» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
30/04/2017 - ඉරිදා ලංකාදීප
ප‍්‍රංශ දේශපාලනයේ අලූත් ප‍්‍රවණතාවය

ප‍්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය පසුගියදා පැවැත්විණි. නිල ප‍්‍රතිඵල නිකුත් වන විට ප‍්‍රධාන ධාරාවේ බලවත් දේශපාලන පක්ෂ දෙක පසුබෑමකට ලක්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිය. 1980 සිට එරට දේශපාලනය ප‍්‍රධාන බලවේග දෙකකින් සමන්විත වූ අතර ඒවා පක්ෂ සන්ධාන වශයෙන් පෙනී සිටීම විශේෂත්වයකි. මධ්‍ය වාමාංශික පක්ෂ සන්ධානය, සමාජවාදී පක්ෂය ප‍්‍රධාන පක්ෂ කිහිපයක එකතුවක් වූ අතර මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය සමන්විත වූයේ රිපබ්ලිකන් පක්ෂය ප‍්‍රධාන සුළු පක්ෂ කිහිපයක සන්ධානයකින්ය. අවුරුදු තිස් හතකට පසු ප‍්‍රංශ පුරවැසියන්ට මෙම සම්ප‍්‍රදායික දේශපාලනය එපා වී තිබේ. එය අලූත් ප‍්‍රවනතාවයකි. ප‍්‍රංශ දේශපාලන භූමිකාව තුළ සිදුවන මෙම නව පෙරැළිය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.

සම්ප‍්‍රදායික දේශපාලනය තුළ බලපවත්වන පක්ෂ කි‍්‍රයාදාමය එරට ජනතාවට එපා වෙන තැනට පත්වූයේ මන්ද? සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ වල දර්ශනය බැහැර කර අලූත් මාවතකට අවතීර්ණ වෙන්නට ප‍්‍රංශ පුරවැසියන් තීරණය කරන්නේ මන්ද යන කාරණා දේශපාලන විශ්ලේෂකයන්ගේ සියුම් විග‍්‍රහයට ලක්ව තිබේ. ඔවුන් දකින ආකාරයට ප‍්‍රංශ වැසියන් සිය පැවැත්ම පිලිබඳව ද්‍රෘෂ්ඨිය වෙනස් එකක් බවට පත්වෙන ලකුණු පහල වී ඇත. සම්ප‍්‍රදායික දේශපාලනයේ නිරත සියළු පක්ෂ මෙම ප‍්‍රවනතාවය ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු බව නිසැකය.

ප‍්‍රංශ ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන දේශපාලන පක්ෂ අභිබවා ඉදිරියට පැමිණ ඇත්තේ අලූත් මුහුණකි. පසුබිම් වාර්තා අනුව මෙයට කලින් මැතිවණයකට ඉදිරිපත් නොවූ පුද්ගලයෙකි. එහෙයින් ප‍්‍රංශ ජනතාව නැවුම් තෝරා ගැනීමකට සූදානම් ද යන ප‍්‍රශ්නය මතුවෙයි. ඉකුත් ඉරිදා එනම් අප‍්‍රියෙල් 23 පැවැති මුල් වටයට පසු දෙවැනි වටය පවත්වන මැයි හත්වෙනි දා ඡන්ද ගණන් කරන විට ප‍්‍රංශ ජනතාව ගේ තීන්දුව තහවුරු වනු නිසැකය.

එමානුවෙල් මැක්රොන් යනු එන් මාර්චේ නමැති මෙකී අලූත් පක්ෂයේ අලූත් නායකයාය. හෙතෙම වත්මන් ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්දේ ගේ මධ්‍ය වාමාංශික පක්ෂ සන්ධානයේ සාමාජිකයෙකුව සිටියේය. 2006 සිට වසර ගණනාවක් පක්ෂයේ කාර්ය භාරය කරමින් සිටි ඔහු 2014 දී පත්කරන ලද මන්ත‍්‍රීවරයෙකු සේ කෙටි කාලයකට පාර්ලිමේන්තුවට පැමිණියේය. එකී කාලය තුළ ඔහු එරට ආර්ථික කර්මාන්ත හා ඩිජිටල් කටයුතු භාර අමාත්‍යවරයා විය. නමුත් ජනාධිපතිවරණ එළැඹුම පෙනි පෙනී එනම් පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී හෙතෙම ආණ්ඩුවෙන් ඉවත් විය. එයින් මාසයකට පසු ඔහු ප‍්‍රකාශ කළේ එළැඹෙන ජනාධිපතිවරණයට තරග කරන බවය. ඒ බව දක්වමින් එමානුවෙල් මැක්රොන් සිය අලූත් පක්ෂය පිහිටුවීය. තම ආර්ථික අමාත්‍යවරයා එවැනි තීරණයට යෑම ප‍්‍රංශ ජනාධිපති හොලන්දේ ගේ කැමැත්තට කිසිසේත් හේතු වූයේ නැත.

