» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/12/2019 - ඉරිදා ලංකාදීප
සම්පත් ආකරයක් වන සාගරය ප‍්‍රයෝජනයට ගත යුතු මග

ශ‍්‍රී ලාංකේය ජන සමාජය සුනාමි ඛේදවාචකය නැවත නැවතත් සිහිපත් කරමින් සිටී. වසර පහලොවකට කලින් සිදුවූ විපත අමතක කළ යුතු නැත. ජීවිත විශාල ප‍්‍රමාණයක් රටට අහිමි විය. සතුන්, ගහකොළ සහ දේපොල විනාශ වූ අතර සෑහෙන කාලයක් ගත වන තුරු ජනතාව මහමුහුද දෙස අවිනිශ්චිතව බලා සිටියේය. සිද්ධිය අත්දැකීමකි. අමතක කළ යුතු නැත. නමුත් සොබාදහම සමග ජීවත්විය යුතුය. මහ වැසි වසී. ගංවතුර සහ නාය යෑම් සිදුවෙයි. ගිනි කදු විදාරනය වෙයි. භූමිකම්පා සිදුවන අතර සුනාමි වැනි විපත් සිදුවෙයි. මෙම සියළු අභියෝග මැද ජනතාව ජීවත්වනු සදහා අරගලයක නිරත විය යුතුය. සොබා දහමට ගැලපෙන, පරිසරය ආරක්ෂා කර එයින් පවතින ස්වභාවය ඉතා වැදගත්ය. ගෝලීය උණුසුම පාලනය කරන පිලිවෙල ගැන ලෝකයේ උනන්දුව වැඩි වී තිබේ. ස්වභාවික සම්පත් පරිහරණය කරන සාධාරණ ව්‍යුහයක් ගැන සාකච්ඡුා කෙරේ. සමතුලිතතාවය පවත්වා ගනිමින් ජන ජීවිතය සාක්ෂාත් කරගැනීමට ඇති අවස්ථා ගැන අලූතින් කල්පනා කිරීම අවශ්‍යය.

පර්යේෂකයෝ නීල ආර්ථිකයක් ගැන සාකච්ඡා කරති. එය මහා සාගරය ජන ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ ක‍්‍රමවේදයකි. මහ පොලව මත ඇති සම්පත් ප‍්‍රමාණවත් නැත. වැඩිවන ජනගහනය සමග ආහාර ප‍්‍රශ්න මතු වී තිබේ. වාසස්ථාන ගැන ගැටළු ඇත. ප‍්‍රවාහනය ගැන අලූතින් හිතන්නට සිදුවී තිබේ. එහෙයින් මුහුද දෙස අවධානය යොමු කරන බව පෙනේ. අලූත් ග‍්‍රහලෝකයක් සොයා ගෙන මිනිස් වාසයට සුදුසුදැයි සොයා බලන්නට වෙහෙසෙන ප‍්‍රමාණයට වඩා ඉක්මනින් සාගරයේ පවතින සම්පත් උපයෝගී කරගත හැකි බව අවධානයට ගෙන ඇත. සාගර පත්ලේ ඇති ඛණිජ සම්පත් තෝරා වෙන්කරගැනීමට අවශ්‍ය තාක්ෂණය දියුණු කිරීම එක පියවරකි. සාගරයේ මතස්‍ය හා ජල ජීවි වගාව තවත් මගකි. ඒවා මනුෂ්‍ය ප‍්‍රයෝජනයට සකස් කරන පියවර දැවැන්ත ව්‍යාපාරයක් සේ වර්ධනය වෙමින් තිබේ. මහපොලව මත සිදුවන ප‍්‍රවාහනයේ කොටසක් සාගරයට යොමු කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත. ලෝකයේ එක කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනයට නෞකා භාවිතා කිරීම වඩා පහසු බව ගණන් බලමින් සිටී. එවැනි පියවර අතරතුර සාගරය අපවිත‍්‍රවන තරම ගැන ද විවිධ අංශ පුලූල් අවධානයක් යොමු කර ඇති බව අනාවරණය වන කරුණකි. එය ඉතාම වැදගත්ය.

