහා යයි. නිලධාරීන් දේශපාලනඥයන් පමණක් නොව අධිකරණය තුළ ද පවතින්නේ බරපතල දුෂිත තත්ත්වයක බව අනාවරණය වෙයි. දුෂණ ගැන සොයා බලන්නට කොමිසමක් පත්කරන විට පළමුවෙන් හෙළිවෙන්නේ රේගුවේ වංචනික පසුබිමයි. එය වටා නොයෙක් තලවල දී දුෂිතයන් හෙළිදරව් වෙන විට තත්ත්වයේ භයානකකම රටට අනාවරණය වෙයි. පාලකයන් සහ නිලධාරීන් කරන වංචා වලින් පොහොසත් වන නමුත් රටවැසියන් ගෙවන්නේ කණගාටුදායක ජීවිතය. ඉකුත් කාලයේ පැවැති දරුණු නිය`ගය සම්පූර්ණයෙන්ම පාහේ කෘෂි භෝග එනම් බඩ ඉරිඟු වගාව විනාශ කළ අතර ජනතාව දුක් වූයේ බඩගින්න ගැනය. ජනතාව කුසගින්නේ සිටිය දී ප්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මහජන ඡන්දයෙන් පත්වූ පාලකයෝ සටකපට ආකාරයට පොහොසත් වෙමින් සිටි අතර එය ඉවසා සිටිය නොහැකි තත්ත්වයකට පත්වෙයි.

හිටපු ජනාධිපතිවරයා පවා ඉල්ලා අස්වෙන්නේ ජන විරෝධතා හේතුවෙන්ය. ඔහුට වෙනත් විකල්පයක් නැතිවෙයි. රට තුළ ආයතනික රාමුව ගැන පවතින විශ්වාසය බිංදුවට වැටේ. එවැනි පසුබිමක තිබූ ගෝතමාලාවේ රටවැසියන් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලන විට ඒ වෙනුවෙන් ඉදිරියට එන්නේ අනපේක්ෂිත චරිතයකි. ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයට ඉල්ලන ජිමී මොරාලස් ජනතාව හමුවට පැමිණ කියන්නේ එක දෙයකි. ''මදුෂිතයෙකු නොවෙමි. ඒ වගේම හොරෙකු ද නොවේ.'' එය ඉතා කෙටි සෘජු පණිවුඩයක් බවට පත්වෙයි. රට තුළ පවතින දුෂිත ක‍්‍රමය වෙනස් කරන්නට බලය දෙන්නැයි ඉල්ලන ජිමි ජනතාව හමුවට යන්නේ දේශපාලනය ගැන තමන්ට බිංදුවකවත් අත්දැකීම් නැති බව කියමින්ය. දේශපාලනයෙන් තෙහෙට්ටුවට පත්ව සිටි එරට වැසියන් ජිමී ගේ අදහස පිළිගනී. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ආකර්ශනය වෙයි. විකෘති වූ කමකට නැති දේශපාලන ක‍්‍රමය වෙනස් කරන්නට ඉඩදෙන්නට තීරණය කරයි. ජිමී පැහැදිලිව කියන්නේ හොරකම් නවත්වන බවය. එයට කැමැත්ත දෙන ගොතමාලාවේ ජනතාව හෙතෙම එරට විධායක ජනාධිපති පදවියට පත්කරගන්නේ අවසාන වටයේ දී 64.7%ක කැමැත්තක් ඇතිවය. ඔහුගේ ප‍්‍රතිවාදියා වූ හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳක වූ සැන්ඩ‍්‍රා ලබාගන්නේ සමස්ථ ඡන්ද ප‍්‍රමාණයෙන් 32.6% කි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අතරතුර එරට වැසියන් තම පාලකයා වෙනස් කරගැනීමට තිබූ අභිලාශය බලවත් බව කැපී පෙනෙන කාරණාවක් වෙයි. පුර්ව සමික්ෂණ වලදී පමණක් නොව ජනතාව කතා බහ කරන විලාසයෙන් ද එය තහවුරු වී තිබිණ. හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ ද රට තුළ බලවත් ආකාරයට වර්ධනය වූ ජනතා උද්ඝෝෂණ වල ප‍්‍රතිඵලයක් වශයෙන්ය. එම ඉල්ලා අස්වීමෙන් ඇති කරන ලද හිඩැස පුරවන්නට පිරිසිදු චරිතයකට හැර ඉඩක් නැති බව පෙනෙන්නට තිබිණ. ඉල්ලා අස්වන විට ඔහුගේ හිටපු උප ජනාධිපතිවරයා පවා සිරගත වෙන්නේ ද, දුෂණ චෝදනා වලට ලක්වීමෙන්ය. ධනය මංකොල්ලකන සහ ඒ හරහා බිහිවන සමාජ විරෝධී ගමන කොපමණ විනාශකාරී එකක් ද, යත් මත් ද්‍රව්‍ය භාවිතය බහුල වූ අතර එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ ලෝකයේ මිනීමැරුම් වැඩිපුරම සිදුවන රටවල් ලැයිස්තුවේ පස්වැනි තැනට ගෝතමාලාව පත්ව ඇති බවය. නීතිය දුර්වල, පරිපාලනය දුබල සහ දේශපාලනඥයන්ගේ බලපුලූවන්කාරකම් වලින් රට විනාශ වෙන විට නැගී සිටි ජනතාව ජනතාන්ත‍්‍රිකත්වයට පත් කරගත යුතු යැයි තීරණය කළේ බලාපොරොත්තු නොවූ ආකාරයේ අමුතුම චරිතයකි. විශේෂත්වය එයයි.

