» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
31/12/2017 - ඉරිදා ලංකාදීප
නැවුම් අදහස් ගැන අලූතින් හිතන්නට අවස්ථාව

අලූත් අවුරුද්දක් උදා වී තිබේ. පසු කරන ලද වසරක කාලය තුළ ජීවත් වූ රාමුව තුළින් ලබාගත් අත්දැකීම් අනාගතය වෙනුවෙන් උපයෝගී කරගැනීම සුදුසුය. මෑත කාලයේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන ලද වැදගත් තොරතුරක් සැලකිල්ලට ගත යුතුය. නවසීලන්තය දියර කිරි චීනයට අපනයනය කිරීම ආරම්භ කර තිබේ. බි‍්‍රතාන්‍ය සමාගමක් ද සිය නැවුම් කිරි චීන වෙළඳ පොලට සැපයීම ආරම්භ කර ඇත. තොග වශයෙන් කිරි පිටි මිල දී ගැනීම වෙනුවට දියර කිරි භාවිතා කරන්නට ජාත්‍යන්තරය තුළ ප‍්‍රවණතාවයක් තිබේ.

ශ‍්‍රී ලංකාවේ පාරිභෝගක ජනතාව ද දියර කිරි කිසියම් ප‍්‍රතිශතයකින් භාවිතා කරන නමුත් විශාල ආනයනික සහ දේශීයව නිපදවන කිරි පිටි පානයට විශාල වශයෙන් හුරු වී ඇත. එය මෙරට විනිමය වියදම් වන තත්ත්වයකි. රට තුළ දියර වශයෙන් කිරි මිල දී ගැනීම සම්බන්ධව සීමා තිබේ. එකක් ආකල්ප ප‍්‍රශ්නයකි. හුරුවී ඇති ක‍්‍රමයෙන් වෙනස්වීම අපහසුය. අනෙක දියර කිරි සැපයුම ප‍්‍රමාණවත් නැති අතර ඒවායේ මිල සම්බන්ධ ප‍්‍රශ්නයකි. නිෂ්පාදනය වැඩි දියුණු කර පෝෂ්‍යදායක දියර කිරි භාවිතයට නැඹුරුවීම සුදුසුය.

නවසීලන්තයේ ප‍්‍රකට කිරි නිෂ්පාදන සමාගමක් නැවුම් කිරි චීනයට අපනයනය සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. ලීටර් විසි දහසක් 2017 වසරේ අපනයනය කර තිබේ. 2018 වසරේ දී එය ලීටර් අසූ දහස ඉක්මවනු ඇතයි සැලකේ. සම්ප‍්‍රදායික අපනයන මාර්ග වෙනුවට අන්තර් ජාලය මගින් ගනුදෙනුකරුවන්ට කෙලින්ම විකුණන ක‍්‍රමවේදය භාවිතා කෙරෙයි. ලෝක ප‍්‍රකට අලිබාබා අන්තර්ජාල වෙළඳාම එයට හවුල් වී ඇත. අලිබාබා සමාගම පළමුවතාවට නැවුම් ආහාර පාන පාරිභෝගිකයන්ට සපයන වෙළඳාම අරඹන්නේ ද මෙම නැවුම් කිරි චීනයට යවන ව්‍යාපාරය සමගය. නවසීලන්තයේ කිරි දින තුනක් හෝ හතරක් ඇතුලත චීනයේ පාරිභෝගිකයන් අතට පත් වෙයි. කම්හලක එකතුවන කිරි එහි ජල සාන්ද්‍රණය සම්පුර්ණයෙන් ඉවත් කර, මේදය කොටස් ද අඩු කර පැකට් කරන ලද කිරි පිටි නැව් මගින් ප‍්‍රවාහනයට පසු වෙළඳ සැලකින් මිල දී ගන්නා විට නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සම්බන්ධය මාස හත අටක් විය හැකිය.

