» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/10/2017 - ඉරිදා ලංකාදීප
ආහාර වේලක ඇත්ත මිල සොයා බැලිය හැක්කේ කෙසේද?

කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් කරන ලද පර්යේෂණයක වාර්තාවක් ලෝක ආහාර දිනයේ දී ලෝක නායකයන්ගේ අවධානය පිණිස නිකුත් කර ඇත. එම වාර්තාව අනුව ඇමරිකාවේ නිව්යෝක් නගරයේ දී ඇමරිකානු ඩොලර් 1.20 ක් වන ආහාර පිඟානක මිල දකුණු සුඩානයේ දී ඇමරිකානු ඩොලර් 320 ක් තරම් ඉහළ බව අනාවරණය කර තිබේ. මෙම ආහාර වේල සුපිරි මට්ටමක එකක් නම් නොවේ. බෝංචි ඇට හා බත් සහිත සරල ආහාර වේලකි. ලෝකයේ දියුණුව අඩු දුප්පත් රටවල ජනතාව තමන්ගේ ආහාර වෙනුවෙන් සංවර්ධිත රටවලට වඩා වැඩි මිලක් ගෙවන බව මෙකී පර්යේෂණය ඔප්පු කර තිබේ. දකුණු සුඩානය, උතුරු හා නැගෙනහිර නයිජීරියාව, සිරියාව, මලාවි, කොංගෝ සහ හයිටි ඇතුළු දුප්පත්කම බහුල රටවල් වල ජනී ජනයා ආහාර පාන වලට ගෙවන මිල සෑහෙන වැඩි බව මෙකී වාර්තාව තව දුරටත් හෙළිදරව් කර ඇත.

මෙම ගණන් බැලීම තරමක් සංකීර්ණය. එකම වර්ගයේ ආහාර සඳහා ලෝකයේ නොයෙක් රටවල මිල එම රටේ ඒක පුද්ගල ආදායමෙන් බෙදා ගණන් බලා තිබේ. එයින් කියැවෙන අනෙක් කාරණයක් ඇත. ලෝකයේ දුප්පත් රටවල ජනී ජනයා ඔවුන්ගේ රටේ ඒක පුද්ගල ආදායම අනුව ගණන් බලන විට ආදායමෙන් වැඩි කොටසක් ආහාර වෙනුවෙන් වියදම් කරන බවය. සලකා බලන ලද ආහාර වේලක මිල නිව්යෝක් නගරයේ දී සාමාන්‍ය දෛනික ආදායමෙන් සියයට 0.6 ක් වන විට ගෞතමාලා රටේ දී එය ඇමරිකානු ඩොලර් 8.27 ක්, නේපාලයේ දී ඇමරිකානු ඩොලර් 27.77 ක් සහ හයිටියේ දී ඇමරිකානු ඩොලර් 72.65 ක් බව දැක්වෙයි. මෙම වාර්තාව අනුව ආහාර වේලක මිල සම්බන්ධයෙන් ඉතාමත් නරක ස්ථානය දකුණු සුඩානය වන අතර ඇමරිකානු ඩොලර් 321.70 ක් හෝ දෛනික ආදායමෙන් සියයට 155 ක් බව සඳහන් වෙයි. ආදායම හා සසඳන විට ආහාර වේලක් මිල දී ගත නොහැකි පසුබිමක දුප්පත් රටවල ජනී ජනයා නිතිපතා කුසගින්නේ පසුවීම පුදුමයට කරුණක් නොවන බව මෙයින් තේරුම් ගත යුතුය.

ලෝක ආහාර සංවිධානය පසුගිය ලෝක ආහාර දිනය වෙනුවෙන් ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ 2016 වසරේ ලෝකයේ ජනගහනයෙන් මිලියන 800 ක් නිසි ආහාර රහිතව කුසගින්නේ සිටි බවය. එය සැලකිය යුතු ප‍්‍රමාණයකි. තම බඩගින්න වෙනුවෙන් ආහාරයට යමක් මිල දී ගැනීමට නොහැකි ආදායම් මට්ටමක මිනිසුන්ගෙන් කොටසක් ජීවත්වීම කණගාටුදායක තත්ත්වයකි. ලෝකය පුරා ක‍්‍රියාත්මක කරන වැඩ සටහන් මගින් ආහාර සුලබ කෙරේ. මෙම පර්යේෂණය කෙරෙන කාලය වන විට ලෝකය පුරා කිසිම මට්ටමකින් ආහාර හිඟයක් නැති බව අනාවරණය වෙයි. පසුගිය වසරේ අති විශාල ආහාර ප‍්‍රමාණයක් ප‍්‍රයෝජනයට නොගෙන ඉවත දමා ඇති අතර එම නාස්තිය වැලකිය හැකි නම් බිලියන දෙකක ජනගහනයකට කන්නට දිය හැකි බව අනාවරණය වෙයි. ගැටුම් නතර නොකළහොත්, අනවසර සංක‍්‍රමණය නතර නොකළහොත් හෝ තමන්ට අවශ්‍ය ආහාර තමන්ම නිපදවා ගැනීමට සූදානම් නොවුනහොත් අත්‍යවශ්‍ය ආහාර මිල දී ගැනීමට නොහැකිවීමේ විපාක වශයෙන් ලෝක ජනගහනයෙන් සෑහෙන කොටසකට කුසගින්නේ ජීවත්වීම වැලැක්විය නොහැකි බව ආහාර සංවිධානයේ ප‍්‍රකාශකයෝ ඉතාම ගැඹුරින් අවධාරණය කර තිබේ.