බැටරි බලයෙන් යාත‍්‍රා කළ හැකි සැහැල්ලූ, තරමක විශාල යාත‍්‍රාවක් ගැන කරුණු අනාවරණයවීම එය අතරින් කැපී පෙනෙන සිද්ධියකි. ඩෙන්මාර්ක් රාජ්‍යය එම බැටරි බලයෙන් යාත‍්‍රා කරන නැව සේවයට යොදවා තිබේ. ඊ එලන් යනුවෙන් නම් කර ඇති එහි මගීන් 200 ක් සහිතව තවත් කාර් තිහක් පමණ රැගෙන යා හැකිය. වාර්තා දක්වන පරිදි මෙම යාත‍්‍රාව විදුලිය බලයෙන් ගමන් කරන දැනට භාවිතා වන විශාලතම නෞකාව සේ සැලකේ. ඩෙන්මාර්ක් හි එරෝ සිට මුහුදු සැතපුම් විසි දෙකක් දුරින් පිහිටි ඩෙනිෂ් වරාය තෙක් මෙම යාත‍්‍රාව දිනපතා ගමන් කරයි. ගමන කෙටි දුරක් නමුත් පරිසරයට කරන මෙහෙවර වැදගත්ය. ඉන්ධන පුලූස්සන නැවක් භාවිතා කිරීමෙන් වසරකට වාතයට මුදා හරින කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 2000 කින් අඩුවනු ඇති අතර නයිට‍්‍රජන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ටොන් 42 කින් අඩු කළ හැකි බව ගණන් බලා තිබේ. එය ලෝකයේ බලවත් අවධානයට ලක්ව ඇති කරුණකි. අනාගතයේ දී මහා සාගරයේ සැරිසරන නැව් විදුලියෙන් යාත‍්‍රා කළහොත් දැනට බලවත් තර්ජනයක් වී ඇති වායුගෝලයට අහිතකර වායු මුදා හරින මිනිස් ක‍්‍රියාකාරකම් සෑහෙන ප‍්‍රමාණයකින් පාලනය වනු ඇත. බර අඩු තහඩු භාවිතා කර නිපදවා ඇති මෙම නැවෙහි සමහර කොටස් නැවත ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි කඩදාසි හා කාඞ්බෝඞ් වලින් තනා ඇති බව ප‍්‍රකාශ වෙයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් බැටරි බලයෙන් ධාවනය කරන යාත‍්‍රාවකට යා හැකි වැඩිම වේගය අත්පත් කරගෙන ඇත. සාමාන්‍ය යාත‍්‍රාවක ගමන් කරන විට නැගෙන ගොරහැඩි ශබ්ධ පමණක් නොව ඉන්ධන දුම ද රහිත මෙම යාත‍්‍රාව එහි ගමන් කරන මගීන් ට නැවුම් අත්දැකීමක් වී තිබේ. යුරෝපා සංවිධානය මෙම බැටරි නැව ගැන කරන අත්හදා බැලීම් වලට සහාය දී තිබේ. පර්යේෂකයන්ගේ අරමුණ දැන් පවතින සාර්ථකත්වය අනුව වසර 2030 වන විට බැටරි බලයෙන් ධානයන වන යාත‍්‍රා සියයක් මහ මුහුදට එකතු කිරීමය.

ශ‍්‍රී ලංකාව දූපතක සිට ජාත්‍යන්තරය වෙත යොමු විය යුතුව තිබේ. සාගරයේ සම්පත් ප‍්‍රයෝජනයට ගත යුතුය. එය ආර්ථිකය නගා සිටුවිය හැකි දැවැන්ත පියවරකි. නූතන ජන සමාජයේ අලූත් පරම්පරාව මසුන් ඇල්ලීමට හෝ කැමැති නැත. ආණ්ඩුවේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීමට වෙහෙසෙති. මත්‍ස්‍ය සම්පත නෙලා ගැනීම හුදෙක් ඔරුවක නැගී දියඹට යන ගමනක් නොවේ. තාක්ෂණය භාවිතා කර මසුන් සහිත ප‍්‍රදේශ හදුනා ගන්නා අතර මාස ගණන් වැය කර ඉහළම ආදායමක් ලබා ගන්නා ව්‍යවසායයකි. ලෝකයේ මතස්‍ය සම්පත බහුල තැන් කරා පැමිණ ව්‍යාපාර මෙහෙයැවීමට බලපත‍්‍ර සහිත ව්‍යාපාර කරන තරමට එය පුලූල් වී ඇත. ශ‍්‍රී ලංකාවේ තරුණ පෙල අභියෝග ජය ගැනීමට සූදානම්ය. අලූත් අවස්ථා පෙන්වා දී මග පෙන්වීමට වැඩ පිලිවෙලක් අවශ්‍ය වී තිබේ. ශ‍්‍රී ලංකාව වටා ඇති මහා සාගරයේ සමහර කොටස් මුහුදු ජීවීන් වගා කළ හැකිය. පිලිපීනය බහුලව මුහුදු ආහාර වගා කරන අතර නොගැඹුරු ප‍්‍රදේශවල එම කාර්යයයෙහි නිරතවන්නේ කාන්තාවන් බව දැක්වෙයි. ආරක්ෂක ගැටළු නිරාකරනය වී ඇති කාල වකවානුවක නීල ආර්ථිකයේ අලූත් පැති ගැන සොයා බැලීම වැදගත්ය.

