» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/07/2018 - දේශය
ප‍්‍රංශ හමුදාව විනාශ කළ ජෙනරාල් නගුයෙන් ජියප්

වියට්නාම සටන් පෙරමුණේ සිටි අභීත නිලධාරී නගුයෙන් ජියප් විසිවන සියවසේ ජීවත් වූ විශිෂ්ඨ, උපායශීලී හමුදා නිලධාරීන් අතරින් එක් අයෙකි. දෙවැනි ලෝක යුද්ධය වකවානුවේ ජපානයට එරෙහිව සටන් බිමට පිවිසි ජියප් අනතුරුව අභ්‍යන්තර හා බාහිර ආක‍්‍රමණවල දී දක්වන ලද පුද්ගලික දක්ෂතා ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබේ. අනුගමනය කරන ලද සටන් උපක‍්‍රම සහ සතුරු කඳවුරුවලට ප‍්‍රහාර එල්ල කිරීමේ දී නිර්භීතව ගනු ලැබූ පියවර විශේෂ ඇගයීමට ලක්ව ඇත. ප‍්‍රංශ හමුදාව පලවා හැරීම අරමුණු කරගෙන කළ ඩියෙන් බියෙන් ෆු යනුවෙන් නම් කරන ලද ප‍්‍රහාරය ඒ අතර ප‍්‍රධාන එකකි.

යුද්ධය මෙහෙයවා අනවශ්‍ය අන්දමට ජීවිත විනාශ කළ බව, වසර 102 ක් ජීවත් වූ නගුයෙන් ජියප් සිය ජීවිතයේ අවසාන භාගයේ දී සුළු විවේචනයකට ද මුහුණ දුන්නේය. හෙතෙම දේශපාලනය කෙරෙහි එතරම් නම් දරන ලද පුද්ගලයෙකු නොවීය. ජෙනරල් ජියප් මැනවින් දැන සිටියේ යුද්ධයයි. ජාත්‍යන්තර විචාරකයන්ට අනුව වර්තමානයේ දකින ගරිල්ලා යුද්ධයේ සමාරම්භකයා ජෙනරල් ජියප් ය. වියට්නාම් නායක හෝං චි මිං එරටට දේශපාලන දර්ශනයක් දෙන විට සටන්කාමීත්වය හරහා රටට නිදහස ලබාදුන්නේ ජියප් බව ප‍්‍රකාශ වෙන වැදගත් කරුණකි. අභාවයට පත් වූ වහා ඔහු රට වෙනුවෙන් ඉටු කරන ලද අමරණීය සේවාව ගැන වියට්නාම ජනතාව සංවේදී විය. කුඩා ජියප් ගේ සිරුර තුළ සිටි දැවැන්ත බලවේගය එරට වැසියෝ හැඳිනගෙන බලවත් සේ ශෝකාකූල වූහ. අවමංගල්‍යයට ඉහළම රාජ්‍ය ගෞරව පිරිනැමිණි. හැනොයි හි ජාතික සොහොන් බිමේ සැතපෙන්නට ඉඩ සලසන ලදහ.

