» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/07/2017 - ඉරිදා ලංකාදීප
වෙනිසියුලාවේ විකල්ප ජනමත විචාරණයෙහි ප‍්‍රතිඵලය

වෙනිසියුලාවේ දේශපාලන අරගල ඉතාම තියුණු මුහුණුවරක් ගෙන තිබේ. වෙනිසියුලානු රජය අලූත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරගන්නට සූදානම් වන අතර එරට විරුද්ධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එයට එරෙහිව දැවැන්ත අරගලයක් අරඹා ඇත. හුදෙක් සටන් පාඨ කියමින් පාරට බහින ස්වභාවයට වඩා ඉදිරියට යන වෙනිසියුලාවේ දේශපාලන අරගලකරුවන් පවතින පාලනය අලූත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරන්නට තීන්දු කරන විට එයට එරෙහිව ස්වාධීන ජනමත විචාරණයක් පවත්වා එයින් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්පත් කරගන්නට සමත්ව සිටී. එය ලෝක ප‍්‍රජාවගේ අවධානය දිනාගන්නට සමත්ව ඇත.

වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ගේ අදහස නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කර ගැනීමය. එම මණ්ඩලය තෝරා ගැනීමෙන් පසු අලූත් ව්‍යපස්ථාවක් අනුමත කරගැනීම අපේක්ෂා කරනු ඇතැයි සැලකේ. ගෙවී යන මෙම සතිය වන විට අලූත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් ඡන්දයක් පවත්වන්නට නියමිතව තිබිණ. පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්නට ජනාධිපති නිකොලාස් මදුරෝ ට උවමනා කර ඇත. නමුත් සිවිල් සංවිධාන සහ විරුද්ධ දේශපාලන පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයකට කිසිසේත් කැමත්තක් දක්වන්නේ නැත. ජනාධිපති මදුරෝ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ගන්නා ප‍්‍රයත්නයට විරුද්ධව එරට සිවිල් ජනතාව පසුගිය අප‍්‍රියෙල් මාසයේ සිට තද විරෝධතා ක‍්‍රියා මාර්ග වලට අවතීර්ණ වී සිටී. පුද්ගලයන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර අත් අඩංගුවට පත් ප‍්‍රමාණය තුන්සියය ඉක්මවයි. සෑම නගරයකම පාහේ එයට විරුද්ධ පෙලපාලි සහ සටන් ඇවිලී තිබේ.

දකුණු ඇමරිකාවේ උතුරු ප‍්‍රදේශයේ පිහිටා ඇති වෙනිසියුලාව පෙඩරල් ක‍්‍රමයක් සහිත සමූහාණ්ඩුවකි. එහි ප‍්‍රධානියා ජනාධිපතිවරයාය. පසුගිය සියවසේ දී එරට ඛනිජ තෙල් සම්පත අනාවරණය කරගත් අතර එය සොයා ගැනීමෙන් පසු බොර තෙල් අපනයනය වෙනිසියුලාවේ ප‍්‍රධානම විනිමය උපයන මාර්ගය බවට පත්ව තිබේ. 1995 දී පමණ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීම වෙනිසියුලාවේ ආර්ථිකය බිංදුවට බැස්ස වූ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1996 වසරේ දී එරට උද්ධමනය සියයට සියයකින් ඉහළ ගියේය. විරැුකියා අනුපාතය ද සියයට හැට හයක් බවට පත් වූ බව අනාවරණය වෙයි. 1998 වසරේ දී එරට දළ දේශීය නිෂ්පාදිතය පසුබෑමට ලක්වීම කොතරම් ද යත් එය 1963 වසරේ දී පැවැති මට්ටමට පත් වූ බව සඳහන්ය. එයින් ජනතාව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නේය. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල වැඩි වූ නමුත් එරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම නිසි තත්ත්වයට පත්ව නැති අතර සිවිල් හා දේශපාලන ගැටුම් බහුල වී තිබේ. අද පවතින තත්ත්වයට මුල් වූයේ එයයි. වත්මන් ජනාධිපතිවරයා ආර්ථික කලමණාකරනයට අදක්ෂ බව දක්වන විරුද්ධ පක්ෂ සහ සිවිල් සංවිධාන තව දුරටත් බලයේ ඉන්නට තැත් කිරීමට ඉඩ දිය නොහැකි බව තරයේ ප‍්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත.

