» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/12/2018 - ඉරිදා ලංකාදීප
පුරවැසි සංවාද සැසිවාර වල දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රවනතා අවධානයට

ආණ්ඩුවේ ගමන අලූතින් පටන් ගැනීම පොදු ජනතාවගේ තෘප්තියට හේතු වී තිබේද? ජනතා මතය සාකච්ඡා කරන්නට අවශ්‍යය. මාස දෙකකට ආසන්න කාලයක් රට තුළ දේශපාලන හා ව්‍යවස්ථා අර්බුදයක් පැවැතිණ. එය එක්තරා අවසානයක් කරා පැමිණ තිබේ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර දෝලනය වී තිබුණ ජනතා පරමාධිපත්‍ය අවසානයේ දී යම් සන්සුන් භාවයක් පෙන්වයි. මෙම අවසානය සමග මතු වූ නිහඞ භාවය තුළ පවතින ගුප්ත ස්වභාවය තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය නොයෙක් රටවල අර්බුදයකට ලක් ව තිබේ. විෂයෙන් බටහිර රටවල එය බලවත්ව නැගී ඇත. ජනතා ඡන්දයෙන් පත් කරන මහා පිලිගැනීමක් ඇති නායකයෝ මාස හය හතක් ඇවෑමෙන් විශාල පිරිහීමකය. ඇමරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍ය මෙවැනි ගැටළුවලට මුහුණ දී ඇති රටවල්ය. ජනතාව මහ ඉහළින් පත් කළ නායකයන් ගේ ක‍්‍රියාකාරීත්වයට අභියෝග කරමින් ජනී ජනයා පාරට බැස විරෝධතා ඇති කරන තත්ත්වයක් උද්ගත වී තිබේ. එම රටවල් තුළ නොසන්සුන් තත්ත්ව ඇති කර ඇත.

ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පසුගිය අවුරුද්දේ බලයට පත්වන අවස්ථාවේ දී සමාජය ගොඩනගන ප‍්‍රතිසංස්කරණ ගැන කියා සිටියේය. බලය ලබාගත් ජනාධිපතිවරයා ඔහුගේ ප‍්‍රතිපත්ති වලට අනුව ක‍්‍රියාත්මක වන විට ජනී ජනයා පාරට බැස විරෝධය පළ කරමින් සහන අවශ්‍ය යැයි අවධාරණය කරයි. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වන යෝජනාව සමග අගමැතිනි තෙරේසා මේ, අර්බුදයකය. ඇමරිකාවේ ආර්ථිකය එක දිගට නොසන්සුන් වී තිබේ. මේවාට හේතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැති තත්ත්වය අලූත් ව්‍යුහයකට යොමුවීම නිසා බව විද්‍යාර්ථීහු කල්පනා කරති. සාමය සමාදානය ඇති කර, රටවල් සංවර්ධනය කරන වැඩ පිලිවෙල අභියෝගයට ලක්වන විට එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට තර්ජනයකි. කලකෝලාහාල, කැරළි හා වීදි සටන් වලින් පැවැත්ම යහපත් වෙන්නේ නැත. ජනතාව තුළ ඇවිලෙන අදහස් වලට උත්තර ලැබෙන්නේ කොතැනින්ද? ලෝකයේ අලූත් අදහස් ඇති බුද්ධිමතුන් මෙම නව ප‍්‍රවනතාවන්ට උත්තර සොයන්නට යෝජනා ගෙනැවිත් තිබේ.