ජියප්ගෙ බාල කාලය සම්බන්ධ ඇතැම් තොරතුරු වාර්තා නොවේ. උපන් දිනය, උපන් තැන ගැන සඳහන් ඇතැම් කාරණා එකිනෙකට වෙනස්ය. එහෙත් දුක විඳ ඉගෙන, හැනොයි විශ්ව විද්‍යාලයෙන් දේශපාලනය හා නීතිය සම්බන්ධ උපාධිය ලැබූ හෙතෙම සිය ආත්ම ශක්තියෙන් ලෝකයේ බලවත් ජාතීන් තැති ගන්වන්නට සමත් විය. ජියප් ගේ දෙමාපියෝ සාමාන්‍ය වැසියන්ය. වියට්නාමය යටත් කරගෙන පැවැති ප‍්‍රංශ පාලනයට විරුද්ධව රටට නිදහස පතා ක‍්‍රියා කරන ලද නිසා පියා පමණක් නොව සහෝදරිය ද හමුදා අත්අඩංගුවට පත් විය. දෙදෙනාම හිර භාරයේ දී මිය ගිය අතර එය ජියප් ගේ හිතට වේදනාවක් ගෙන දුන්නේය. අසරණ වූ ජියප් පාසල් ගමණ අතරතුර විරෝධතා වලට සහභාගී විය. පාසලෙන් දෙවසරකට නෙරපන ලද හෙතෙම ගමට පැමිණ නව වියට්නාම් විප්ලවීය පක්ෂයේ සාමාජිකත්වය ගත්තේය. එය තහනම් දේශපාලන පක්ෂයක් විය. ප‍්‍රංශ හමුදා අත්අඩංගුවට පත් ජියප් ට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි වූ අතර පසුව නිදහස ලැබීය. කොමියුනිස්ට් අදහස් ඉගෙන ගත්තේ මෙම යටි බිම් දේශපාලනයේ දීය. සාමාන්‍ය පුරවැසියෙකු සේ ජීවිතය ආරම්භ කළ ජෙනරල් ජියප් වියට්නාමයේ විදුලි සමාගමක පණිවුඩකරුවෙකු සේ ගමන ඇරඹීය.

විවාහ වී දරුවන් ලබා හොඳ ජීවිතයක් වෙනුවෙන් අදහසක් තිබුණ ජියප් සියළු වැසියන් වෙනුවෙන් ප‍්‍රංශ පාලනයෙන් රට නිදහස් කරගැනීම අරමුණු කරගෙන සිටියේය. ඒ වෙනුවෙන් පැවැති අරගල වලට තරුණ ජියප් සම්බන්ධ විය. ප‍්‍රංශ හමුදා ජියප් පමණක් නොව බිරිය ද අත්අඩංගුවට ගත් අතර බිරිය සිර ගෙදරදී අසනීප වී ජීවිතක්ෂයට පත් විය. හිරබාරයෙන් ගැලවුණ හෙතෙම චීනයට පැන ගන්නට සමත්විය. චීනයේ දී හෝං චි මිං මුණ ගැසුණු ජියප් වියට්නාමයේ නිදහස ගැන බලවත් සම්බන්ධයක් ඇති කරගන්නට සමත් විය. තමන්ගෙ පවුල සී සී කඩ වෙන තරමට ප‍්‍රංශ සතුරන් කළ විනාශය දැණුන ජියප් අපතිහත ධෛර්යයක් ඇති කරගන්නා ලද බව නිසැකය.

දෙවන ලෝක යුද්ධය අවසන් වන වකවානුවේ ප‍්‍රංශ හා ජපාන ග‍්‍රහනයෙන් ගැලවුණ වියට්නාමය 1945 වසරේ දී හෝං චි මිං ගේ නායකත්වයට පත්විය. ජියප් ඔහු යටතේ සේවය කළේය. නැවත වතාවක් ප‍්‍රංශ පාලකයෝ වියට්නාමය යටත් කරගැනීමට හමුදා මෙහෙයැවීය. ඇමරිකාව හා එකතු වූ ප‍්‍රංශය ඒ වන විට චීන හා රුසියානු රටවලට ලං වී සිටි වියට්නාමය අල්ලාගෙන තම බලය පතුරවන්න උත්සාහ කළ නමුත් ජියප් ප‍්‍රධාන වියට්නාම භටයන් සමග ගැටීම අමාරු බව වටහා ගෙන ප‍්‍රංශය තනි කළේය. හොඳින් පුහුණුව ඇති ප‍්‍රංශ හමුදා සමග ගැටීම ජියප් ගෙ නායකත්වයෙන් යුතු වියට්නාම් හමුදාවට පහසු වූයේ නැත. පසුබසින විට චීනයේ මාවෝ සේතුං රජය උදව් කළේය. සෙබලූන්ට පුහුණුවත් ආයුධත් සපයන ලද බව සදහන්ය. වියට්නාම් හමුදාව තම උතුරු පලාත නිදහස් කරගත් අතර සීමිත තාක්ෂණය සහිත වියට්නාම් සෙබලූ සටන් කළේ ජියප්ගේ දිරිගැන්වීම් හෙයින් දිවි පරදුවට තබා බව පැහැදිලිය.

