» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/04/2018 - දේශය
විශ‍්‍රාම ගැනීමට සූදානම් වන හොංකොං හි ධනවතා

හොංකොං හි සුපර් මෑන් අන්වර්ථ නාමයෙන් හදුන්වන සුපිරි ධනවත් ලී කා ෂින් විශ‍්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ඔහු සිය ව්‍යාපාර වැඩිමහල් පුත‍්‍රයා වෙත පවරන බව ප‍්‍රකාශ කර ඇත. නියම අවස්ථාවේ දී තීරණ ගෙන, නිවැරදිව ඉහළම තැනට පැමිණි ලී කා ෂින් ඉතා පහල තැනෙක සිට බලවත් ආත්ම ශක්තියකින් ක‍්‍රියාකර හොංකොං හි ඉතාම ධනවත් පුද්ගලයා බවට පත්ව ඇත. එය ඉතා පහසු ගමනක් නොවේ. දුෂ්කරතා මැද අප‍්‍රමාණ වෙහෙසකින් ගිරි මුදුන කරා ළඟා වූ අවස්ථාවකි. විශ‍්‍රාම යෑම ගැන කියන චීන මහාචාර්යවරයෙකු වන ජෝෂෙප් පෙන් කිසිවෙකුට ලී කා ෂින් ගෙන් ඇතිවන හිඩැස කිසිවිට පිරැවිය නොහැකි බව ප‍්‍රකාශ කර ඇත. සුළුවෙන් ව්‍යාපාර ආරම්භ කළ ලී විශ‍්‍රාම දිවිය ප‍්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන තිස් හතරක් බව බ්ලූම්බර්ග් දර්ශකය නිවේදනය කර තිබුණි. එයට අනුව ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ විසි තුන් වැනියා විය.

ලී කා ෂින් හොංකොං නගරයේ ප්ලාස්ටික් මල් නිපදවා අලෙවි කළේය. 1950 දී මල් අලෙවියෙන් යම් ආදායමක් ඉපැයූ ඔහු එය වැඩි දියුණුකර නොයක් අංශ වලට පතුරවන ලද අතර විශ‍්‍රාම යන විට ලෝකයේ ඔහු සතු වරාය ගණන පමණක් පනස් දෙකකි. බලශක්ති සහ යටිතල පහසුකම් ව්‍යාපාර අති විශාල ප‍්‍රමාණයක් අයිති වූ ඔහුගේ ප‍්‍රධාන මව් සමාගමට ලෝකයේ ප‍්‍රකට ජංගම දුරකථන ජාලා තුනක්, සුපිරි වෙළඳ සැල් ජාලා දෙකක් අයිති වී තිබුණි. විශ‍්‍රාම ජීවිතය ප‍්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී මෙම ව්‍යාපාර භාර ගැනීමට නියමිතව සිටි ඔහුගේ පුත් පනස් තුන් හැවිරිදි වික්ටර් ලී පසෙකින් සිටිය දී හෙතෙම ‘‘චීන සහ හොංකොං සාරය උරා ගත් විශාල ව්‍යාපාර අධිරාජ්‍යයක් බිහිවේවා යි’’ ප‍්‍රාර්ථනය කළේය.

