» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
11/01/2012 - ලංකාදීප
දේශපාලනය සහ ප‍්‍රචණ්ඩත්වය - මිලින්ද මොරගොඩ

කහ ඉර තියෙන්නෙ පාර මාරුවෙන්න. ඒක නීතියක්. නීතිය කැඩුවොත් දඩ. පාරෙ කෙළ ගහන්නත් තහනම් කරන්න යනවා. අධික ශබ්ධයෙන් හෝන් ගහන රියැදුරන්ටත් දඬුවම් කරන්න සූදානම. ඇයි මේ? රට යහපත් තැනක් කරන්න. අනුන්ට කරදරයක් නැති සමාජයක් හදන්න. මහජනතාව පමණක්?

දේශපාලනඥයෝ මහජනතාවට ඉහලින්. පත්වෙන්නෙ ජනතාවගේ ඡන්දයෙන්. බලයට පත්වෙනවා. ජන්දයෙන් ජය ගන්නෙ බලයත් එක්ක. මේ බලය ලැබෙන්නෙ මහජන සේවයට. මහජනතාවගේ කීකරු සේවක. අද එහෙම නෑ. බලයට පත්වෙන ඇතැම් දේශපාලනඥයන්ට නීතිය අදාලත් නැහැ. එහෙම වෙන්නෙ කොහොමද? බලය පවරන්නෙ මහජනතාව. තමන්ගෙ නියෝජිතයා හැටියට. බලය සමග බලහත්කාරය එකතු වෙනවා. මහජන නියෝජිතයන් බලය අතට ගැනීම ප‍්‍රශ්නයක්. බලය පවරන මහජනතාව නිහඬව සිටීම එයටත් වඩා ප‍්‍රශ්නයක්.

දේශපාලනඥයන් ගැන මහජනතාවගේ තක්සේරුව නරක එකක්. හැම දේශපාලනඥයෙකුම හොරෙක්. වංචාකාරයෙක්. අපරාධකාරයන් ආරක්ෂා කරන්නෙක්. නැත්නම්, නීතිය කඩන, බලය අයුතු අන්දමට හසුරවන අයෙක්. පහලම තැන සිට ඉහළම තැන දක්වා රටේ ආකල්පය එහෙම.

යහපත්, අවංක පුද්ගලයෙකු දේශපාලනයට ඇතුල්වෙන්නෙ යහපත් අදහස් ඇතිව. ඉතාම ඉක්මනින් මෙම සංස්කෘතියේ ගොදුරක් බවට පත්වෙනවා. එහෙම නොවී ඉන්නෙ කොහොමද? පත්කරන ජනතාව හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නෙ දේශපාලනඥයාගෙන්. දරුවා පාසලට දාන්න. පිටරටක ට පැන ගන්න. වීසා ගන්න. රස්සාවක්, මාරුවක්, එහෙම නැතිනම් උසස්වීමක් ගන්න පාක්ෂිකයෝ යන්නෙ දේශපාලනඥයා ල ඟ ට. පොදු වැඩ කරන්න වෙලාව නැහැ. ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්න පත්කරගන්න නියෝජිතයා ගේ වගකීම පාක්ෂිකයගේ ඉල්ලීම් ඉටු කිරීම.

ඊළඟ වාරයේ දිනන්න නම් පාක්ෂිකයන් සතුටු කළ යුතුයි. නීතිය, යුක්තිය පලක් නැහැ. තමන්ගෙ අවශ්‍යතාවය ඉටු කරන මහජන නියෝජිතයා වීරයෙක්. ජනතා නියෝජිතයා බලය අතට ගන්නෙ එහෙම. වැඩගන්නෙ බලහත්කාරයෙන්. නීතිය පැත්තක. නිලධාරීන් අසරණයි. ඩෙංගු කීටයෙක් ගෙවත්තෙන් හොයාගත්තාම දුප්පතා හිරේ දාන රට. ටී පනස් හයෙන් අහසට වෙඩි තියන්න දේශපාලනඥයෙකුට ලැබෙන්නෙ බලය. මහජනතාව බලය දෙනවා. දේශපාලනඥයන් බලය අතට ගන්නවා. දේශපාලනය එක්ක ප‍්‍රචණ්ඩත්වය එකතු වෙන්නෙ එක රැයකින් නෙවෙයි. මෙතැන පෙනෙන්නෙ ක‍්‍රමය පිරිහීම. ආපසු හැරෙන්න අවශ්‍යයි. මහජනතාව ගරු කරන දේශපාලනයක්. පාක්ෂිකයන් බලාගන්නා දේශපාලනඥයන් වෙනුවට රට ගොඩනගන දේශපාලන ක‍්‍රමයක්. පුරවැසියන්ට, නිතිය හා යුක්තිය සමානව හිමිවන සමාජයක්. මේ බලාපොරොත්තු ඉටුකරගත යුතුයි.

මහජනතාව ගරු කරන දේශපාලන සම්ප‍්‍රදාය ඇතිකිරීම දේශපාලන පක්ෂ වල වගකීමක්. පක්ෂ නායකයින් තම සාමාජිකයන්ගේ විනය ගැන අවධානය යොමු කළ යුතුයි. විශෙෂයෙන් දේශපාලනයට එන තරුණ පරම්පරාවෙන්. කොතැනකින් හෝ ආරම්භයක් අවශ්‍යයි. දේශපාලනඥයන් බලයට පත්කරන මහජනතාවටත් එහි කොටස්කරුවන් විය හැකියි.