» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
07/03/2012 - ලංකාදීප
මහ පොළවට නොදැනෙන කදුළු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com

ආණ්ඩු අපේ. මහජනතාවගේ පත්කරගන්නෙ පුරවැසියන්ගෙ වැඩි කැමැත්තෙන්. සියලූම දෙනාට සමාන අවස්ථාව දෙන එක ආණ්ඩුවක වගකීම. අවශ්‍යතා හොයා බලා පුරවැසියන් ට එකලෙස සැලකීම පහසු නැහැ. නීති රීති පනවන්නෙ සාධාරණ අවස්ථා ඇතිකරන්න. වැදගත්වෙන්නෙ යුක්තිය.

පාසල, සන්සල සමාජයේ කොටස්. ප‍්‍රජාවට පොදු තැන්. වැවට ගිහින් වතුර දෝතක් බොන්න තහනමක් තිබුණෙ නැහැ. පන්සලට, පල්ලියට, කෝවිලට ගිහින් මලක් පූජා කරන්න නිදහස තිබුණා. පාසලත් එහෙම විවෘත තැනක්. ගමේ පන්සල, පාසල ගරු බුහුමන් දිනාගත් තැන්. පන්සල වගේම දරුවන් ඉගෙන ගන්න පාසලටත් නොයෙකුත් සීමා. අද පාසල සමාජයේ ජීවත්වන ප‍්‍රජාවගෙන් දුරස්ථයි.

ප‍්‍රදේශයේ පාසලට නීති හැදෙන්නෙ පරිබාහිර තැනක. පාසල අවට ජීවත්වන ප‍්‍රජාවට මෙම නීති රීති ආගන්තුකයි. මොරටුවේ ප‍්‍රධාන පාසලක් පෙනෙන නොපෙනෙන මානයේ ජීවත්වන දෙමව්පියන්ට තමන්ගෙ දරුවා පාසලට ඇතුල් කරන්න ඉඩ ලැබුණේ නැහැ. පාසල වටා ගුවන් කවයක් අදින, තීරණ ගන්නා පිරිසට කවයෙන් එපිට අය පිටස්තරයන්. මහා මාර්ගය දිගේ පාසලට ඇවිදගෙන එන්න හැකියාව ඇති නමුත් එයට ඉඩ නැති දරුවන්ගේ දෙමවුපියන් වෛර කරන්නෙ කාටද? එහෙම නමුත් පාසලට සෑහෙන ඈත ප‍්‍රදේශවල දරුවන් ජනප‍්‍රිය පාසල්වලට එන්නෙ සෑහෙන කාලයක් ධනයක් වියදම් කරමින්. තීරණ ගන්නෙ මහපොළවෙ පය නොගහන කණ්ඩායමක්ද? අවුරුද්දෙ මාස දෙකක් අවසන් ව ඇතත් තමන් කැමති පාසල නැති දරුවන් කොළඹ නගරයේ ජීවත්වෙනවා. ප‍්‍රධාන නගරවලත් එහෙමමයි. දරුවන් ජනප‍්‍රිය පාසලට ඇතුල් කරන්න මහන්සි වෙන හැම දෙමාපියෙකුට ම රටට ඇහෙන්න කියන්න සාධාරණ කතාවක් ඇති බව පැහැදිලියි.

දරුවන් පාසල ට ඇතුලූ නොකරන්න නීති පනවන්න සිදුවීම කණගාටුවට කරුණක්. දෙමාපියන් සොයන්නෙ තමන්ගෙ දරුවන්ට දෙන්න හැකි හොදම දෙය. එයින් සාර්ථක කරන්නෙ නොදරුවන්ගේ අනාගතය. ගොඩනැගෙන්නේ රටේ ඊළග පරම්පරාව. පුරවැසියන්ගෙ අයිතිය යටපත් කිරීමෙන් අසරණ වෙන්නේ සමාජය. ජීවත්වන සමාජය අවට තිබුණ වැදගත් සංකේත වටා නීති රීති, බාධක ඇතිකරන විට දුරස් වෙන්නේ එකිනෙකාගෙන්. එකමුතු නොවෙන සමාජයක් රටට සාධාරණ බලාපොරොත්තු අපේක්ෂා කිරීම අපහසුයි. තමන්ගෙ දරුවන්ට අවස්ථාව නැති බව පෙනෙන තැනක පරිත්‍යාගය ගැන කතා කිරීම නිශ්ඵලයි. පරාර්ථකාමී හැගීම ඇතිවෙන්නෙ කොහොමද? ජීවත් වන්නෙ ප‍්‍රශ්න නැති සමාජයක නෙවෙයි. විසදාගත යුතු බරපතල කාරණා එමටයි. එහෙම නමුත් දරුවන්ගේ ඉගෙනීම බොහොම සංවේදී කරුණක්. දරුවාට පාසලක් වෙනුවෙන් ධනය වැය කරන්නටත්, දේශපාලනඥයන් ට ඇවිටිලි කරන්නටත් සිදුවීම අවාසනාවක්. නීති පනවා, එම නීති වලට එපිටින් ඇති හැකි අය ක‍්‍රියාකරන විට සමාජය අවුලවන පීඩනය තේරුම් ගැනීම පහසු නැත.