1928 ජනවාරියේ දිනයක චීනයේ ගුවැන්ඩාන් පලාතේ චාවෝෂූ ගම්මානයේ උපත ලද ලී කා ෂින් ගේ පියා ප‍්‍රාථමික ගුරුවරයෙකි. රට තුළ විශාල දේශපාලන පරිවර්තනයක් සිදුවන වකවානුවක ඔහුගේ බාල කාලය ගත වූ අතර පවුලේ සියළු දෙනා හොංකොං වලට පලා ගියේය. දුෂ්කරතා හෙයින් පවුලේ අයට වසර තුනක කාලයක් උන් හිටිතැන් නැති තත්ත්වයකට පසු විය. ඒ අතරවාරයේ හදිසි යේ ඇති වූ රෝග තත්ත්වයකින් පියා මිය ගිය අතර පහලොස් හැවිරිදි ලී කා ෂින් ගේ උර මත බර පැටවිණ. පාසල් අධ්‍යාපනය අවසන් කරන්නට බල කරන ලද පරිසරය අවසානයේ ඔහු තෝරා ගත්තේ ප්ලාස්ටික් නිෂ්පාදන විකිනීමේ සමාගමක සුළු රැකියාවකි. ඔරලෝසු වල පටි හා ඉන බදින පටි විකිණීම පළමු වෘත්තිය විය. වෙළඳ සහායකයෙකු සේ දවසකට පැය දහසයක් මහන්සියෙන් වැඩ කළේය. දක්ෂ අලෙවිකරුවෙකු සේ සෑහෙන අත්දැකීම් සම්භාරයක් එකතු කරගන්නට හැකියාව ලැබිණි. එයින් වසර දහයකට පසු ඔහු තමන්ගේම ප්ලාස්ටික් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සමත්විය. සුළුවෙන් ප්ලාස්ටික් මල් නිෂ්පාදනය කරන ලද අතර ඒවා ඇමරිකාවට විකූණන්නට පටන් ගත්තේය. එයින් ස්ථාවර භාවයට ළඟා වූ හෙතෙම එයින් වසර අටකට පසු තමන්ගේම නිපැයම් කම්හලක් ආරම්භ කළේය. එය දුර දිගට යන ව්‍යාපාර ජාලයක පළමු පියවර බව සදහන් කළ යුතුය. ඉනික්බිතිව දේපල වෙළඳාම හා කළමනාකරණය පැත්තට යොමු වූ ලී කා ෂින් සිය ව්‍යාපාරය චෙන්ග් කොං හෝල්ඩිං යනුවෙන් නම් කර එය හොංකොං හි කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි කරන්නට සමත් විය. ප‍්‍රකට ව්‍යාපාරයක් මිල දී ගන්නට තීරණය කළ ඔහු එහි ව්‍යාපාර ස්වභාවය බහු විධ අංග එකතු කළේය. ඉතා කෙටි කාලයක් තුළ වරාය එය හචිංසන් නමැති ස්වාධීනව වරාය කටයුතු මෙහෙයවන, කන්ටේනර් ව්‍යාපාර පහසුකම් සම්පාදනය කරන ලෝකයේ ප‍්‍රධාන සමාගමක් බවට පත් කරන්නට සමත් විය. හොංකොං, කැනඩාව, චීනය, බි‍්‍රතාන්‍ය, පැනමා ඇතුළු වරාය සෑහෙන ප‍්‍රමාණයක් දක්වා ආයෝජන ව්‍යාප්ත කරන ලද බව දැක්වෙයි.

අත්දැකීම් වලින් සහ නව ප‍්‍රවණතා ඇසුරෙන් අලූත් ව්‍යාපාර ප‍්‍රවාහයක් කරා යොමු වූ හෙතෙම ආයෝජන, වෙන්චර් කැපිටල්, තොරතුරු තාක්ෂණය පමණක් නොව ෆේස් බුක් සමාජ ජාලයේ සුළු කොටසක් ද මිල දී ගෙන ලෝකයේ අලූත් ව්‍යුහයට සේන්දුවන්නට සමත්වීම කැපී පෙනෙයි. 1980 දී ආරම්භ කර වසර දහයක් තුළ ව්‍යාපාර විවිධාංගීකරණය කළ හෙතෙම බි‍්‍රතාන්‍ය, යුරෝපා සහ උතුරු ඇමරිකාවේ වත්කම් මිල දී ගනිමින් බලශක්ති, විදුලි සංදේශ සහ යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපාර කරා වඩා වැඩි අවධානයක් යොමු කළේය. ලොව ප‍්‍රකට වෙළඳ නාම ගණනාවක් ඔහු ගේ ව්‍යාපාර ලැයිස්තුවේ තිබේ. ලී කා ෂින් තමන්ගේ ව්‍යාපාර සිය වැඩිමහල් පුත‍්‍රයා වෙත භාර දෙන්නට තීරණය කරන අවස්ථාවේ දී ලෝකයේ ප‍්‍රධාන වරාය ආයෝජකයෙකු වූ අතර වරාය සංවර්ධනය හා මෙහෙයුම් සම්බන්ධ ප‍්‍රමුඛ ව්‍යාපාර ජාලයක අයිතිකාරයා විය. විශාල සෞඛ්‍ය ව්‍යාපාර ජාලයක හා ආසියාවේ හා යුරෝපයේ පැතිරී ඇති රූපලාවන්‍ය විලාසිතා සමාගම් ගණනාවක් ද මෙහෙයවමින් සිටියේය.

