» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/05/2016 - දේශය
නිර්භීත මොහමඞ් අලි

කැෂියස් ක්ලේ බොක්සිං ශූරයෙකි. තුන්වතාවක් අධි බර පන්තියේ ලෝක ශූරයා බවට පත් හෙතෙම හැත්තෑව දශකයේ දී සියවසේ ක‍්‍රීඩකයා වශයෙන් ජාත්‍යන්තරය හඳුන්වන්නට පටන්ගත්තේය. ඔහු හැසිරුන ආකාරය ඒ දවස්වල පෙණුනේ ප‍්‍රචණ්ඩ කී‍්‍රඩකයෙකුගේ සංයමයක් නැති වාග් විලාශයක් වශයෙන්ය. නමුත් එම අදහස් අද අලූත් සංකල්ප බවට පත්වෙමින් සිටී. ඔහුගේ කියමන් ඇසුරෙන් ලෝකය අලූතින් දකින්නට ඇතැමෙකු සූදානම් වෙති. එවකට නොතිබුණ වටිනාකමක් අද එම අදහස් වලට ලැබෙමින් තිබේ. මොහමඞ් අලි ඔහු සිය කලූ අනන්‍යතාවය සම්බන්ධයෙන් මහත් ආඩම්බරයක් දක්වයි. තමන් ඇමරිකානු වහලෙකු බව කියන හෙතෙම වහල් නම කැෂියස් ක්ලේ වන අතර උරුමය හැර අන් දෙයක් නැති බව ලෝක ප‍්‍රජාවට අඟවමින් සිටී.

අවුරුදු දොලහේ දී බොක්සිං පුහුණු වෙන කුඩා කැෂියස් අප‍්‍රිකානු ඇමරිකානුවෙකි. කෙන්ටකි ප‍්‍රාන්තයේ උපත ලැබූ කලූ ජාතිකයෙකු වූ හෙතෙම බොහෝ කැපවීමෙන් බොක්සිං ඉගෙන ගත්තේය. ප‍්‍රාන්ත බොක්සිං ශූරතාව හය වතාවක් දිනාගත් හෙතෙම ඇමරිකානු ජාතික ශූරතාවය දෙවතාවක් සහ 1960 දී ඔලිම්පික් බොක්සිං ශූරයා බවට ද පත්වන්නේය. 1964 දී වතාවක් සහ සහ 1970 දී දෙවතාවක් ලෝක බොක්සිං ශූරතාවය දිනා ගනියි.

කැෂියස් ක්ලේ කියන පරිදි ඔහු වහල් දරුවෙකි. ඇමරිකාවේ වහල් යුගය තුළ ඔවුන්ට තිබූ තැන හෙතෙම අමතක කරන්නේ නැත. බොක්සිං ක‍්‍රීඩාවෙන් ඉහළට එන විට ඔවුන්ගේ පරම්පරාවේ මුල් උරුමය වූ ඉස්ලාම් ආගමික ව්‍යාපාරය ගැන දැනගන්නට ලැබේ. ඉස්ලාම් ආගමට සමීප වන නමුත් හෙතෙම එහි එකතු වෙන්නේ නැත. ඔහුට ලැබෙන ඇරයුම පිලිගන්නේ නැත. නමුත් පළමු වතාවට 1964 දී ලෝක ශූරතාවය දිනාගත් පසු ඉස්ලාම් ආගමට නැඹුරු වෙයි. තමන්ගේ වහල් නම ක්ලැසියස් ක්ලේ බව කියන හෙතෙම නිවහල් නම මොහමඞ් අලි බව ප‍්‍රසිද්ධියේ කියයි.