ජනාධිපති නිකොලාස් මදුරෝ ජනාධිපතිධුරයට පත්වන්නේ 2013 වසරේ දී ය. කලින් හියුගෝ වාවේස් ගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමැති හා කෙටි කාලයක් උප ජනාධිපති සේ ක‍්‍රියා කරයි. 2000 වසරේ දී ජාතික කවුන්සලයට පත් වූ බව සඳහන් වන අතර වෘත්තීය සටන් නායකයෙකු වන හෙතෙම එයට කලින් වෘත්තියෙන් බස් රියැදුරෙකු බව ද දැක්විය යුතුව ඇත. එක්සත් සමාජවාදී පක්ෂයේ නායකයා වශයෙන් ඡන්දය ඉල්ලන හෙතෙම සියයට පනහකට මදක් වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් නමුත් අද වන විට ජනප‍්‍රියත්වයෙන් පහලට වැටී තිබේ.

ආර්ථික ප‍්‍රශ්න වැඩිවන විට ජනාධිපති මදුරෝ ගේ පාලනයට විරුද්ධව උද්ඝෝෂණ හා වැඩ වර්ජන පැන නැගෙන්නට විය. කරාකස් අගනුවර හා වෙනත් නගර ගණනාවක උද්ඝෝෂකයෝ වීදි බසින්නට පටන් ගත්තේය. භාවිතා කළ නොහැකි ගෘහ භාණ්ඩ හා කැළි කසල දමා පාරවල් අවහිර කරමින් විරෝධතා කරන ලද බව සඳහන්ය. රටවැසියන්ගෙන් සියයට අසූ පහක් මෙම විරෝධතා වලට එකතු වී ඇති බව විරුද්ධ පක්ෂ කියන නමුත් අගනුවර සහ සමහර තැන් වල රාජකාරි සුපුරුදු පරිදි සිදුවන බව වෙනිසියුලාවේ ආණ්ඩුව ප‍්‍රකාශ කර තිබේ.

වෙනිසියාලානු ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අලූත් නියෝජිත මණ්ඩලයක් තෝරා ගැනීමට අවශ්‍ය නමුත් ජනතාව කිසිසේත් එයට කැමැති නැති බව පෙන්වන්නට අනුගමනය කළ පිලිවෙත විශේෂිත එකකි. ආණ්ඩුවෙන් බැහැර සංවිධාන වල මැදිහත්වීමෙන් නිල නොවන ජනමත විචාරණයක් පැවැත්වීම එරට දේශපාලනයේ කැපී පෙනෙන සිද්ධියකි. එපමණක් නොව එය ලෝකයේ වෙනත් රටකින් හෝ වාර්තා වී නැති අලූත් ස්වභාවයකි. විරුද්ධ පක්ෂ හා සිවිල් සංවිධාන එකතු වී එය සංවිධානය කළේය. සාමාන්‍යයෙන් ආණ්ඩුව ජනමත විචාරණ පවත්වන අන්දමට රට පුරා පවත්වන ලද මෙම ඡන්ද විමසීමේ දී ලක්ෂ හැත්තෑවක පිරිසක් ඡන්දය පාවිච්චි කර තිබේ. එය විශේෂ අවස්ථාවකි. මෙම ඡන්ද විමසීමේ දී ඡන්ද පෙට්ටි සිනමා ශාලා, ක‍්‍රිඩාංගන හා වටරවුම් වල තබා තිබුණ කැමැති අය නිදහසේ පැමිණ ඡුන්දය දුන් බව වාර්රා වෙයි.

එරට ලියා පදිංචි ඡුන්දදායකයන්ගේ ගණන ලක්ෂ 195 ක් පමණ වන අතර මෙම නිල නොවන ජනමත විචාරණයේ දී වෙනිසියුලානු ආණ්ඩුවට එරෙහිව ඡුන්දය ප‍්‍රකාශ කරන ලද පිරිස සැලකිය යුතු ප‍්‍රතිශතයකි. එය වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡුන්ද ප‍්‍රමාණයට වඩා අඩු ඉතාම සුළු ප‍්‍රමාණයකින් බව දැක්වෙයි. මෙම නිල නොවන ජනමත විචාරණය නිරීක්ෂණය කරන්නට විදේශීය නියෝජිත පිරිස් පවා සහභාගී වී ඇති අතර විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු බුද්ධිමත් පිරිස් එයට සම්බන්ධ වී ඇත. ඡුන්දය පාචිච්චි කරන ලද අය අතරින් සියයට අනූ අටක් ජනාධිපතිවරයා යෝජනා කරන වෙනස්කම් ප‍්‍රතික්ෂේප කරන අතර 2019 දී ධුර කාලය අවසන්වීමට කලින් ජනාධිපතිවරණයක් අවශ්‍ය බව ද අඟවා තිබේ.