ප‍්‍රවාහන කටයුතු වෙනුවෙන් සාගරය භාවිතා කිරීම කෙරෙහි ද අලූතින් හිතන්නට පුලූවන්කමක් තිබේ. එය සංචාරක ව්‍යාපාරය සමග සම්බන්ධ කරන්නට හැකිය. කොළඹින් ඇරඹෙන යාත‍්‍රා ගාල්ල, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය වරාය ඔස්සේ යොමු කළ හැකි අතර මගීන් හා භාණ්ඩ ගෙන යා හැකිය. ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න පැවැති කාල වකවානුවට කලින් තලෙයිමන්නාරම හා රාමේෂ්වරම දක්වා මුහුදෙන් ගමන් බිමන් සිදුවී ඇත. සාමය උදා වූ පසු කෙටි කාලයක් මගී නැව් සේවාවක් අරඹන ලද අතර එය ස්ථාවර වූයේ නැත. නමුත් ඩෙන්මාර්ක් රාජ්‍යයේ අත්දැකීම අපට ප‍්‍රයෝජනයට ගත හැකිය. කෙටි දුර යාත‍්‍රා කළ හැකි විදුලියෙන් බලගැන්වෙන කුඩා නැව් යෙදවීමට පුලූවන්කමක් තිබේ. එය සංචාරකයන්ගේ විශාල අවධානයක් ලක්වන කරුණකි. පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයට ලෝකයේ විශාල ඉල්ලූමක් තිබේ. ඉතාම ධනවත් සංචාරකයෝ එය කෙරෙහි නැඹුරු වී ඇත. අලූත් ව්‍යවසාය සේ විදුලිය නැව් සේවාව දැනට පවතින සංචාරක ආදායම නංවනු සැකයක් නැත. තරුණ ව්‍යවසායකත්වයට මගකි.

රටක් වශයෙන් අප සියළු දෙනා සාගරය දෙස අවධානය යොමු කරන්නේ සීමිතවය. සුනාමි විපත පමණක් නොව අධිරාජ්‍යවාදී පාලන කාලය තුළ පැවැති රාමුව ද එයට බලපා ඇත. මෙම මානසිකත්වයෙන් ගැලවීම අවශ්‍යය. අලූත් යුගයක අලූත් අවස්ථා ගැන අවධානය යොමු කළ යුතු අතර එය නවීන තාක්ෂණය හා නවතම ක‍්‍රමවේද අනුව කරගෙන යන්නට අවකාශ නිර්මාණය වී තිබේ. ආණ්ඩුව පමණක් නොව පුද්ගලික අංශය ද එයට හවුල් විය යුතුය. සමහර අලූත් ආයෝජන සම්පූර්ණයෙන් සාගරය හා රටවටා ඇති දූපත් කේන්ද්‍ර කරගෙන කරගෙන යා හැකි අතර එයට අවශ්‍ය පසුබිම සකස් කිරීම ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. උදාවන 2020 න් ඇරඹෙන කාල වකවානුව නවතම නිර්මාණශීලී පැති ගැන යෙදවෙන කාලපරිච්ඡේදයක් බවට හරවා ගැනීම අප සියළු දෙනාගේ වගකීමකි.