» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/06/2019 - ඉරිදා ලංකාදීප
හැමදෙයක්ම අත ලඟ ඇති සැලසුම් සහගත නගර

පොදු ජනතාව ගම අතහැර නගරයට එන තීරණයක් ගන්නේ ඇයි? අලූත් අවස්ථා දිනාගෙන ජීවිතය වෙනත් මගකට යොමු කරගන්නා අරමුණ සංක‍්‍රමණය වන අයට ඇත. නගරයට එන පිරිස පාලනය කරගත නොහැකි වන විට ප‍්‍රශ්න ඇති වෙයි. ජීවත්වීම අපහසු කරයි. ලෝකයේ සෑම ප‍්‍රධාන නගරයකම ජන ඝනත්වය ඉහළ යන අර්බුදයට මුහුණ පා සිටී. මෙගා නගර යනුවෙන් සංකල්පයක් ක‍්‍රියාවට නගන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ජනගහනය නගර කරා ඇදී එන තරමට මෙගා නගර ඇති කිරීම එකම උත්තරය නොවේ. එයට සමාන්තරව හැම දෙයක්ම තමන්ට සමීපයේ ඇති නවීන ගම්මාන නිර්මාණය කරන නැඹුරුවක් ද ඇත. අඩුම තරමින් විනාඩි විස්සක් ඇතුලත, බොහෝ දුරට පාගමනින් හෝ පා පැදියකින් ගොස් තමන්ගේ සියළු මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට පහසුකම් සැපයීම මෙහි අරමුණ වී තිබේ.

ඔස්ටේ‍්‍රලියාවේ මෙම අදහස ක‍්‍රියාවට නංවන බව වාර්තා වෙයි. මෙල්බන් නගර සැලැස්ම විනාඩි විස්සකින් වැසියන්ට අවශ්‍ය මූලික දේ සපයන තැනක් බවට පත් කරමින් තිබේ. මෙල්බන් වේගයෙන් දියුණුවන නගරයකි. ජනගහනය ද ඉහළ යමින් සිටී. එහි නගර මැද සිට විනාඩි විස්සකින් ගමන් කළ හැකි ප‍්‍රදේශය තුළ හොද රැකියා ලබාගත හැකි කර්මාන්තශාලා, අධ්‍යාපනයට ඉහළම පහසුකම්, ඉතාම දියුණු රෝහල හා ජනතාවගේ විවේකය ගත කරන විනෝදාත්මක මධ්‍යස්ථාන ඉදිකෙරේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නගරයේ පදිංචිකරුවන්ට ගමන් බිමන් යන්නට වාහන අවශ්‍ය නැත. ඉතා පුලූල් පදික වේදිකා සකස් කර ඇති අතර විශාල පාපැදි මංතීරු හා ඒවා ගාල්කරන ස්ථාන ඉදිකර තිබේ. පොදු ප‍්‍රවාහනයට බස් රථ ඇත. පුද්ගලික වාහන නිවාස වල ගාල් කර තිබීම සාමාන්‍යයෙන් දැකිය හැකි තත්ත්වයයි. එයට අනුව වැඩපොලට, පාසලට ගෙදරින් පිටත්වීම සඳහා යාන වාහන අවශ්‍ය නොවේ. අනෙක් වාසිය ඉතාම පිරිසිදු වාතාශ‍්‍රය සහිත හොඳ පරිසරයක් සහිත නගරයක් බිහිවීමය. කාලයක් ඉතාම තදබදයක් තිබුණ වාහන අධිකකම නිසා වායු දූෂණයන් ද යුතු වූ නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ‍්‍රය අද වාහන වලින් තොර කලාපයකි. ජනී ජනයාට ඇවිදගෙන ගොස් සිය ව්‍යාපාරික කටයුතු කරගන්නට සිදුවී තිබේ. එයට ගැලපෙන පරිදි මං මාවත් වෙනස් කර ඇති බව ඇමරිකාවෙන් ලැබෙන වාර්තා දක්වයි. බාසිලෝනා තවත් නගරයකි. කාර් භාවිතා කළ යුගය අතීතයේ මතක සටහනක් බවට පත්කිරීම එහි අරමුණ වී ඇත. බහුතරයක් වීදි වාහන ගමන් කළ නොහැකි, ජනතාවට නිදහසේ සැරිසරන්නට හැකි තැන් බවට හරවා තිබේ. ජර්මනියේ ඉතා කලබලකාරී හැම්බර්ග් නගරය අලූතින් වෙනස් කර ඇත. සියයට හතලිහක් හරිත පැහැයට ගෙන එන ලද අතර ඒවා ජනතාවට පමණක් සැරිසරන්නට හැකි තැන් බවට පත්ව තිබේ. පාපැදිකරුවන්ට වෙනම ඉඩකඩ සකස් කර ඇති බව වාර්තා වෙයි.