ලී කා ෂින් ආසියාවේ වඩාත්ම බලවත් චරිතයකි. හොංකොං කොටස් වෙළද පොල වටිනාකමෙන් සියයට හතරක් ඔහුගේ ව්‍යාපාර වලට අයත් බව ප‍්‍රකාශ කිරීම එයට ප‍්‍රමාණවත්ය. ෆෝබ්ස් ජාත්‍යන්තර සඟරාව 2006 වසරේ දී ඔවුන්ගේ ඉහළම සම්මානය ලී කා ෂින් වෙත පිරිනමන්නේ ඔහුගේ අප‍්‍රමාණ ව්‍යාපාර දක්ෂතා වර්ණනා කරමින්ය.

ධනය නිමක් නැතිව අත ඇති නමුත් ඉතා සරල ජීවිතයක් ගත කළ ලී කා ෂින් කලූ පැහැති සාමාන්‍ය ඇªම් පැලදුම් භාවිතා කළ සාමාන්‍ය ඔරලෝසුවක් අත පැළඳ අයෙකු බව ජාත්‍යන්තර වාර්තා ඔහු අගයමින් කියා තිබේ. අවුරුදු දහයක් තිස්සේ එකම නිවසේ ජීවත් වෙයි. නමුත් කාලානුරූපව එම ප‍්‍රදේශය හොංකොං හි වැඩිම වටිනාකමක් ඇති ඉඩම් සහිත ප‍්‍රදේශයක් බවට පත්ව ඇත. ධනය අතට එන විට නිරහංකාර වන හෙතෙම ප‍්‍රකට දානපතියෙකු සේ ප‍්‍රකටය. තමන් ඉපැයූ දෙයින් කොටසක් ජන සමාජය වෙනුවෙන් ආපසු දෙන්නට හෙතෙම නොපැකිලව ඉදිරිපත්ව තිබේ. රෝහල්, අධ්‍යාපන වැඩසටහන් වලට ධනය පරිත්‍යාග කර තිබේ. ඔහු ගේ නමට හොංකොං හි විශ්ව විද්‍යාලයක් නම් කර ඇත. විශ‍්‍රාම ජීවිතයෙන් පසු ඔහුගේ පුණ්‍ය ආයතනයේ කාර්ය වලට වැඩි නැඹුරුවකට යොමු වෙන්නට තීරණය කර ඇති අතර එය ඔහුගේ වත්ක ම්වලින් තුනෙන් එකක් වෙන් කරන වැඩ පිලිවෙලක් වන්නට ඉඩ තිබේ.

ලී කා ෂින් සිය ධෛර්යයෙන් පැමිණි ගමන ආස්වාද ජනක එකක් සේ සලකයි. ප‍්‍රකට වානිජ බැංකු සදහන් කරන අන්දමට සමාගම් තුන් සියයකට වඩා පසුගිය වසර විසි පහ ඇතුලත මෙහෙයවා ඇති අන්දම අගය කළ යුතුය. රටවල් පනහක ව්‍යාපාර තිබේ. ලක්ෂ දෙකහමාරකට වැඩි පිරිසක් ස්ථිරව රැකියාව කරති. එය කොපමණ දෙයක්ද? එසේ තිබිය දී තමන් සතු වගකීම අලූත් පරපුරට පැවරීමෙන් ඉදිරි කාලය තුළ ඒවා අලූත් ජවයකින් නැගී වර්ධනය වනු ඇති බව ලොව පුරා මුල්‍ය විශේෂඥයෝ පුරෝකථනය කර තිබේ. තමන්ගේ විජිතයේ තමන්ම වැජඹෙනු වෙනුවට නව පරම්පරාවට පැවරීමට තීරණය කිරීම විශාල අවදානමක් සේ ඔහුට දැනෙන්නට ඇත. යහපත් විවාහ ජීවිතයක් ගත කළ ලී කා ෂින් සිය බිරිඳ ගේ අභාවයෙන් පසු පුතුන් දෙදෙනා සමග ව්‍යාපාර කරගෙන ගියේය. නමුත් අවසානයේ දී ඔහු එම තීරණය ගෙන තිබේ. පොදු ජනතාව අතරින් පැන නැගී ඉහළටම නැග සාර්ථකත්වය යනු කුමක්දැයි පෙන්වා දෙන්නට සමත්වූ හෙතෙම ඒවායෙහි ඇලී නොගැලී අලූත් පරම්පරාවට අවස්ථාව සම්පාදනය කර තිබේ.