» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/09/2018 - ඉරිදා ලංකාදීප
අපනයන අවස්ථා ගැන අලූතින් හිතන්නට අවශ්‍යයි

ඉන්දුනීසියාවේ තරමක් දුර බැහැර ප‍්‍රදේශයක තරුණයෙකු සුරතල් මසුන් ඇතිකිරීමේ ව්‍යවසායයක් පවත්වාගෙන යයි. කෘතීම ජලාශයක ඉතාම හොඳ පරිසර පද්ධතියක තෝරා ගත් මත්ස්‍ය විශේෂ ඇති කරයි. ‘‘ද ඉකොනොමිස්ට් සඟරාව’ දක්වන අන්දමට මෙම තරුණයාගේ දෙමව්පියෝ රජයේ සේවකයෝය. ශ‍්‍රී ලංකාවේ දී සාමාන්‍යයෙන් සිදුවන අන්දමට රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවකට දරුවා යොමු කරන්නට ඉන්දුනීසියානු දෙමව්පියන් තීරණය නොකළේ මන්ද යන්න අනවශ්‍ය කාරණයකි. නමුත් මෙම තරුණයා බෝ කරන ඇරවානා නොඑසේනම් හොඳින් වැඩුණු ඩ‍්‍රැගන් ෆිෂ් මාළුවෙකු අලෙවියෙන් උපයන මුදල ඉන්දුනීසියානු රුපියල් මිලියන හතරකි. ඉන්දුනීසියාවේ මුදල් අගය ඉතාම පිරිහී ඇති අතර එය ඇමරිකානු ඩොලර් වලට හැරවුවහොත් ඩොලර් 268 කි. එය සාමාන්‍ය රජයේ සේවකයෙකු ගේ මාසික වැටුප හා සමානය. එක සුරතල් මාළුවෙකුගෙන් එපමණ ආදායමක් ඉපැයීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ කෙසේද? තෝරා ගත් විශේෂ සඳහා ඇති ඉහළ ඉල්ලූම හා ලෝකයේ ධනවත් රටවල මසුන් ඇති කරන්නන් වෙත සැපයීමට පියවර ගැනීම හෙයින් බව සඳහන් කළ යුතුය.

ඇරවානා මාලූවා අග්නිදිග ආසියානු රටවල ධනවත් පවුල් ඇති කරන සුරතල් මාළුවෙකි. වර්ගය හා ප‍්‍රමාණය අනුව මාලූවා මිල කෙරේ. සිංගප්පූරුවේ දී මෙම මාලූවෙකු සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 300 ක් පමණ වන අතර මාළු බෝ කර හොදින් රැකබලා ගන්නා පොකුණුකරුවන්ගෙන් ආනයනය කරන අතර පරෙස්සමෙන් ඇති කළ යුතු මෙම මාළු විශේෂය ඇති කරන්නෝ එයින් වාසනාව ළඟා කරන බවට විශ්වාසයක සිටී. එහෙයින් දුර්ලභ වර්ණ සහිත හොඳට වැඩුණු එක මාළුවෙකු ඩොලර් 7000 ඉක්මවන බව ද ඉකොනොමිස්ට් සඟරාව වාර්තා කරයි. ඉතා දුර්ලභ ගණයේ මාළු ප‍්‍රදර්ශනය කරන අතර සිංගප්පූරුවේ දී ඇරවානා මාළු ප්ලාස්ට්ක් සැත්කම් වලට ලක් කරන අතර එයින් ඇස් වල වර්ණය වෙනස් කර විශාල ආදායම් උපයන වග අනාවරණය වෙයි. මාළුවන් ගේ ප්ලාස්ට්ක් සැත්කම් විශාල ධනෝපායන මාර්ගයක් වී තිබේ.