චීනයට දියර කිරි ඔස්ටේ‍්‍රලියාවෙන් මිල දී ගෙන ගුවනින් ගෙන්වන්නට සියළු කටයුතු සූදානම් බව ද චයිනා ඬේලි පුවත් පත නොබෝදා වාර්තා කර තිබිණ. කෙලින්ම ගොවියන්ගෙන් එකතු කරගත් දියර කිරි බෝතල් වල අසුරා චීනයට යැවෙනු ඇත. මේ අතර බී.බී.සී. ප‍්‍රවෘත්ති සේවාව තවත් වැදගත් තොරතුරක් හෙළි කරයි. බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් හා ලිවර්ෆුල් අතර පිහිටි චෙෂර් ගම්මානයේ ගොවියන් නිපදවන කිරි කෙලින්ම මැදපෙරදිග රටවල් වලට අපනයනය කිරීම ආරම්භ කර ඇත. දියර කිරි අපනයනය කරන්නට ලැබීම ගැන එම ගම්මානයේ කිරි ගොවියන් ඉමහත් සතුටට පත්ව තිබේ.

ප‍්‍රවාහන හෝ අළෙවි අපහසුතා සලකා බලා ආහාර කල්තබා ගැනීමට නොයෙක් ක‍්‍රම භාවිතා කරන ලද යුගය අවසන්ය. පාරිභෝගිකයාට නැවුම් ආහාරපාන කෙලින්ම නිෂ්පාදකයන්ගෙන් ඇනවුම් කිරීමේ අවස්ථාව ලැබී ඇත. එය තාක්ෂණය දියුණුවේ එක පැත්තකි. මෙම වාසිදායක තාක්ෂණික වාසි සමාජයේ සියළු දෙනාට ලබා ගැනීම අවස්ථාව ඇතැයි කල්පනා කළ නොහැකිය. ආර්ථික සහ සමාජයීය බාධා තිබේ. නමුත් කිරි නිෂ්පාදනය පමණක් සලකා බලන විට දියර කිරි නිෂ්පාදනය සහ භාවිතාව සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් ලෝකය පුරා සිදුවී තිබේ. එය සම්ප‍්‍රදායික ක‍්‍රම වලින් මිදී අලූත් යුගයකට අවතීර්ණ වී ඇත. සත්ව පාලනය තාක්ෂණය සම්බන්ධ වීම විශේෂත්වයකි. ශ‍්‍රමය අඩුවෙන් භාවිතා කරන සහ නිෂ්පාදනය වැඩි කිරීම අරමුණු කරගෙන දෙනුන් පෝෂණය කිරීමට නව උපදේශන සේවා භාවිතා කරන තත්ත්වයකට පත්ව තිබේ.

නවසීලන්තයෙන් වාර්තාවන තොරතුරකට කිරි දෙනුන් එක් දහස් තුන්සියයක් රැකබලා ගන්නේ ගොවියන් හතර දෙනෙකි. ඒවා ඉතා නවීන සත්ව ගොවිපොල බවට පත්ව ඇත. සතුන් ආරක්ෂා කිරිම, දෛනික වාර්තා පවත්වාගැනීම සහ ආහාර සැපයීම පරිගණක දත්ත පදනම් කරගෙන සිදු කෙරේ. කිරි ලබා ගැනීමට ද භාවිතා කරන්නේ ඉතාම දියුණු තාක්ෂණය බව ප‍්‍රකාශ වෙයි. නිසි පෝෂණය සහ අවශ්‍ය කරන පරිසර සෙවන සහිතව වැඩෙන දෙනුන් කිරි බරින් පෙලෙන අවස්ථාවේ දී කෙලින්ම කිරි දොවන යන්ත‍්‍ර වෙත පැමිණෙන තරමට කිරි ගොවි පාලනය දියුණු කර තිබේ. දෙනුන්ට සපයන ආහාර වේල ඉතා සුදුසු, පෝෂණයෙන් යුතු එකක් බවට විද්‍යානුකූලව තහවුරු කරන සොයාගැනීම් කර ඇත. නූතන තාක්ෂණික පහසුකම් සහිත ගව ගාල් ඇති කරන්නට අවශ්‍ය මග පෙන්වීම සත්ව පාලනයෙහි නිරත අයට ලැබෙන බව අනාවරණය වන තවත් කාරණයකි. පසුගිය වසර කිහිපය තුළ නවසීලන්තයේ සත්ව පාලනය කුඩා ගොවියන් අතට පත්ව ඇති අතර ඉකුත් වසරේ නවසීලන්තය කිරි නිෂ්පාදන අපනයනයෙන් උපයා ගත් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12.4 කි. නවසීලන්තයේ නිපදවන කිරි වලින් සියයට අනූපහක්ම ලෝකයේ වෙනත් රටවලට අපනයනය කරන බව දැක්වෙයි.

