» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
02/02/2012 - ලංකාදීප
බන්ධනාගාරයේ අන්ධකාරය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.wordpress.com

බන්ධනාගාරය සමාජයේ කැඩපතකි. එයින් පෙනෙන්නේ අපේ පිළිබිඹුවයි. බන්ධනාගාර ගතව සිටින්නේ ජනසමාජයේ එක් කොටසකි. ආගම දහම ගැන ගැඹුරු වැටහීමක් මිනිසුන් වෙසෙන රටක බන්ධනාගාර කුමටද? එය අවාසනාවකි. එයට වඩා අවාසනාව එහි බන්ධනාගාර ගත වූවන්ගේ විලාසයයි. පසුගියදා පුපුරා ගියේ එහි අභ්‍යන්තරය විය නොහැකිද?

2010 අවුරුද්දේ බන්ධනාගාර ගතව සිටි සිරගතව සිටි පිරිස 32,128 කි. එයින් හරි අඩක් අධිකරණයෙන් නියම කරන ලද දඩ ගෙවාගත නොහැකි අයයි. එය 16,061 ක් පමණය. එම අවුරුද්දේ ම සිරගතව සිටි පිරිසෙන් සියයට 41.6 ක් නොඑසේනම් 13,378 ක් සිරගතව ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි වලටය. බන්ධනාගාරය පිරී ඇත්තේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවෝ ද, අතරමැදි බෙදාහරින්නෝ ද සමගය. අවසානයේ දී එය මත් ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහනයට ලක්ව ඇත.

ඕනෑම රටක බන්ධනාගාරය ගැටලූ සහගත තැනකි. අධිකරණයෙන් දඩුවම් නියමකළ සිරකරුවන් ආරක්ෂා කර දඩුවම කි‍්‍රයාත්මක කිරීම පහසු එකක් නොවේ. සමාජයෙන් ඈත්වන විට සිරකරුවන්ට විශාල පීඩනයක් ඇතිවෙයි. ගෞරවය හා මානුෂිකත්වය ආරක්ෂාවන අන්දමට ක‍්‍රියා කළ යුතු නමුදු සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීහු අතර ගැටුම් ඇතිවෙයි. ජීවිත කාලයෙන් දීර්ඝ කොටසක් වැරදිකරුවන් සමග ජීවත්වීම නිසා බන්ධනාගාර සේවයේ නිරත පිරිස ගේ ජීවිත අමිහිරිය. එහි ගත කරන පිරිස සමග නිකුත්වන පණිවුඩය නරකය. වැඩි අනුකම්පාව අසරණ වූ සිරකරුවන් වෙතය. බි‍්‍රතාන්‍ය යුගයේ පටන් පවතින බන්ධනාගාර පද්ධතියේ සේවය කරන නිලධාරීන්ගේ ද, සිරකරුවන්ගේ ද ප‍්‍රශ්න දෙස සානුකම්පිත විය යුතුය. බාහිර මැදිහත්වීම් සීමාකර දඩුවම හා පුනරුත්ථාපනය කරන ලද යහපත් පුරවැසියන් යළි සමාජගත කිරීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

මෙරට නීතිය අනුව සැකකරුවෝ අත්අඩංගුවට ගැනෙති. නඩු විභාග අවසානයේ දඩුවම් නියම වෙයි. පැමිණිල්ල හා විත්තිය කරුණු ගොනුකර ඒවා විභාග කරන්නට කාලයක් ගතවෙයි. මූලික සාක්ෂි අවසන්වන තෙක් සැකකරුවන් ද රක්ෂිත බන්ධනාගාරගත කරයි. සිරකරුවන් හා සැකකරුවන් දෙකොට්ටාශයම එකම තැනෙකය. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෝ අත් අඩංගුවට ගෙන රදවන්නේ ද බන්ධනාගාරයේ මය. ධනය හා බලය ඇති මැර කල්ලි ද ඒ අතරය. එවිට ප‍්‍රශ්නය සංකීර්ණ එකකි. බන්ධනාගාර ගතවන ඕනෑම අයෙකු එයින් නික්මෙන්නේ මානසික ව්‍යාධියකට ගොදුරුවූවකු ලෙසය. මේක‍්‍රමය වෙනස්කළ හැක්කේ කෙසේද?

අලූත් බන්ධනාගාර ඉදිකරන්නට හැකිය. ආරක්ෂාවට නිලධාරීන් වැඩි කළ හැකිය. සමාජයට වැරදි කළ පුද්ගලයෙකු රදවන්නට වැය කරන මුදල එයින් ඉහළ යනු ඇති අතර වන්දිය ගෙවන්නේ සමස්ථ සමාජයයි. සුළු වැරදි කර ලිහිල් දඩුවම් ලබන අය වෙන් කර ඔවුන් සමාජයට ප‍්‍රයෝජනයක් ඇති යමක යෙදවීම සුදුසුය. තදින් නිතිය ක‍්‍රියාත්මක කරන අතර යුක්තිය ඉක්මනින්න පසිදලිය යුතුය. චරිත ශෝධනයක් වන්නේ එවිටය. බන්ධනාගාරය වැරදි අවබෝධකර දී නිවැරදි මගට පත්කරන තැනක් විනා වෛරක්කාරයක් බිහි නොකිරිම වගකීමකි.