ප‍්‍රංශ හමුදාව තිගැස්සුන අතර පරාජය වෙනවාට වඩා සාම ගිවිසුමක් හරහා වියට්නාමයට නිදහස දෙන්න ප‍්‍රංශය අන්තිමේදි යෝජනා කළේය. ජියප් ඇතුලූ වියට්නාම නායකයෝ අදහස විශ්වාස කළේ නැත. ප‍්‍රංශ වියට්නාම් යුද්ධය නිසා ප‍්‍රංශ හමුදාවෙ අනූදහසකට වැඩි පිරිසක් 1952 වසර වෙන විට විනාශ වී සිටියේය. යුද වියදම් හෙයින් ආර්ථික අතින් අසරණ වී ගියේය. ජෙනරල් නවර්රෙයි යටතේ සන්නද්ධවූ ප‍්‍රංශ හමුදාව අවසන් ඩියන් බියන් ෆු සටනට පෙරමුණ ගත්තේය. ජෙනරල් ජියප්ට හැත්තෑ දහසක පමණ හමුදාවකි. ප‍්‍රංශ බලය එය මෙන් පස් ගුණයකි. ගුවන්යානා සහ බර ආයුධ සහිත හෙයින් මුලූ වියට්නාමයම බියපත්ව සිටියේය. ජපානයට කියා දුන් පරමානු බෝම්බ පාඩම ප‍්‍රංශය විසින් වියට්නාමයටත් උරුම කරනු ඇති බව අපේක්ෂා කළ නමුත් සෑම වියට්නාම් ජාතිකයෙක්ම ප‍්‍රංශයට එරෙහි සටනට සම්බන්ධ කරගැනීමට ජියප්ට හැකි විය. දින පනස් ගණනක් තුළ ප‍්‍රංශය දණ ගැසූ බව ඉතිහාසය පෙන්වයි.

උතුරු වියට්නාම් හමුදා සේනාංකයේ ප‍්‍රධානියා වශයෙන් ජියප් බැබලෙන අතරවාරයේ හෝං චි මිං එහි පාලනය අතට ගෙන තිබේ. මෙම වකවානුවේ දී වියට්නාමයේ දකුණු ප‍්‍රදේශය අමෙරිකාවට නැඹුරු වන අතර ඒ ඔස්සේ රටට පැමිණෙන අමෙරිකන් හමුදා වියට්නාමය යටත් කරගන්නට වෑයම් කරයි. හැට ගණන් වල ඉඳන් හැත්තෑ දෙක වෙන තුරු නැවතත් අමෙරිකානු හමුදා එක්ක ගැටෙන්න ජියප්ට සිදු වී තිබේ. ජියප් අනුගමනය කළ ගරිල්ලා සටන නතර කරන්න අසමත් වූ අමෙරිකාව එය අතහැර දමමින් උතුරු හා දකුණු වියට්නාම එකතු කරමින් සාමය පතුරවන වෑයමකට මාරු වී තිබේ. ජියප්ගෙ සටන් උපක‍්‍රම හා හෝං චිං මිං ගේ දේශපාලන න්‍යාය බලවත් බව එයින් ඔප්පු වූ බව විචාරක මතයයි.

ඔහු සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී වියට්නාමය බිහි වූ පසු ආරක්ෂක ඇමති හැටියට පත් වූ අතර නියෝජ්‍ය අගමැති ධුරයත් පිරිනැමීය. 1980 වසර වන තෙක් තනතුරු හෙබවූ ජෙනරාල් ජියප් දේශපාලනයෙන් පසෙකට පැමිණ තම අත්දැකීම් ලියා තැබීය. ‘බිග් වික්ටරි ගේ‍්‍රට් ටාස්ක්’, ‘ඩියන් බියන් ෆු’, සහ ‘වන්ස් අගේන් වී විල් වින්’ කියන කෘති ඒ අතර වෙති. ගරිල්ලා සටන් ගැන අත්පොතක් වගේ අදහස් සහිත ජියප්ගෙ වැදගත්ම සටන එනම් ඩියන් බියන් ෆු පොත ඒ අතර වැඩිම අවධානයකට ලක් විය.