සුරතල් මසුන් ඇති කිරීම ලෝකයේ පැරණිම විනෝදාංශ අතරින් එකක් සේ සැලකේ. වර්තමාන තාක්ෂණික යුගයේ දී පවා සුරතල් මසුන් ඇති කිරීම කැපී පෙනෙන විනෝදාංශයකි. එය මසුන් බෝ කර වෙළඳ පොලට සපයන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවනෝපාය වී ඇත. වාර්තා පෙන්වන අන්දමට ලෝකයේ සුරතල් මසුන් බෝ කර අලෙවි කරන ව්‍යාපාරයෙහි වැඩි ආදායම් උපයන්නේ සිංගප්පූරුවයි. ජපානය, තායිලන්තය, සහ මැලේසියාව එහි පළමු රටවල් අතර සිටී. මසුන් ඇතිකිරීම විනෝදාංශයක් වශයෙන් කරන පිරිස ලඟ තබා ගන්නා බහුල මසුන් විශේෂ තුන්දහසක් පමණ වන බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ඇරවානා ආසියානු කලාපයේ ආකර්ශනය දිනාගත් මත්ස්‍යයෙකි.

ශ‍්‍රී ලංකාව ලෝකයේ සුරතල් මසුන් අපනයනය කරන රටවල් අතර ප‍්‍රධාන තැනක නැත. ලෝකයේ පවතින ඉල්ලූමෙන් සියයට තුනක පමණ ප‍්‍රතිශතයක සුරතල් මසුන් සපයන්නට ශ‍්‍රී ලාංකික වගාකරුවෝ සමත්ව ඇත. වැඩිම ප‍්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමරිකාව, ජපානය හා යුරෝපා රටවලට බව මෙරට තොරතුරු අනාවරණය කරයි. එමගින් උපයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන හාරසියයක් පමණ වන බව වැඩිදුරටත් දැක්වෙයි. මෙරටින් යැවෙන්නේ සුලබ සුරතල් මත්ස්‍ය විශේෂ බව සඳහන්ය. සියයට හැටක් හෝ හැත්තෑවක් වර්ණවත් ගප්පි විශේෂ වන අතර අපනයනයෙහි නිරත සුරතල් මසුන් ඇති කරන ව්‍යවසායකයන් ප‍්‍රමාණය හතලිහක් පමණ වෙති.

පොලොන්නරුවේ මසුන් ඇතිකරන ගොවිපොලක් පවත්වාගෙන යන ඞී. එම් විමලසිරි මහතා ශ‍්‍රී ලංකාවේ දී ඇරවානා මාලූවා සාර්ථක සේ බෝකරගෙන ඇති බව පසුගිය කාලයේ දී මාධ්‍ය වාර්තා කළේය. දේශීය වෙළඳ පොලේ දී පවා මාලූවාගේ නිරෝගී බව ප‍්‍රමාණය හා පැහැය අනුව රුපියල් පන් දහසක සිට පනස් දහස දක්වා මිල කළ හැකියැයි ප‍්‍රකාශ වෙයි. අලූතින් හිතන්නට හැකි තරුණන් මෙවැනි අවස්ථා ගැන වැඩි අවධානයක් යොමු නොකරන්නේ ඇයි?

සම්ප‍්‍රදායික අපනයන අංශ වලට අමතරව අලූත් දේ සොයා යන ලාංකික අපනයනකරුවන්ගේ සේවය රටට ඉතාම වැදගත්ය. ඔවුහු රටට ඉතාම අවශ්‍ය විනිමය උපයා දෙති. පසුගිය සති කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය සැහෙන අවප‍්‍රමාණයවීමක් වාර්තා කළේය. අපනයන ආදායම ඉක්මවා ආනයන ඉහළ ගොස් ඇති අතර අපනයනය සඳහා මෙරටින් අලූත් දේ සොයා අලූත් වෙළඳ පොල කරා අවතීර්ණ වුවහොත් රටට විශාල සහනයක් බව සඳහන් කළ යුතුය.