වාහන තදබදය අවම කර ජනතාවගේ දෛනික ජීවිතය යහපත් පැත්තට හරවනු සඳහා නොයෙක් පර්යේෂණ කරන අතර ලෝකයේ සමහර රටවල් සතියේ තෝරාගත් දිනවල වාහන ගමන අත්හිටුවා තිබේ. එක්සත් ජාතීන්ගේ අනාවරණ අනුව ප‍්‍රධාන නගර ලෝකයේ භාවිතා වන බලශක්ති වලින් සියයට හැත්තෑ අටක් භාවිතා කරන අතර එය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට හැටකට බලපාන බව ඔප්පු වී ඇත. මෙම ඉලක්කම් සෑහෙන බරපතල බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

නගර වලට සංක‍්‍රමණය වන ජනතාව ඉතා හොද ජීවිතයක් ගැන සිහින මවන නමුත් අඩුම තරමින් හොඳට ජීවත්වන නිවාසයක් හෝ නැති බව ප‍්‍රකාශ වෙයි. ප‍්‍රධාන නගර වල ජීවත්වන සෑහෙන පිරිසකට තාවකාලික නිවාස හෝ යාන්තම් ජීවත්වන පහසුව ඇත. මැකෙන්සි පර්යේෂණ වාර්තාවකට අනුව ලෝකයේ ප‍්‍රධාන නගරවල ජීවත්වන පවුල් මිලියන 330 කට හොඳ ගෙයක් නැත. එය වසර 2025 වන විට මිලියන 440 ක් විය හැකිය. ජනගහනය වශයෙන් සලකතහොත් බිලියන 1.6 කි. 2050 වන විට එය බිලියන 2.5 ක් වන්නට ඉඩකඩ ඇත. හොඳ ආහාර වේලක් නැති, වාසස්ථානය ඉතාම දුර්වල තැනකට පත්ව ඇති පුරවැසියන් සිටින රටක් නගරයක් හොඳ තැනක් වන්නේ කෙසේද? නගරයෙන් යමක් හරි හම්බකරගෙන අනාගතය ගොඩනගාගන්නට වෙහෙසවන අරමුණෙන් සංක‍්‍රමණයවන නමුත් ජීවිතය දුෂ්කර වනු හැර යමක් සංක‍්‍රමණිකයන්ට ඉතිරි නොවේ. මෙකී තත්ත්වය බැරූරුම් සේ අවධානයට යොමු කරන නගර පාලකයෝ ප‍්‍රතිපත්ති ගැන අලූතින් සිතති. නවතම සැලසුම් ක‍්‍රියාවට නගති. මෙගා නගර හැදෙන අතර හැකිතරම් නගර ප‍්‍රමාණයක විනාඩි විස්සක් ඇතුලත හැම දෙයක්ම ඉටුකරගත හැකි තැනට හරවන්නට ප‍්‍රයත්න දරති.