කිසිම නීතියකට අනුකූල නැති මෙවැනි ජනමත විචාරණ බල රහිත බව ජනාධිපති මදුරෝ කියයි. විපක්ෂ මතධාරීන් තමන්ගේ ආණ්ඩුව අල්ලා ගන්නට තැත් කරන බව හෙතෙම චෝදනා කරයි. කෙසේ නමුත් වෙනිසියුලාවේ සිවිල් සංවිධාන හා විරෝධතාකරුවන් කියන දේ තුළ යම් ඇත්තක් ඇති බව මධ්‍යස්ථ මතධාරීන් පිලිගන්නා බව නිරීක්ෂණය කළ හැකිය. ජනමතය එයට හොඳ සාක්ෂියක් සම්පාදනය කර ඇත. ජනමත විචාරණයේ ප‍්‍රතිඵලය පෙන්වන්නේ පොදු ජනතාවගේ මතයයි. එය පදනම් කරගෙන වෙනිසියුලාවට බලපෑම් කරන්නට ජගත් ප‍්‍රජාවට අවස්ථාවක් ලැබී තිබේ. ජනාධිපති අපේක්ෂා කරන වෙනස්කම් අරමුණු කරගෙන පවත්වන්නට යෝජිත මැතිවරණය නතර කරන ලෙස ජගත් ප‍්‍රජාව ද දැනටමත් බලපෑම් කර ඇත. ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ස්පාඤ්ඤය හා කොළොම්බියාව ඒ අතර වන බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වයි.

ජනතා අරගල නැගී විරෝධතා පළ කර සිටින ස්වභාවය වෙනස් වෙමින් තිබේ. ඒවා අවබෝධ කරගත යුතුය. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට සූදානමක් ඇත. පොදු ජනතාව ව්‍යවස්ථාවට පමණක් නොව තවත් නොයෙක් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවට විරුද්ධව අරගල කරමින් සිටී. වෘත්තීය සංවිධාන එකිනකට වෙනස් නොවිසදුන අර්බුද හමුවේ අඛණ්ඩ දැවැන්ත විරෝධතා පවත්වයි. ජනමාධ්‍ය විශේෂයෙන් සමාජ මාධ්‍ය මෙම සිද්ධි වාර්තාකරමින් ඒවා සීමාවකින් තොරව විසුරුවා හරින බව පෙනේ. සුළු සිද්ධි පවා අති විශාල මතයක් ඇතිකරන අන්දමට විහිදෙන විට එයින් පීඩනයට පත් වන්නේ ආණ්ඩුවයි. මෑත කාලය තුළ ආන්දෝලනාත්මක සිද්ධි ඇතිකරන ලද බලපෑම වඩා තියුණු එකක් වූයේ මෙම සන්නිවේදනයේ ව්‍යුහය හෙයින් බව වටහා ගැනීම අවශ්‍යය. ව්‍යවස්ථාව, පුද්ගලීකකරණය හෝ වෙනත් තීරණ සම්බන්ධ නිල අදහස පුලූල්ව රටට පැහැදිලි කරන අවංක ක‍්‍රමවේදයක් අවශ්‍යව ඇති බව පෙනේ. මැති ඇමැතිවරු අභ්‍යන්තරය හෙළි නොකරන ප‍්‍රශ්නයක් පැන නැගුණ විට ඒවා වචන හරඹ වලින් යටපත්කරන ස්වභාවය තුළ සැබෑ ජනමතය පිළිබිඹු වෙන්නේ නැත. මෙරට දේශපාලනය තවමත් සම්ප‍්‍රදාය තුළ පවතින බව පෙනේ. අලූත් පැති වලට ඇතුළු වී නැත. දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් වෙනස් විය යුතු කාලය එළැඹ තිබේ. වෙනිසියුලාවේ සිදුවූ අන්දමට විරෝධතාකරුවන් හා සිවිල් සංවිධාන නැගී සිටිනු වැලැක්වීමට නම් ජනතාව හා ආණ්ඩුව අතර සම්බන්ධය තවත් ශක්තිමත් කරන වැඩ පිලිවෙලක් අවශ්‍යය.