» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
04/04/2012 - ලංකාදීප
හිත පිබිදෙන නමුදු නගරය පාලූවෙයි - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද උදා වෙමින් තිබේ. ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණකි. අස්වනු නෙලා, භව බෝග එක් රැස්කරගෙන පමණක් නොව ඉදිරි කන්නයටත් කෙත් වතු වපුරා සතුටට පත්වූයේ පරම්පරා ගණනකට කලින්ය. සශ‍්‍රීකත්වය එහි සංකේතය විය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම එයට නිමිත්තයි. ගමන අලූත් වන අතර අලූත් ආකල්ප හා අලූත් බලාපොරොත්තු පැතිරෙයි. සමගිය සහ සම්බන්ධතාවය එහි ප‍්‍රධාන සාධකය විය. නිර්ව්‍යාජත්වය හා සරල බව අලූත් අවුරුද්දේ වැදගත්කම සලකුණු කළේය.

එකී පසුබිම කාලානුරූපව පරිවර්තනයකට ලක්ව ඇත. මේ දිනවල නගරය යුහුසුලූය. ගම ද එයට අනුකූල වෙමින් තිබේ. අවුරුදු සමරන අරමුණෙන් සියලූ දෙනා අත ඇති සියල්ල වියදම් කරමින් සිටී. වැටුප, අවුරුදු අත්තිකාරම් සහ ණය ගැනීම සාමාන්‍ය ස්වභාවයකි. මෙම උපයාගන්නා ආදායම වියදම් කරන්නේ ආහාර පාන හා තෑගි බෝග වෙනුවෙන්ය. මහජනතාව අත ගැවසෙන මුදල් තම වෙළදාමේ ආදායම වශයෙන් එකතු කරගන්නට ව්‍යාපාරික අංශ සූදානම් බව පෙනේ. අවුරුද්ද ලබන්නටත් කලින් ඇරඹෙන වෙළද ප‍්‍රචාරය එය අවුලූවයි.

ඉදිරි දින කිහිපය තවත් කලබල වැඩිවෙයි. වැඩකරන තැනින් අප‍්‍රියෙල් මාසයේ ආදායම ද එකතු කරගන්නා වැඩකරන ජනතාව තමන්ට අවශ්‍ය දේ හැකි තරමින් ගන්නට වෙළද සැල් කරා රොක් වෙති. අවුරුදු මාසය තුළ පාරිභෝගිකයෝ වෙනදාට වඩා දෙතුන් ගුණයක ද්‍රව්‍ය රැස් කර ගනිති. අන්තිම මොහොතේ එයට නැඹුරුවන ඇතමෙකුට එයට ගෙවන මිල හා මිලදී ගන්නා භාණ්ඩ වල තත්ත්වය ගැන අවධානය යොමු කරන්නට ද ඉඩක් නැති බව දැකිය හැකි යතාර්ථයයි. ඉනික්බිතිව, කද මලූ පොදි බැද ගෙන දු දරුවන් ද සමගින් නගරය හැර යන්නට පටන් ගනිති. වැඩි දෙනෙකු අධික නාගරීකරණය වූ තදාසන්න ප‍්‍රදේශවල තාවකාලිකව පදිංචි වූවෝ බව රටට දැනෙන වකවානුවකි. ඉතිරිවන නගරයේ ධනවතුන් ද පිට පලාත්වල හෝටල් කරා ඇදෙන අතර ඉතිරිවන්නේ එක්තරා කොටසක් පමණකි.

නගරය පාලූ වෙයි. හෝටල් වැසෙයි. ප‍්‍රවාහනය අඩාල වන අතර නගරයේ ඉතිරිවන ජන කොටසට අත්‍යවශ්‍ය දෙයක් මිලදී ගන්නට හෝ වෙළද සැලක් විවෘත නොවේ. ආහාර පාන බහුලව තිබුණ බොජුන් හල් වැසී යන්නේ යළිත් මැයි මාසය උදාවන තෙක් සුපුරුදු රිද්මයට පත්නොවන බව අගවමින්ය. නගරයෙන් පිටත්ව ගිය පිරිස තමන් මහා වෙහෙසක් විදිමින් ගතවූ කාලය අමතක කරන්නට තරම් සතුටු වෙති. ජීවත්වන්නට සරිලන තරමට යමක් උපයාගන්නට හෙලන ලද දහඩිය හා කදුලූ ගැන කිසිසේත් නොඅගවති. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සමරන අප හැම දෙනාම අවුරුද්දේ අරුත අමතක නොකළ යුතුමය.