» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
15/02/2012 - ලංකාදීප
ඉක්මන් ගමන් - වන්දිය ජීවිතයෙන් ද? - මිලින්ද මොරගොඩ

මගට බහින්නෙ රාහු කාලය බලලා, ගිහින් එන්න. එහෙම නොකියන හදවතක් නැහැ. එහෙම නමුත් හදිස්සියක් ඇයි? මොහොතක වැරදීමකින් අහිමි වෙන්නෙ ජීවිත. සදාකාලිකවම අසරණ වෙන්නේ දරු පවුල්. සැනසිල්ල මනුෂ්‍ය ජීවිතයකට වැදගත්. සියලූ දෙනාම පාරට බහින්නෙ බලාපොරොත්තු එක්ක අහන දකින සිදුවීම් පෙන්වන්නේ විනය පිරිහීම.

මෑත කාලය තුළ වාර්තා වූ රිය අනතුරු ප‍්‍රමාණය විශාලයි. වාහන වැඩිවීම හේතුවක් වෙන්න පුලූවන්. එහෙම නමුත් අනතරු වල ස්වභාවය අනුව වාහන පදවන්නන් පමණක් නොව මහ මග සරන මහජනතාවත් එයට වග කිව යුතුයි. වැඩි දෙනෙක් ගත කරන්නේ පීඩනයෙන්. ප‍්‍රශ්න වලින් හෙම්බත්වෙලා. වෙලාවට දරුවා පාසලට ඇතුල් කරන්න. වැඩට යන්න. ගෙදර යන දුම්රිය අල්ල ගන්න. ඉක්මන අවශ්‍යයි. පමා වුනොත් පලක් නැහැ. මහ පාරේ ඇති තදබදය දකින විට ප‍්‍රමාදය හිතට වදයක්. නීතියක් ඇති නමුත් හිතේ ඇති පීඩනය එයට වැඩියි. පාර මාරු වෙන කහ ඉර පෙනි පෙනී පාර පනින්න සිද්ධ වෙනවා. කහ ඉරෙන් පාර පනින මිනිස්සු දකින වාහන රියැදුරන් ටිකක් නතර කරන්න හිත හදාගන්නෙ තරහෙන්. බස්ල ත‍්‍රී විලර්ල යතුරු පැදිල කාර් සහ බර වාහන නගරයේ යන්නෙ පාර පුරා. අධික තදබදයෙන් යුතු මංසංන්ධි වල නොඉවසිල්ලෙන් යන මේ වාහන තරමක් පාර පැහැදිලි වූ පමණින් ඉගිල්ලෙන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන්ට පවා මහ පාරේ නීතිය ආරක්ෂා කිරීම වධයක්. මෙවැනි අක‍්‍රමවත් සිදුවීම් ඉඩදෙන්නේ භයානක අනතුරු වලට.

රට දියුණු වන විට ගොඩනැගිලිල යාන වාහන පමණක් නොව මහජනතාවගේ විනය ද වඩා උසස් තත්ත්වයට පත්විය යුතුයි. මගීන් පාර මාරු විය යුතු නියමිත තැන් වලදී පමණයි. බස් නැවතුම දක්වා ටිකක් දුර ඇවිදින්න. නියමිත තැන පාර මාරුවෙන්න. නිසිපිළිවෙත් අනුගමනය කිරීම ඉතාම වැදගත්.

පොදු මගී ප‍්‍රවාහනයට වෙනම මංතීරු ඇති තැන් වලදී බස් රියැදුරන් එයට අවනත විය යුතුයි. බස් නැවතුම් පොළ වල විනා අතර මග මගීන් නැංගවීම හෝ බැස්සවීම අනතුරුදායකයි. වේග සීමා අනුගමනය කළ යුතුයි. හැකිතරම් මගීන් පටවාගෙන දවසේ ආදායම වැඩි කර ගැනීම ගැන අවධානය යොමු කරන විට වැරදි කරන්නෙ දැනුවත්වමයි. ඇතැම් රටවල මගීන් බස් රථයෙන් බහින්නෙ රියැදුරුට ආචාර කිරීමෙන් පස්සෙ. නමුත් අපේ රටේ? වාහන අතට ගන්නා කවර තරාතිරමක පුද්ගලයෙකුගේ වුවත් සමාජ ගෞරවය බිංදුව බවට පත්වෙලා තියෙන්නෙ රියැදුරන් ගේ හැසිරීම අනුව. නීති අකුරට ම ක‍්‍රියාත්මක කිරීම ගැන වැඩි අවධානය අවශ්‍යයි.

අපි හැම දෙනෙකුම යහපත් ජීවිතයක් ගත කරන්න කැමැති මිනිස්සු. හිතට එකඟව නීතිය අනුගමනය කරන්න අපට නොහැකි ඇයි? විනයක් ඇතිව ගරුත්වය ආරක්ෂා වන අන්දමට මහා මාර්ගය පාවිච්චි කරන්න නොහැකි ඇයි? නීතියෙන් කළ නොහැකි දේ සමාජ එකඟත්වයෙන් ඇති කළ හැකිය. අනතුරු දුරු කර මහ මග ආරක්ෂිත තැනක් කළ හැකි අපටමය.