එමානුවෙල් ජනතාව හමුවට ගොස් ඡන්දය ඉල්ලන දේශපාලනයෙහි නිරත නොවූ අතර එහි පිටස්තරයෙකි. හෙතෙම ආයෝජන බැංකුකරුවෙකි. දේශපාලනයට එන්නට කලින් රජයේ සේවයේ නිරත වූ ජ්‍යෙශ්ඨ නිලධාරියෙකු වන හෙතෙම රාජ්‍ය පරිපාලනය සම්බන්ධ ශාස්ත‍්‍රපති උපාධිය හිමි කරගෙන තිබේ. ඔහු ඇමැතිධුරයෙහි සිටි කාලය තුළ ආයෝජන සහ ව්‍යවසායකක්වයට හිතකර ලෙස ප‍්‍රතිසංස්කරණ හදුන්වා දුන් බව ප‍්‍රකටය. ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාලයේ ඔහුගේ විවාහය ගැන ආන්දෝලනයක් ඇතිවිය. බාල කාලයේ නාට්‍ය ගුරුවරිය අවුරුදු විසි හතරක පරතරයක් තිබිය දී ඇයගේ කලින් විවාහයෙන් දික්කසාද වීමෙන් පසු එමානුවෙල් සමග විවාහ වීම සමාජ මාධ්‍ය වල පළ විය. කලින් විවාහයෙන් දරුවන් තිදෙනෙකුගේ මවක වූ අතර සමාජ මාධ්‍ය මවන්නට ගිය නොයක් කටකතා යටපත්වූයේ එමානුවෙල්ගේ පුද්ගලික ජීවිතයේ කිසිම රහසක් සොයා ගන්නට නොහැකි වූ හෙයින්ය. ඔහුගේ අනුගාමිකයන් කියන පරිදි විනෝදයට ඔරලෝසු එකතු කරන්නෙකු හෝ සල්ලි හම්බකරන්නට රුචි බවක් පෙන්වන්නේ නැති එමානුවෙල් රට තුළ වෙනසක් කරන්නට සුදුසු පුද්ගලයෙකි.

එමානුවෙල් මැක්රොන් පළමු වටයේ දී සියයට 23.86 ක ඡන්ද ප‍්‍රතිශතයක් ගන්නා විට ප‍්‍රතිවාදිනිය බවට පත්ව ඇත්තේ සියයට 21.43 ක් උපයාගෙන ඇති මරිනා ලපෙන්ය. සම්ප‍්‍රදායික පක්ෂ වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා සියයට 19.94 ක් සහ සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ සියයට 6.35 ක පමණ ප‍්‍රතිශතයකි.

මරිනා ල පෙන් පවා ප‍්‍රංශ නායකත්වය සඳහා එන්නට ඉඩ ඇතැයි මෑතක් වන තුරු අවධානයට ලක් නොවූ චරිතයකි. ඈ අති දක්ෂිණ අදහස් ඇති ජාතිවාදී චරිතයක් සේ සැලකෙයි. පැරණි දේශපාලන පරපුරක අලූත් පුරුක සේ ගැනෙන ඇය ප‍්‍රංශයේ ජාතික පෙරමුණ ඇගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂය වන අතර මරීනා ගේ පියා මෙයින් අවුරුදු හතලිස් පහකට කලින් පක්ෂය නිර්මාණය කළේය. ආර්ථික ආරක්ෂණවාදය, හානි අවම කිරීම, නීති හා විධිවිධාන සමග විශේෂයෙන් මහා පරිමානයෙන් වන ජන සංක‍්‍රමණයට එරෙහි ප‍්‍රතිපත්තිය ඇගේ පක්ෂයෙහි ස්ථාවරයයි. පක්ෂ නායකයා වශයෙන් මරීනා ගේ තාත්තා ප‍්‍රංශ ජනාධිපතිවරණ සටනට 2002 වසරේ ඉදිරිපත් වුව ද එයින් සාර්ථකත්වයක් අත් කරගත්තේ නැත. මරීනා ල පෙන් පක්ෂය භාරගත්තේ එයින් වසර නමයකට පසුවය. තරුණ කාන්තාවක වශයෙන් එවකට නැගෙමින් තිබූ අදහස් අනුව ක‍්‍රියා කරමින් පක්ෂය නව මාවතකට යොමු කරන ලද අතර, ඇය 2014 දී පැවැති පලාත් පාලන මටට්මේ ඡන්ද වලින් සැලකිය යුතු ජයක් අත්පත් කරගත්තාය.