ලෝක ශූරතාවය දිනාගත් පසු ඔහු ස්වකීය අනන්‍යතාව ඉහළින් පවතින ආකාරයට හැසිරී තිබේ. ලෝකයේ බොක්සිං ශූරතාවය දිනාගත් තරුණ ජවය ඇති කටට එන දේ කියන පුද්ගලයෙකු ලෙස ඔහු ඒ වන විට නමක් දිනා ගෙන සිටියේය. තමන්ගේ අත් දෙක උපයෝගී කරගෙන ලෝකයේ සියලූම ප‍්‍රතිවාදීන් පරාජය කර ඇති අවස්ථාවක ඔහු උත්සාහ කරන්නේ අනන්‍යතාවය වෙනුවෙන් බව සාකච්ඡා කරන්නේ වර්තමානයේ දීය. එවකට ඇමරිකාව ස්වේච්ඡා යුද සේවය අනිවාර්ය කරයි. මොහමඞ් අලි ට ද ඇමරිකානු හමුදාවට බැදෙන ලෙස නියමයක් ලැබේ. ඔහු එයට එකග වෙන්නේ නැත. තුන් වැනි වතාවටත් ප‍්‍රතික්ෂේප කරන අතර හමුදාවට බැඳී වියට්නාම් යුද්ධයට ගියේ නැත්නම් අවුරුදු පහක සිර දඬුවමක් ඇමරිකානු ඩොලර් දස දහසක දඩයක් ගෙවන්ට සිදුවන බව දැනුම් දෙයි. ඉතාම කෙටි නඩු විභාගයකට පසු අලි වරදකරු බව අධිකරණය තිරණය කරන අතර හෙතෙම එයට එරෙහිව අභියාචනය කරයි. මොහමඞ් අලි අවධාරණයෙන් කියන්නේ තමන්ගේ ඉස්ලාම් ධර්මය අනුව යුද වැදී අන්‍යයන් මරා දමන්නට නියම කර නැති බවය. එය එක්තරා අකාරයකට මානුෂික අදහසකි. යුද්ධයට විරුද්ධ දස දහස් ගණන් ජනතාව ඔහු සමග එම මතවාදයට එකතු විය. ඒ වන විටත් විශ්ව විද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල වල බුද්ධිමත් පිරිස් ඇතුළු ඇතැම් කොටස් ඇමරිකාවේ එම බලහත්කාරයට එරෙහිව අරගලයක් දියත් කරමින් සිටියේය. මොහමඞ් අලි යුද්ධයට යා යුතු නැති අතර ඔහු නගන තර්කයෙහි ඇත්තක් ඇති බව ඇමරිකානු ඉහළ අධිකරණය පිළිගත්තේය. 1967 සිට 1970 දක්වා බොක්සිං කී‍්‍රඩා බලපත‍්‍රය ද අහිමිකර තිබු ඔහු නිදහස් විය. පසුව මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ කලූ ජාතිකයෙකු වශයෙන් සුදු අය මගේ සතුරන් බවය. සතුරන් නොවන ‘‘කහ ජාතිකයන්’’ එනම් වියට්නාම්වරුන්ට එරෙහිව යුද වදින්නේ කොහොම ද යන අදහසයි. ‘‘කල්ලන් විශිෂ්ටයි යනුවෙන් පමණක් නොව කලූ ලස්සනයි’’ යනුවෙන් ද ඔහු නිතර කියන්නට පටන් ගත්තේය.

වහල් භාවය සම්බන්ධයෙන් මතවාදී සටනක නිරත වී සිටි මාටින් ලූතර් කිං වැනි දාර්ශනික චරිත සමග සම පදනමක තබා මොහමඞ් අලි චරිතය සසඳන්නට ජන ප‍්‍රජාව එවකට කැමැති වූයේ නැත. එක්තරා ආකාරයක තද අදහස් ඇති අතින් මෙන්ම කටින් ද පහර දෙන අයෙකු හැටියට සමාජයට එවකට හිතා ගෙන සිටියේය. එහෙයින් ඔහුගේ අදහස් විශ්ලේෂණය කර සියුම්ව සලකා බැලෙන්නේ නැත. නමුත් විශ්ව විද්‍යාල දේශණයකට ඔහුට ඇරයුම් ලැබෙන්නේ ඇමරිකානු හමුදාවට බැදීම ප‍්‍රතික්ෂේප කිරීමේ වරදින් නිදහස් වූ පසුවය. ඔහු එහි දී එයට හේතුව වශයෙන් සැතපුම් දහස් ගණන් ගොස් තමන්ට වරදක් නොකළ කහ මිනිසුන් මරන්නේ කොහොමදැයි අහන විට දස දහස් ගණනින් අත් පොලසන් හඬ නැගෙන්නට විය. වහලූන් ගෙන් පැවැත එන්නෙකු යැයි කියන්නට කිසිසේත් මැලි නොවූ මොහමඞ් අලි වියට්නාම් යුද්ධය ගැන කියන කතා තුළ අන්තර්ගතව ඇති පසුබිම හොයන්නට ඇමරිකානු ආරක්ෂක සේවා ඔහු ගේ දේශණ පවත්වන තැන් වල දී ඉව අල්ලමින් සිටි නමුත් එයින් කිසිම පලක් වන්නේ නැත.

