» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
05/06/2013 - ලංකාදීප
මැද මාවත විනා අන්තවාදයක් බුද්ධ වංශය තුළ නැත - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com

වෙසක් මාසය බොදුනුවන්ට ඉතාම වැදගත් කාල පරිච්ඡේදයකි. සිදුහත් කුමරු ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීම වෙසක් පුන් පොහොය දිනවල සිදුවූ බව පිළිගැනීමයි. වර්තමානය ඉතා සංකීර්ණය. තාක්ෂණික සහ ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයයි. එහි තර්කයට ඉඩ තිබේ. මධ්‍යම ප‍්‍රතිපදාව බුද්ධ දර්ශනයේ මූලික රාමුවයි. බුදු දහම ශ‍්‍රී ලාංකික සමාජ අනන්‍යතාවයට බද්ධ වූ සදාකාලික දර්ශනයකි.

බුදුරජාණන් වහන්සේ වැඩි කාලයක් වැඩ විසූ ජේතවනාරාමය ආශ‍්‍රිතව දස දහසක් දෙනා නිතිපතා බුදු දහම අසා සැනහී සතර මග සතර ඵලයට පැමිණෙන්නට ඇත. එහිම නුදුරින් ජීවත්වන්නට චුන්ද සූකර ට ඉඩ හසර තිබිණ. චුන්ද සූකර වෙළෙන්දාට ද වෙළද පොළ තුළ යම් පාරිභෝගික පිරිසක් සිටි බව නිසැකය. අණේ පිඩු සිටාණන් සේ ම මට්ටකුණ්ඩලී වැනි දරුවන්ගේ පියවරු ද එකල ජීවත් වූහ. මහා අනර්ඝ මේල පළදනාවෙන් සැරසී විහාරයට පැමිණි සිටු දියණියන් ගැන ද, විලි වසා ගැනීමට රෙදි කඩක් පවා රහිතව පිහිට පතා අව සිහියෙන් පැමිණි කාන්තාවන් ගැන ද බෞද්ධ සාහිත්‍යයේ ස`දහන්ය. බුදු රජාණන් වහන්සේ තමන් හමුවට පැමිණි සියල්ලන්ට බෙදා දුන්නේ එකම දැක්මකි. සම සිත සහ සම මෙත පතුරවන්නට අසම සම හිමිපාණන්ට හැකි වූයේ කෙසේද? මහා කාරුණිකයාණන් වහන්සේ ශාක්‍ය වංශයේ නොව, බුද්ධ වංශයේ ප‍්‍රතිපත්ති අනුගමනය කළ හෙයින් බව අමතක කළ යුතු නැත.

අප මහා සංඝ රත්නය සැරියුත් මුගලන් පරපුරෙන් පැවත එන ශාක්‍ය වංශයේ වර්තමානයයි. සගරුවන එම මග තෝරාගෙන ඇත්තේ බවදුක නිවා සසරින් එතෙරව අමා මහ නිවන අපේක්ෂාවෙන්ය. එය සීමාවකින් තොර කැපකිරීමකි. දියුණුවන ලෝකයේ නෙත සිත පිනවන දේ අත හැර නිවන සොයා යන දුශ්කර මාවත තෝරාගෙන ඇති හෙයින් බොදුනුවෝ සග රවනට මහත් භක්තියෙන් උවටැනි කර පින් අපේක්ෂා කරති. තමන්ට ඉදිරි භවයේ දී නිවන් දකින්ට කැපවිය නොහැකි බව දන්නා ගිහියන් මතු භවය තකා යහපතෙහි යෙදෙති. නිවන් දකින මග අතරතුර මධ්‍යම ප‍්‍රතිපදාවෙන් මිදී නොයෙක් අදහස් ඇතිව ඉදිරියට පැමිණීම ශාක්‍ය වංශයට එක`ගද?

ගව ඝාතනයට එරෙහිව ස්වාමින් වහන්සේ නමක දිවි පිදීම සමාජය තුළ තැති ගැනීමක් ඇති කර තිබේ. එය බරපතල තත්ත්වයකි. මනුෂ්‍යයන් කරන ගව ඝාතනයට මම එක`ග නොවෙමි. සියළුම සත්ත්වයන්ට ජීවත්වීම සැපයකි. නමුත් සත්ව මාංශ බුදින පිරිසක් සමාජයේ ජීවත්වෙයි. නොයෙක් තර්ක ඇතත් අප ගරු කළ යුතු මධ්‍යස්ථ භාවයටය. නතර කළ යුතු දුක නොව දුක හටගන්නා හේතුවයි. ගව ඝාතනය නතර කිරීම වෙනුවට බොදුනුවන් ගව මස පරිභෝජනය නොකරන තැනට මෙම ජීවිත පූජාව පදනමක් වෙයි නම් එය වැදගත්ය. මිලදී ගන්නා පාරිභෝගික සමාජයක් නැති අවස්ථාවක වෙළදාමට ඉඩක් නැත. ඉල්ලූම තිබිය දී එය නොසපයන්නැයි කරන බලහත්කාරය අනුචිතය. පර පණ නසන ගව ඝාතනය පමණක් නොව හොරකම, කාමය, මුසාව සහ සුරාව ද තුරන් වූ සුපසන් බොදු සමාජයක් අපගේ ප‍්‍රාර්ථනාවය. පන් සිල් රකින පරපුරක් ඇති කළ හැකි නම් නරකට කොතැනක හෝ ඉඩක් නැත. නරකට නොඇලී එය නැති කරන ලෙස මැදහත්ව නිස්සරණධ්‍යාශයෙන් තහවුරු කිරීම අද ඇති එකම වගකීමයි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල සුපිරිසිදු දර්ශනය එයයි.