කරුණු කෙසේ වෙතත් සම්ප‍්‍රදායික පක්ෂ පැත්තකට දමා නව දේශපාලන සුළඟක් ප‍්‍රංශයෙන් හමන්නට පටන්ගෙන ඇත්දැයි විචාරකයන් විමසන බව පෙනේ. පැරණි සමාජවාදී හා ඩිමොක‍්‍රටික් පක්ෂ වලට තැනක් නැත. ඒවා 1980 ගණන් වල සිට බලය අල්ලාගෙන සිටියේ කුඩා පක්ෂ තමන්ගේ තනියට හේත්තු කරගනිමින්ය. පක්ෂ ගණනාවක් එකතු වී රට කරගෙන යන විට ප‍්‍රංශයේ පැවැත්ම හා සමාජ ව්‍යුහය යම් අභියෝගයකට මුහුණ දුන් බව පැහැදිලිය. විවිධ රටවලින් පැමිණ ප‍්‍රංශය තමන්ගේ භූමිය වශයෙන් තෝරාගත් අයවලූන් හෙයින් නොයෙක් ප‍්‍රශ්න මතු ව ඇති බව එරට ජනයා කතා කරන්නට පටන් ගත්තේය. මෙකී අදහස් මෝරා වැඞී ඉහළට පැමිණි අවස්ථාවේ දී වත්මන් ප‍්‍රවනතාවයට ඉඩ පාදා ඇති බව විචාරක අදහසයි.

අවුරුදු තිස් හතකට පසු සම්ප‍්‍රදායි පක්ෂ එපා වී අලූත් නායකත්වයක් සොයන ප‍්‍රංශයේ ස්වභාවය පහසුවෙන් නොසලකා හැරිය යුතු එකක් නොවේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට මෙය හොඳ පාඩමකි. නිදහස ලැබූ දා සිට දශක හතකට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රට පාලනය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී වෙනම බලවේගයක් බවට පත්ව වෙනම සමාජ ආර්ථික දර්ශනයක පිහිටා කි‍්‍රයා කරන ලද නමුත් අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් සහ එක්සත් ජාතික යන පක්ෂ අතර ප‍්‍රතිපත්ති වෙනස්කම් අඩුය. මෑත භාගය තුළ පක්ෂ දෙක කි‍්‍රයා කරන ලද්දේ ප‍්‍රංශයේ හා සමානව කුඩා පක්ෂ සමග සන්ධානගත වන සාධකය පෙරටු කරගෙනය. සන්ධාන ආණ්ඩු වලින් ද ජනතාව අපේක්ෂා කළ දේ ලැබුණේ නැත. අන්තිමේ දී ප‍්‍රධාන පක්ෂ එකතුවන තැනට පත්ව තිබේ. මෙම තත්ත්වයට පසුබිම් වූයේ කුමක්ද? ජනතාව කළකිරීම බව සඳහන් කළ යුතුය. මෙරට තරුණ පෙළ අතරින් බහුතරයක් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ නැත. සමාජ මාධ්‍ය පෙන්වන්නේ දේශපාලනයට සම්බන්ධයක් නැති නිදහස් අදහස් ඇති තරුණ පෙළ සතුව සම්ප‍්‍රදායික පක්ෂ ගැන ඉතා දරුණු විවේචනයක් පවතින බවය. එපමණක් නොවේ. දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් කෙරෙහි ඇති අතෘප්තිය, කලකිරීම සහ බලාපොරොත්තු විරහිතභාවය සමාජයේ නොයෙක් පැති වලින් නැගෙන විරෝධතා වල පදනම බවට පත්ව තිබේ. සමාජ උවමනාවන් නොසලකන පවතින ක‍්‍රමය බරපතල විවේචනයට ලක්ව ඇත. බලය වෙනුවෙන් ආත්මාර්ථකාමීව හැසිරෙන සම්ප‍්‍රදායික දේශපාලනඥයන් හෙයින් ජනතාව තුළ බලවත් වෛරයක් මතුවන බව නිරීක්ෂණය කළ හැකිය. ප‍්‍රධාන බලවේග එකතුවීමෙන් පවා අලූත් ව්‍යුහයක් නිර්මාණය වී නැත. මෙහි අවසානය කුමක් විය හැකිද? තේරුම් ගත යුතු එයයි. පළමු වටයෙන් පරාජය වූ පසු ප‍්‍රංශයේ සම්ප‍්‍රදායික පක්ෂ අලූතින් නැගී එන බලවේග වලට උදව් කරන්නට පටන්ගෙන තිබේ. මෙරට ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලට එකී ඉරණම අත් නොවෙන්නට නම් ජාත්‍යන්තරයෙන් හමන සුළඟ තේරුම් ගත යුතුය. තම ජනතාව කියන්නට හදන පණිවුඩය කෙරෙහි සාවධාන විය යුතුය. නුදුරු කාලයේ දී මෙරට දේශපාලනයේ න්‍යාය පත‍්‍රය අලූතින් ලියැවුණහොත් එය සම්ප‍්‍රදායික දේශපාලනයේ අසාර්ථකත්වය හෙයින් විනා අනෙකක් නිසා නොවෙන්නට ඉඩ ඇත.