නොබෝදා ‘‘ද ගාඩියන්’’ පුවත්පත විශේෂ තොරතුරක් අනාවරණය කළේය. දේශපාලනඥයන් එදිනෙදා බරපතල තත්ත්ව වල දී ක‍්‍රියාකරගත නොහැකිවන විට එයට මුහුණදීම සඳහා ජනතා සංවාද ක‍්‍රමයක් යෝජනා කර ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ලෝකයේ දැනට පවතින සාධාරණ පාලන ක‍්‍රමය බව පිලිගැනේ. නමුත් එය එකම පාලන ව්‍යුහය නොවේ. ජනතා සිතුම් පැතුම්, විශේෂයෙන් නවීන සමාජ මාධ්‍ය ප‍්‍රවාහයේ හැසිරීම අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම ගැන විවිධ අභියෝග හටගෙන තිබේ. අලූත් අදහස් ඇතිව පාලනයට එන පාලන කණ්ඩායම් වලට දර්ශනයකට අනුව රට මෙහෙයවීමට එයින් බාධා ඇති වෙයි. පාර්ලිමේන්තුවේ දී බහුතරයකට එක මතයකට පැමිණිය නොහැකි වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද? පාර්ලිමේන්තුව වැනි ජනතා නියෝජිත පාලන ක‍්‍රමය තුළ අනුමැතිය ඇතිව ක‍්‍රියා කරන යෝජනාවකට බාහිර සමාජයේ දී ඇති වන විශාල විරෝධයක් හමුවේ ගත යුතු පියවර අනුමාන කළ හැකිද? අලූත් අදහස අනුව තීරණාත්මක අවස්ථාවක දී ජනතාව හමුවට යා යුතුය. ජන කණ්ඩායම් එකතු වී සාකච්ඡා කරන්නට අවශ්‍යය. එම සාකච්ඡා වල දී අලූතින් එකතුවන අදහස් පාලකයන්ට යොමු කළ යුතු අතර ජනතාව තුළින් විසදුමක් ලබා ගැනීමට එය ඉවහල් කරගත හැකිය.

අයර්ලන්තය, කොලොම්බියාව, අයිස්ලන්තය වැනි රටවල සහ බි‍්‍රතාන්‍යයේ ජාතික හා ප‍්‍රාන්ත මට්ටමින් පුරවැසි සංවාද සංකල්පය, අත්හදා බලා ඇති බව අනාවරණය වෙයි. එය භාවිතා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නට උපකාරවන මෙවලමක් වශයෙනි. යම් අවස්ථාවක, එක ක‍්‍රමයක් අසාර්ථක වන විට තාවකාලිකව මෙවැනි සැපයුමකට බලය පවරා එයින් ලැබෙන විකල්ප ශක්තිය ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් ප‍්‍රයෝජනයට ගැනීමක් වශයෙනි. පුරවැසි සංවාද ක‍්‍රමය මගින් සම්ප‍්‍රදායික දේශපාලනයේ පැවැත්මට යම් යුක්ති සහගත පිටිවහලක් ලැබී තිබේ. වැදගත් කාරණය එයයි.

මෙකී පුරවැසි සංසදයේ ප‍්‍රධාන තැනක් උසුලන්නේ ජනතාවයි. දේශපාලනඥයෝ නොවෙති. ජනතාව කතා කරන අතර අනෙක් පාර්ශවයේ අදහස් වලට සවන් දෙති. මෙහි දී අනෙකා ගේ අදහස් වලට ගරු කරන අතර හෙලා දැකීම හෝ වෛරී විවේචන කරන්නට අවස්ථාව නැත. ඝෝෂා නගා බාධා නොකෙරේ. සාමාන්‍යයෙන් පන්සියයක් පමණ සහභාගී වන අතර යම් කිසි නිශ්චිත කාරණයක් ගැන පුල්ලූ කරුණු සාකච්ඡාවක් සිදුවෙයි. පුරවැසි සංවාද වලින් අපේක්ෂා කරන වැදගත් කාරණා තිබේ. ජනතාව තුළ යම් ප‍්‍රශ්නයක් ගැන අවබෝධය වැඩි වෙයි. විවිධ පැති වලින් හිතන්නට හුරුවෙයි. අන්තවාදී ආකාරයකට හැසිරෙන්නේ නැත. මෙම සංවාද වලදී මතු වෙන වැදගත් අදහස් මහජන නියෝජිතයන්ට ද ඉදිරිපත් කරයි. ආණ්ඩුවේ යෝජනා වල අඩු පාඩු සකස් කරගැනීමට ජනතාවගෙන් මතයක් ලැබේ. එය විශේෂ අවකාශයකි.

