» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
01/01/2017 - දේශය
ඔබගේ ප‍්‍රමාදය ගැන මාගේ ස්තුතිය

තෝමස් එල්. ෆ‍්‍රීඞ්මන් තුන් වතාවක් පුලිස්ටර් සම්මානය දිනාගත් වෘත්තීය ලේඛකයෙකි. නිව්යෝක් ටයිම්ස් සඟරාවේ තීරු ලිපියක් ලියන හෙතෙම සිය අලූත්ම කෘතිය නම් කරන්නේ “Thank You for Being Late,” යනුවෙන්ය. ප‍්‍රමාදවීම ගැන ස්තුති කරන්නේ ඔහු සමග උදෑසන ආහාර ගන්නට හවුල් වනු පිණිස එතැයි බලාපොරොත්තුවෙන් සිටි මිත‍්‍රයාටය. දන්නා කිසිවෙකුට, ඇමරිකාවේ වොෂින්ටන් හි කෙළවරක පිහිටි භෝජනාගාරයක උදේ කෑමට ඇරයුම් කිරීම ෆී‍්‍රඞ්මන් ගේ සිරිතයි. එක් දිනක ඔහුගේ අමුත්තා නියමිත වෙලාවට ආවේ නැහැ. විනාඩි පහලොවක් නැත්නම් විස්සක් ප‍්‍රමාද වෙන්න ඇති. ලහි ලහියේ පැමිණි ආරාධිතයා ප‍්‍රමාදයට කරුණු කියන්නට පටන් ගත්තා. ෆ‍්‍රීඞ්මන් හෘදයාංගමව කිව්වේ ප‍්‍රමාද වීම ගැන බොහොම ස්තුතියි යන වචන කිහිපය. අමුත්තා විස්මයට පත් වූ නමුත් ද මෙම වදන් කිහිපය ජාත්‍යන්තරයට අලූත් අර්ථයක් බෝ කර තිබේ. ඔහු රචනා කරන ලද කෘතියේ නම බවට පත්වීම එයට හේතුවයි.

විනාඩි කිහිපයක ප‍්‍රමාදය අලූත් පොතකට හේතු වෙන්නේ කෙසේද? ඔහු තමන් අවට හැසිරෙන පුද්ගලයන් ගේ ඉරියව් දෙස බලා සිටියා. ඉතාම අවිවේකී, දිනපතා කරන්නට ඇති සැලසුම් සහිතව රාමුවකට කොටු වී සිටි ෆීඞ්මන්ට කිසිම සැලැස්මක් නැතිව හිතන්නට හැකි පසුබිමක් එයින් ලැබුණා. ස්තුති නොකර කොහොමද? පුද්ගලයන් සමග කතාබහෙන්, ඔවුන් ඇසුරු කිරීමෙන් සමාජය හදුනාගෙන ඔහුගේ ලියුම් කියුම් හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන ලද තෝමස් එල්. ෆ‍්‍රීඞ්මන් ආකෘතියෙන් බැහැර කරන ලද එම සිද්ධිය අලූත් දර්ශනයක් ඉදිරි පත් කර තිබේ. ඉතා අවිවේකී, සෑම මෙහොතකම කරන්නට කාර්යයක් ඇතිව අනුන් දෙස නොබලා, නොදැක ඉන්නට තැත්කරන අප සියළුම දෙනාට මෙම සිද්ධිය අතිශය වැදගත් කාරණාවකි. මොහොතක් නතර වී හිතන්නට කාලය උදා වී තිබේ. අලූත් අවුරුද්ද එයට ඉඩ පහසුව ඇතිකරනු ඇත. ඉතාම හදිස්සියෙන් කරගෙන ගිය දේ වලින් ජීවිතයට ඉතිරි වී ඇත්තේ මොනවාද? ආපසු හැරී බලන විට ප‍්‍රත්‍යක්ෂ වනු ඇත.