ශ‍්‍රී ලංකාවේ සත්ව පාලනය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් කර තිබේ. විශ්ව විද්‍යාල හා කෘෂි අංශ මගින් නොයෙක් අනාවරණ කර ඇත. ඒවායෙන් හෙළිදරව් කරන පැති රට තුළකිරි නිෂ්පාදනය වැඩිකිරීමට හේතු විය හැකිය. ඒවා භාවිතා කරන්නේ නැත.

වෙළඳ පොළ හැසිරීම සහ අඩු මිලට කිරි පිටි සපයන රජයේ ප‍්‍රතිපත්ති මෙරට කිරි දෙනුන් ඇතිකිරීමට ගොවියන්ට ඇති උනන්දුව සීමා කරන එක ප‍්‍රධාන සාධකයක් වී තිබේ. ලෝකයේ නොයක් රටවල් වලින් කිරි පිටි අඩුම මිලට ගෙනැවිත් සහනාධාර ක‍්‍රම අනුව ජනතාවට ලැබෙන විට දියර කිරි වලට නැඹුරු වෙන්නේ නැත. ලෝක වෙළද පොලේ කිරි පිටි මිල වැඩි වන විට බදු අඩු කර වහාම ජනතාවට සහන සලන්නට ආණ්ඩුව තීරණය කරයි. එම සහන ලෝකයේ වෙනත් රටක කිරි පිටි නිෂ්පාදන සමාගමකට ලැබෙන වාසියක් බව අවධානයට ගන්නේ නැත. කිරි පිටි මිල පාලනයට පියවර ගන්නා නමුත් මෙරට නාගරික ජනතාව පරිභෝජනය කරන වතුර ලීටරයක මිල හා කිරි ලීටරයක මිල අතර වැඩි වෙනසක් නැති තරම්ය.

සත්ව පාලනය සම්ප‍්‍රදායික ක‍්‍රමයෙන් වෙනස් කළ යුතුව තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මග පෙන්වීම නූතන ව්‍යුහයට අනුකූල විය යුතුව තිබේ. කිරි ගව පාලනය සම්බන්ධව අවශ්‍ය වන ගවගාල්, අධි ශීතකරන පද්ධති, ප‍්‍රවාහනය වැනි යටිතල පහසුකම් දියුණු කිරීම ගැන අවධානය යොමු කළ යුතුය. ප‍්‍රතිපත්ති සම්පාදනය හා ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම ඉතාම වැදගත්ය. කිරිපිටි වලට සහනාධාර සපයමින් දේශීය කිරි ගොවියා නගා සිටුවිය නොහැක. සහනාධාර ජනතාවට බව බැලූ බැල්මට පෙනෙන නමුත් ලෝකයේ මිල වැඩි දෙයක් මිල අඩු කරන්නට ගන්නා උපාය මාර්ගයක වාසිය ලැබෙන්නේ කිරි පිටි විකුණන සමාගම් වලටය. පොදු ජනතාවට පෝෂ්‍ය ගුණයෙන් පිරි නැවුම් කිරි පානය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග ගැන අවධානය යොමු කිරීම සුදුසුය. රට තුළ කිරි ගොවි ජනතාව ශක්තිමත් කරන අතර තාවකාලිකව දියර කිරි ආනයනයට අවකාශ සැලසීම සුදුසුය. කිරි වලින් කරන අතුරු නිෂ්පාදන එනම් යෝගට්, චීස්, එළඟිතෙල් වැනි ආහාර පරිභෝජනය නැංවීම අවශ්‍යය. දරුවන්ට හා වැඩිහිටියන්ට යෝගට් ඉතා සුදුසු බව වෛද්‍ය නිර්දේශයයි. අලූත් අවුරුද්දක් උදා වන විට අලූත් ආකල්ප සහ අලූතින් වෙනස්වන පැති ගැන අවධානය යොමු කිරීම සියළු දෙනාගේම වගකීමකි. ඇබ්බැහි වලින් මිදෙන්නට අවශ්‍යය. ශ‍්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ගැන අලූත් රාමුවකින් හිතන්නට කාලය උදා වී තිබේ.