මැදි ආදායම් රටක් වශයෙන් දියුණු වන විට ජනතාවගේ අවශ්‍යතා විවිධාකාරය. පුද්ගලික පරිහරණයට අවශ්‍ය දේ ආනයන වර්ග වලින් ලබා ගැනීමට ජනතාව නැඹුරු වෙති. ආනයන සීමා කරන යෝජනාවකට කිසිම පුද්ගලයෙකු කැමැති නැත. තමන් කැමැති දේ මිල දී ගන්නට කැමැති සමාජයක් තවදුරටත් පවත්වාගෙනයාමේ දී විදේශ විනිමය ගැන සැලකිල්ලක් යොමු කළ යුතුය. සම්ප‍්‍රදායිකව පැවැති තේ, රබර් පොල් යන විනිමට උපයන ක්ෂේත‍්‍ර තවදුරටත් වලංගු නැත. ශ‍්‍රී ලංකාවේ විනිමය උපයන ක්ෂේත‍්‍ර අතර පළමු තැන විදේශගත ශ‍්‍රී ලාංකිකයන් එවන ධනයට ලැබී ඇත. ඇඟළුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායම දෙවැනි තැනට පත්ව තිබේ. සංචාරක ව්‍යාපාරය හා තේ අපනයන ආදායම යන අංශ දෙක තෙවැනි තැන සදහා තරග කරමින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය. ලෝකයේ පවතින නැඹුරුව දෙස බලන විට අපනයන අංශ විවිධාංගීකරණය විය යුතුය. අලූතින් අපනයනය කළ හැකි දේ සොයා ඒවා කෙරෙහි නැඹුරුවීමට නව පරපුර වගබලා ගැනීම වැදගත්ය.

ශ‍්‍රී ලංකාවේ පවතින දේශගුණය, පිරිසිදු ජලය හා දක්ෂ මානව සම්පත මනාව හැසිරවුවහොත් ඉන්දුනීසියාවේ තරුණයෙකු ගේ අත්දැකීම අභිබවා යන්නට හැකියාවක් තිබේ. අවශ්‍ය මග පෙන්වීම, යටිතල පහසුකම් හා නිසි පුහුණුව ගැන අවධානය යොමු කළ යුතුය. මසුන් ඇති කිරීමේ ක්ෂේත‍්‍රය ඉතා දියුණුවට පත්ව ඇති අතර නව ප‍්‍රබේධ හා බෝ කරන අලූත් තාක්ෂණ ආකාර වැඩි දියුණු වී තිබේ. සිංගප්පූරුව ඇරවානා මාළුවන් ප්ලාස්ටික් සැත්කම් කරන තැනට පත්වීම එහි අවධානය යොමු කළ හැකි එක පැත්තකි. ශ‍්‍රී ලංකාවේ අලූත් අදහස් ඇති තරුණන් ට අපනයනය අරමුණු කරගත් මසුන් ඇති කිරීම වැනි නොයෙක් ක්ෂේත‍්‍ර හදුනාගෙන ඒවා සංවර්ධනය කරන වැඩ පිලිවෙලක් ආරම්භ කළ යුතුය. ආණ්ඩුව මෙවැනි ප‍්‍රයත්න සඳහා සැලසුම් සකස් කර අවශ්‍ය සම්පත් ලබා දෙන තෙක් නිහඩව සිටීම සුදුසු නැත. රජයේ රැකියා ඉල්ලමින් සිටින කාලය තුළ ලෝකයේ සිදුවන පරිවර්තන ගැන අවධානය යොමු කිරීම සුදුසුය. ඉන්දුනීසියාවේ තරුණයා කෙරෙහි ද ඉකොනොමිස්ට් සඟරාව කතා කරන්නේ ඇයි? ඔහු දෙමව්පියන්ගේ රජයේ රැකියාව ගැන තිබුණ විශාල ප‍්‍රතිරූපය පැත්තකින් තබා බලාපොරොත්තු නොවන තීරණයක් ගෙන තිබේ. එය ජාත්‍යන්තර සමාජයට විවෘතවීම සඳහා මෙරට ව්‍යවසායකයන්ට කරන බලපෑමක් විය යුතුය.