තෝමස් එල්. ෆ‍්‍රීඞ්මන් ඇමරිකානුවෙකි. කුඩා අවධියේ දී ටෙනිස් සහ ගෝල්ෆ් ක‍්‍රීඩාවට දක්ෂතා දැක්වූ හෙතෙම පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාල කිහිපයක උසස් අධ්‍යාපනය ලැබීය. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් දර්ශනය සම්බන්ධ ශාස්ත‍්‍රපති උපාධිය ගත් ෆී‍්‍රඞ්මන් ප‍්‍රකට කතුවයෙකි. තීරු ලිපි රචකයෙකි. පාසල් පුවත්පතට ලිපි ලියා ශිෂ්‍ය අවධියේ දී ම නමක් දිනූ කුඩා ෆී‍්‍රඞ්මන් අද වන විට විදේශ ප‍්‍රතිපත්ති, ජාත්‍යන්තර වෙළඳාම, මැද පෙරදිග, ගෝලීයකරණය හා පාරිසරික යන විෂයය සම්බන්ධ ප‍්‍රාමාණිකයෙකු සේ සැලකේ. ඔහුගේ තීරු ලිපි සහ නිදහස් අදහස් මහත් ඇගයීමට ලක්ව තිබේ. ඔක්ස්ෆඞ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු හෙතෙම මුලින් ලන්ඩන් හි පුවත්පත් වලට සේවය කරන ලද අතර පසුව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ලෙබනන් යුද්ධය වාර්තා කළේය. එය වාර්තාකරණය සම්බන්ධ පුලිස්ටර් සම සම්මානය ෆී‍්‍රඞ්මන්ට හිමි කර දුන්නේය. විදේශ ප‍්‍රතිපත්ති, ආර්ථිකය හා වෙනත් කරුණු ගැන ලියමින් සිටි හෙතෙම මතවාදී තීරු ලිපි කලාවට අවතීර්ණ විය. 2002 වසරේ දී දෙවන වතාවටත් ඔහුට පුලිස්ටර් සම්මානය හිමි වූයේ මෙකී තීරු ලිපි වලටය. යුද වාර්තාකරණය, ත‍්‍රස්තවාදය ගැන ලියන ලද අවස්ථා නොයෙක් සම්මාන වලට පාත‍්‍ර විය. වාර්තාකරණය හා ලේඛන ශෛලිය ජනතාවගේ ප‍්‍රසාදයට ලක්වූ අතර අලූත් මතයක් ඉදිරිපත් කිරීම හෙයින් මහත් සංවාදයට ලක්වන්නේය.

මේ අතර තෝම්ස් එල් ප‍්‍රීඞ්මන් බීරූට් ටු ජෙරුසලම් ලියන්නේ 1990 දීය. එයට ඇමරිකාවේ ජාතික ග‍්‍රන්ථ සම්මානය හිමිවෙයි. ලෙක්සස් ඇන්ඞ් ඔලිව් ට්‍රී යන දෙවැනි කෘතියෙන් පෙන්වා දුන්නේ ගෝලීයකරණය හරහා ලෝකය යහපත් වෙන බවකි. ලෙක්සස් යනු එවකට ලොව වටිනාම මෝටර් රථයයි. ඔලිව් අත්ත මැද පෙරදිග කලාපයේ සංකේතයි. මේ දෙක අතර සංකලනය ගැන අලූත් මතයක් පී‍්‍රඞ්මන් තමන්ගේ පොත මගින් සංලාපයට ඉදිරිපත් කළේය. එය එකල දාර්ශනික ලේඛනයන් කිහිපදෙනෙකු කරගෙන ගිය විද්වත් සංවාදයෙහි එක් සුවිශේෂී නියෝජනයක් බවට ද පත්විය.