අලූත් නගර සැලසුම් හදන්නට පුලූවන්කම ඇතත් ඒවා සාර්ථකව ක‍්‍රියාවට නැගීම පහසු නැත. වෙනස්කම් ඇති කරන විට පවතින රාමුවෙන් ජීවත්වන පිරිස විශාල විරෝධතා ඇති කරයි. අලූත් ක‍්‍රමයකට අනුගත විය නොහැකි බව උපකල්පනය කරයි. නමුත් ප‍්‍රයත්නයක් අවශ්‍යය. ප‍්‍රධාන නගර ගණනාවක් එම අභියෝගයට සාර්ථකව මුහුණ දී ඇත. දියුණු වෙමින් පවතින මැදි ආදායම් රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව නගර සැලසුම්කරන අවස්ථාවේ දී මෙකී අලූත් පැති ගැන අවධානය යොමු කරන්නට අවශ්‍යය. අධික වාහන සැරිසරන කලාප හදුනාගෙන ඒවා මහජනතාව ගේ පහසුව ඇතිකරන ස්ථාන වශයෙන් වැඩි දියුණු කළ හැකිය. මෙකී පැති ගැන අලූත් අදහස් වලින් යුතු අවධානයක් යොමු කළ හැකිය.

කොළඹ නගරය අතිශය කලබලකාරී තැනකි. එය මෙරට ව්‍යාපාරික නගරය වී තිබේ. පරිපාලන හා අගනුවර වශයෙන් ශ‍්‍රී ජයවර්ධනපුරය පත් වීමෙන් පසු කොළඹ ව්‍යාපාරික පැති වලට වැඩිපුර නැඹුරුවන අතර අද වන විට එය ද වෙනස් වෙමින් තිබේ. අධිවේගී මාර්ග හා කොළඹින් ඉවත් කරන ලද අලෙවි සංකීර්ණ එයට හේතු වී ඇත. පළමුවෙන් මාළු වෙළඳාම කොළඹ නගරයෙන් ඉවත් කළේය. පෑලියගොඩ ප‍්‍රදේශය නැවත සංවර්ධනය කරන අතර සියළු තොග වෙළඳාම කොළඹ නගරයේ සිට එතැනට යොමු කරනු ඇත. පෑලියගොඩ තොග වෙළඳ සංකීර්ණයක් වන විට කොළඹ නගරය අලූතින් නිර්මාණය කළ හැකිය. පරිසරය ගැන අවධානය යොමු කර අනාගත තාක්ෂණයට ගැලපෙන පරිදි නැවත ගොඩනැගිය හැකිය. අනාගතයේ දී භාණ්ඩ මිල දී ගැනීම අන්තර් ජාලයේ බහුලව සිදුවනු ඇති අතර එය ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය. පොසිල ඉන්ධන භාවිතාව අඩු, විදුලිය වාහන භාවිතා කරන මහජනතාවට ඇවිදගෙන හා පාපැදියෙන් යා හැකි නිස්කලංක තැන් වශයෙන් සැලසුම් කිරීමට හැකියාවක් තිබේ.

රට තුළ අලූත් සැලසුම්, අලූත් ගම්මාන හදන විට විනාඩි විස්සක සංකල්පය කෙරෙහි ප‍්‍රමුඛ අවධානයක් යොමු කළ හැකිය. විනාඩි විස්සක් තුළ සිය මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි වටපිටාවක් හැදීමට ප‍්‍රයත්නයක් දැරුවහොත් එය කිසිසේත් අපහසු නැත. අතීතයේ දී වැව - දාගැබ හා ගම - පන්සල යන සංකල්පය පැවැතුනේ එදා පැවැති ස්වයංපෝෂිත ආර්ථික රටාව අනුව එකලකට ගැලපුන ආකාරය අනුව බව කල්පනා කිරීම සුදුසුය. ලෝකයේ නව ප‍්‍රවනතා ගොඩනැගෙන්නේ අවශතා සම්පූර්ණ කරගන්නා අතර එය පැවැත්මට අවහිර නොවන පරිදිය. එවැනි පරිවර්තනයක් ගැන හිතන්නට රටට පුලූවන්කමක් තිබේ. පොදු ජනතාව මෙම කාරණය ගැන විවිධ පැතිවලින් සාකච්ඡා කර බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම සුදුසුය.