අලි ස්වකීය ස්ථාවරය ගැන කියන විට නිව්යෝක් ටයිම්ස් සඟරාවේ ලියුම්කරුවෙකු ඔහුගේ තීරු ලිපියේ ලියා තිබුණේ තමන්ට ද අලූත් ආකාරයකට හිතන්නට එය ඉඩ සැලසූ අතර ඇමරිකාවේ පදනම් ප‍්‍රතිපත්ති ගැන නව මානයක් අනාවරණය කරන ලද බවය. හෙතෙම නිතර කතා කළේ ස්වාභිමානය ගැනය. පහල සිට ඉහළට නැගුණ ආකාරය සම්බන්ධවය. සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිට ඉහළම ජයග5හණ ලබන්නට හුඟක් මහන්සි වූ බව හෙතෙම නිතර කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම නියෝජිතයෙකු ලෙස ලෝකයේ රටවල් අතර සැරිසරමින් තමන්ගේ අදහස් ප‍්‍රජාවට බෙදා දුන් හෙතෙම තමන්ගේ නමින් කෞතුකාගාරයක් තනන්නැයි බල කරන ලද මිතුරන්ට කියා සිටියේ ධෛර්යවන්ත මිනිසුන්ට ඔවුන් අපේක්ෂා කරන ක්ෂේත‍්‍රවලින් ඉහළටම එන්නට මග පෙන්වන්නට හැකිනම් එය ප‍්‍රමාණවත් වන අතර අන් අයගේ ගෞරවය දිනා ගන්නා තැනට පත්වන්නට හක්තියක් විය හැකිනම් එය ප‍්‍රමාණවත් බවය.

අලි ගැන ලියැවුණු දේ බොහෝය. එකිනෙකට වෙනස් කාරණා ගැන අති විශාල කරුණු ප‍්‍රමාණයක් ලියැවී තිබේ. ඔහු ගැන පොත් පත් පමණක් නොව චිත‍්‍රපට ද තනා ඇත. මොහමඞ් අලි සිය දහ නම වැනි විවාහ සංවත්සර දිනයේ සිය ප‍්‍රජා සේවා මධ්‍යස්ථානය විවෘත කරයි. හෙතෙම ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලබයි. 1984 සිට දීර්ඝ කාලයක් පාකින්සන් රෝගයෙන් පීඩා විඳි හෙතෙම 2005 අවුරුද්දේ දී හෙතෙම නිදහස උදෙසා ජනාධිපති පදක්ක ජෝර්ජ් ඩබ්, බුෂ් ගෙන් ගැනීමට උරුමකම් කියයි. බැරක් ඔබාමා කලූ ජාතිකයෙකු වශයෙන් ඇමරිකානු ජනාධිපති දුරයට තරගකරන විට ඔහු වෙනුවෙන් පෙනී සිටි මොහමඞ් අලි එය උද්දාමයට පත් වන කාරණයක් කරගත්තේය.

මොහමඞ් අලි ජීවතුන් අතර නැති බවට පළ වූ අසත්‍ය තොරතුරක් මෑතක දී මහත් ආන්දෝලනයක් ඇති කළේය. පසුව එය මෑත කාලය තුළ අන්තර් ජාලෙ ය්වගකීමක් නැති අංශ මගින් මවා පෑ නිවැරදි නොවන කාරණා අතරට තවත් එකක් වශයෙන් එකතු විය. දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔහුට ශෝක පණිවුඩ එවන්නට සූදානම් වූ නමුත් එය වැළකී ගියේය. නමුත් ඔහුගේ අභීත වචන, ඔහු කළ කී දෑ පමණක් නොව අනන්‍යතාවය වෙනුවෙන් නිර්භීතව සටන් කළ ආකාරය ගැන අලූතෙන් හිතන්නට වේදිකාවක් තනා දුන්නේය.

මේ ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.