ජිමී මොරාලස් සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු අවධාරණය කළ ආකාරයට තමන් පොදු ජනතාවගේ මිනිහෙකි. ''මට සුපිරි බලයක් නැත. ඒ වගේම මැජික් කාරයෙකු නොවේ'' යැයි කී හෙතෙම, ''මම කරන්නම් යැයි කිසිම දෙයක් අලූතින් පොරොන්දු නොවෙන'' බව වේදිකාවේ දී කියා සිටියේය. හැබැයි ''මම මේ දේශපාලනඥයන් පරාද කර හිටපු ජනාධිපති ඔට්ටෝ මොලීනා හිරගෙට දානවා'' යැයි එළිපිට කියා සිටියේය.

ජිමී මොරාලස් ගැන ජනතාව දැනගන්නේ විකට චරිත නිරූපනය කරන නළුවෙකු හැටියටය. අවුරුදු හතලිස් හයක් වයසැති ජිමී තමන්ගේ චරිතාංග නිරූපනයෙහි ගත කර ඇති කාලය අවුරුදු පහලොවකි. මේ කාලය තුළ රට සිනහ සාගරයක ගිල්වා ඇති හෙතෙම එක වතාවක් එක් චරිතයක ර`ගපාන්නේ ගොපල්ලෙකු වශයෙන්ය. ගොපල්ලා රටේ නායකත්වයට පත්වෙයි. ඒ ආකාරයටම රටට විහිලූ කරමින් සිටි ජිමී ජනතා කැමැත්තෙන් විධායක ජනාධිපති පදවියට පත්වෙයි. එය එක්තරා ආකාරයක අනපේක්ෂිත දෙයක් බව මාධ්‍ය ජාලා විචාරය කරමින් එහි නොයෙක් පැති පෙන්වා දෙමින් සිටී.

ලැබෙන තොරතුරු වලට අනුව ගෝතමාලාවේ නව ජනාධිපතිවරයාට එරට පාර්ලිමේන්තුවේ බහුතරය නැත. නමුත් රට වෙනස් කරන්නට තද උවමනාවක් තිබේ. එම උවමනාව පවරන්නේ ජනතා අභිලාශය බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. ප‍්‍රශ්නයක් ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැසිරෙන ආකාරය ගැනය. ජනතාවට පාලකයන් එපා වෙන විට තීරණ ගන්නේ තමන්ට දැනෙන හැ`ගීම් අනුවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ විවිධ පැති මෙයින් අවබෝධ කරගත හැකිය. ජනතා කැමැත්තෙන් සුදුසු පුද්ගලයන් තෝරා ජනතාන්ත‍්‍රිකත්වයට පත් කරන අතර නායකයන් හැසිරෙන ආකාරය අනුව ජනතාන්ත‍්‍රිකත්වයට පත්කරන්නට ගන්නා තීන්දුව කෙරෙහි ද සියුම් ආකාරයේ බලපෑම් සිදුවිය හැකිය.

ගෝතමාලාවේ මිනිසුන් ජනාධිපතිවරයාට කියන්නේ මේ අපිරිසිදු නරක ක‍්‍රමය අවසන් කරන ලෙසය. එය අවසන් කර අලූත් දෙයක් කරන්නට අලූත් අදහස් ජිමී තුළ තිබේ. ගුරුවරුන් නියමිත වේලාවට පන්තියට පැමිණ උගන්වන්නේ නැති බව දෙමාපියන් කියන විට ජිමී මොරාලස් ප‍්‍රසිද්ධියේ කියන්නේ ගුරුවරුන්ට ජී.පී.එස් මෙවලමක් අතට දෙන බවය. පන්තියට එන නොඑන බව දැන ගත හැකි වන අතර එයින් ගුරු සේවය යහපත් එකක් කරන බව හෙතෙම කියයි. හැම දරුවෙකුටම ස්මාට් දුරකථනයක් දෙන බව කියා තිබුණේ ද ජනාධිපතිවරණයේ ඡන්ද පොරොන්දුවක් හැටියට නොවේ. ඔහුට දැනෙන ආකාරයට රට ආපසු නිවැරදි මගට ගන්නා කිසියම් ප‍්‍රයත්නයකට උපකාරයක් වශයෙන්ය. දුෂණ නැතිකර රට තුළ පිරිසිදු පාලනයක් ඇති කරන බව අලූත් ජනාධිපතිවරයාගේ පොරොන්දුවයි. හොරකම නැති රටක් හදන්නට ජනතාව තුළ ඇති කැමැත්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ ඇති කර ඇති වෙනස අධ්‍යයනය කිරීම වැදගත්ය. ජනතාව බලා සිටින්නේ සිදුවන දේ ගැනය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.