පුරවැසි සංවාද වලට ජනතාව එකතු වන්නේ විශේෂ තෝරාගැනීමකින් නොවේ. සාමාන්‍ය පිරිස අතරින්ය. මහජන නියෝජිතයන් විශාල වගකීම් සහගත කාර්යයක් ඉටු කරන අතර එයට හරස් කපන්නට මෙම සංවාද සූදානම් නැත.පුරවැසි සංවාද නියෝජිතයෝ මහජන මන්තී‍්‍රවරු නොවන බව ඔවුහු වටහා ගෙන තිබේ. එය අනෙක් වැදගත්ම කාරණයයි. පාර්ලිමේන්තුවට යන අපේක්ෂාවක් නැතත්, පොදු ප‍්‍රශ්න වල දී වගකීමක් ඇති ව ක‍්‍රියාකරන්නට පුරවැසියන්ට අයිතියක් ඇති බව මෙම සංවාද වලට සහභාගී වන පිරිසට අවබෝධයක් ඇත. ස්වකීය මතය ඉදිරිපත් කර හරිවැරුද්ද තෝරා ගැනීමට තරම් පරිනත සමාජ ව්‍යුහයක් ගොඩනගා ගැනීම පුරවැසි සංවාද වල අරමුණයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද එපමණ පිලිවෙලක් නැති තැනකි. ව්‍යවස්ථා වෙනස්කරන්නට යෝජනා කරයි. වසර හැත්තෑවකට පසු නැවතත් අලූතින් හිතන්නට බල කරන ප‍්‍රවේශයකට ළඟා වී තිබේ. සමාජය තුළ දේශපාලන ක‍්‍රමය ගැන ප‍්‍රශ්න ඇත. දේශපාලනඥයන්ගේ හැසිරීම හා ප‍්‍රතිපත්ති ගැන විශාල විරෝධයක් ඇත. ජනතාවට ඇති එදිනෙදා දැවෙන ගැටළු වලට පවතින ක‍්‍රමය උත්තරයක් දෙන්නේ නැති බව පොදු ජනතාව තුළ ඇති විශ්වාසයකි. ඒවා ආපසු සාකච්ඡා කිරීම අවශ්‍යය. පටු පරමාර්ථ නැති ජන කොටස් එකතු වී පුරවැසි සංවාද ක‍්‍රමයක් ගොඩනගා ගැනීම උචිතය. අනාගතයේ දී දේශපාලනයට ඇතුළු වන අරමුණු ඇති පිරිස මෙහි දී ඉදිරියට එන්නට බැරි නැත. අවංකව ප‍්‍රශ්නයක් දෙස බලන්නට ඇති නොහැකියාව අපගේ සමාජයේ ඇති ප‍්‍රශ්නයකි. යම් අදහසක් මතුකරන අවස්ථාවේ අදහස ගැන සාවධාන නොවන ඇතැම් පිරිස් බලන්නේ මෙම අදහස් වල ගැබ්ව ඇති දේශපාලන වර්ණය ගැනය. එය නුදුසුදුය. සාධාරණ සමාජ ක‍්‍රමයක් ගොඩනගන්නට ඉතිරිව ඇති බැරෑරුම් අවස්ථාවේදී අලූත් ප‍්‍රමිති සහිතව සංවිධාන ගතවීම සුදුසුය. ලෝකයේ නොයෙක් තැන් වල පුරවැසි සංවාද ක‍්‍රමය හැදී තිබේ. එයින් ලැබෙන වාසිය ගැන නොව රටට අත්පත් වන අවස්ථාව ගැන කල්පනා කිරීම සදුසුය. කිසිම දේශපාලනයක් නැති ජන කොටස් එකතු වී පුරවැසි සංවාදය ඉදිරියට ගෙනයෑමට ප‍්‍රයත්නයක් දැරීම සුදුසුය.