ජපානයේ ප‍්‍රැන්සිස් පුකුයාමා ඇමරිකානු හා සෝවියට් සීතල යුද්ධය අවසන් වීමත් සමග ‘‘ඉතිහාසය අවසන්’’ යන අර්ථය දෙන කෘතියක් ලියන ලද අතර එය ලෝක අවධානය දිනා ගත්තේය. එම කෘතියෙන් කියැවුනේ දැන් ඉතින් ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් විවෘත ආර්ථීකයත් මුල් බැස හමාරයි වෙනත් ක‍්‍රමයකට ඉඩක් නැහැ යන්නය. මේ අතරවාරයේ ‘‘ක්ලෑෂ් ඔෆ් සිවිලයිසේශන්’’ නමින් සැමුවෙල් පී හුටෙව්ග්ට්න් කෘතියක් පළ කරන ලද අතර ඔහු අනාවැකියක් හැටියට කියා සිටියේ සීතල යුද්ධයට පසු ශිෂ්ටාචාර අතර ගැටුමක් ඇති විය හැකි බවය. කිතුනු හා මුස්ලිම් ශිෂ්ටාචාර අතර ගැටීමකට පසු සියලූ දේ එකතුවූ අලූත් ක‍්‍රමයක් එනම් බටහිර දිනන අවස්ථාවක් මතුවිය හැකි බව ඔහුගේ පොත අනාවරණය කළ ප‍්‍රධානම කරුණයි. ෆ‍්‍රීඞ්මන් සිටියේ මෙම මත දෙක අතරමැදය. එහෙයින් වානිජ වශයෙන් ඔහුගේ කෘති වලට හොඳ ඉල්ලූමක් තිබුණි. ඔහුගේ හත්වැනි පොත වශයෙන් මෙම ලිපියෙන් හදුන්වාදෙන “Thank You for Being Late,” ලියන්නට කලින් එනම් පස් වැනි මතවාදී කෘතිය වූ ‘‘ ද වර්ල් ඊස් ෆ්ලැට්’’ එරට හොඳම අලෙවියක් ඇති පොත වශයෙන් හෙළිදරව් කරනු ලැබීම එයට සාධකයකි.

ෆී‍්‍රඞ්මන් කියන අන්දමට වැඩ කරන යන්ත‍්‍රයක බොත්තමත් එබුවොත් එය නතර වෙයි. අපේ ජීවිතයේ බොත්තමක් එබුවහොත් අලූතෙන් හිතන්නට හැකියාව ලැබේ. අප සියළු දෙනාටම තමන්ගේ ජීවිතයේ ඇති බොත්තම් ස්පර්ශ කර අලූත් විධියකට හිතන්නන යනුවෙන් හෙතෙම එක්තරා මාධ්‍ය සංවාදයක දී කියා සිටියේය. අප පසුකරමින් ඉන්න් වේගවත් තාක්ෂණික යුගය හෙයින් අප ගමන් කරන වේගය දැනෙන්නේ නැති බව ෆීඞ්මන්ගේ තර්කයකි. කර්මාන්ත යුගයෙන් තාක්ෂණික යුගයට එන ගමන මිනිසුන්ට දැණුනේ නැති බව ඔහුගේ තර්කයයි. ලෝකය ගෝලාකාරයි කියන එක හිතන්නට ගිය කාලයට වඩා ඉතාමත් අඩු කාලයකින් ලෝකයේ ගෝලීයකරණය තේරුම් ගන්නට ලෝකවාසීන්ට හැකි වූ බව ඔහු ගේ තවත් තර්කයකි. අලූතෙන් එන සංකල්ප මුල්බැස තහවුරු වෙන්නට ගතවන කාලය ඉක්මන් වීමෙන් පමණක් ජීවත්වන යුගයේ වේගය හªනාගත හැකි බව කියන ෆී‍්‍රඞ්මන් එම පසුබිම තේරුම් ගන්නට හිතන එක කොපමණ ආස්වාද ජනක දැයි පෙන්වා දෙයි.

සරල ශෛලියකින් කොලම් ලියන ෆී‍්‍රඞ්මන් එක්තරා ආකාරයකට උත්තේජනයක් නියෝජනය කරන්නෙකි. නව්‍ය ආකාරයකින් ජීවිතය දකින්නට හුරු කරවන්නෙකි. නැත්නම් හෝටලයක කෑමකට ආරාධනා පැබූ පුද්ගලයෙකු ගේ ප‍්‍රමාදය තමන්ගේ වාසියට නතු කරගන්නේ කෙසේ දැයි පෙන්වා දී අන්තර් ජාතින අවධානයට පාත‍්‍ර වන්නේ නැත. නතර වී මොහොතක් හිතන්න. එය අප සියළු දෙනා සැරිසරන අවකාශය ජනතාන්ත‍්‍රිකත්වයට පත්කරනු ඇත.