නිසි පරිදි ආහාර නැති ඒවා අවශ්‍ය කරන ජනතාවට නිසි පරිදි සම්පාදනය කරන්නට අසමත් වී ඇත්තේ ඇයි? එය ද කතාබහට ලක්ව ඇති කරුණකි. සන්නිවේදන දුර්වලතා, ප‍්‍රවාහනය හා ගබඩා පහසුකම් නැතිවීම සෑහෙන ප‍්‍රශ්නයකි. යුද වාතාවරණය, නියඟය හා ගංවතුර යනා දී කරුණු ද ආහාර සැපයුමට බාධා කර තිබේ. අත්‍යවශ්‍ය තැන් වලට නිසි පරිදි බෙදාහැරීම අවහිරකර ඇත.

සිවිල් වැසියන්ගේ ආහාර අවශ්‍යතා සම්බන්ධයෙන් යුද්ධය කර ඇති බාධා කිරීම පර්යේෂණ වාර්තා මගින් හෙළි කර ඇත. ඒවා සංකීර්ණත්වය මැනැවින් විදහා දක්වයි. පසුගිය වසරේ සිරියාවේ ජනගහනයෙන් සියයට පනහකට පමණ ආහාර සහනාධාර සැපයිය යුතු විය. 2011 දී ගැටුම්වලට කලින් මැදි ආදායම් රටක් වූ සිරියාවේ ජනගහනය මැදි ආදායම් මට්ටමක සිටියේය. අද බහුතරයකට දරිද්‍රතාවයෙන් මිදෙන සහන අවශ්‍යව ඇත. අවුරුදු දෙකක් යුද්ධය පැවැති යේමනයේ වැසියන් අතරින් තුනෙන් දෙකක් තමන්ට අවශ්‍ය ආහාර සම්පාදනය කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ධාන්‍ය නිෂ්පාදනය රට වැසියන්ගෙන් සියයකට විස්සකට සීමා වී ඇති අතර සත්ව නිෂ්පාදන මිල දී ගැනීමට ජනතාවට වත්කමක් නැත.

මෙම පර්යේෂණ වාර්තාව ලෝකයේ ධනය බෙදී ඇති අන්දම, ගැටුම් හා අර්බුද පමණක් නොව එවායෙහි ප‍්‍රතිඵලයක් ලෙස පවතින ආහාර තමන්ගේ පිඟානට බෙදා ගැනීමට බාධා සිදුවී ඇති අන්දම පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද 2005 වසරේ දී දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන නෛතික බලපෑම් සොයා බැලීමට ජාත්‍යන්තර කොමිසමක් පත් කරන ලද අතර 2015 වන විට ලෝකයේ දුප්පත්කම හරි අඩකින් අඩු කරන්නට සැලසුම් කළේය. එහි වාර්තාව ලෝක නායකයන්ට බෙදා දුන්නේ එමගින් තම රටවල ජනතාව පෙලෙන දුප්පත්කම අවම කරනු සදහා වූ පියවර ගනු ඇතැයි අපේක්ෂාවෙන්ය. නමුත් මෙම කොමිසම වාර්තාවට ඉක්මවා ගිය ලෝක තත්ත්වයන් ජාත්‍යන්තරයේ තව තවත් ප‍්‍රශ්න ඇති කර තිබේ. ආහාර වේලක මිල සහ එය ලෝකයේ නොයෙක් රටවලට බලපා ඇති අන්දම ඉතාම බරපතල බව පැහැදිලිය පෙනේ.

ශ‍්‍රී ලංකාව දුප්පත්කම තුරන් කරන්නට නොයෙක් ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. ජනතාව ගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට ආණ්ඩු ගෙන ඇති පියවර සෑහෙන ප‍්‍රමාණයකි. නමුත් ආහාර මිල ගණන් දැනෙව ප‍්‍රශ්නයකි. වර්තමානයේ මූලික අත්‍යවශ්‍ය දේ මිල වැඩිවීම ජනතාවගේ අවධාරණයට ලක්ව තිබේ. සහල්, එලවලූ, මස්, මාලූ, පොල් හා පලතුරු වැනි දේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට මිල වැඩිවී ඇත. ජනතාව දක්වන අන්දමට පාන් සහ පොල් සම්බල් සහිත වේලක් වෙනුවෙන් පවා ගෙවන මුදල සෑහෙන එකකි. සෑම සහල් වර්ගයකම මිල වැඩි වී ඇති අතර රට වටා ඇති සාගරය සතු මත්ස්‍ය සම්පත නිසි ලෙස ලබා ගැනීමේ වැඩ පිලිවෙලක් රහිත වීමේ ප‍්‍රතිඵලය මාලූ යනු සුඛෝපභෝගී ආහාරයක් බවට පත්වීම බව පෙනේ.

ශ‍්‍රී ලංකාව දීර්ඝ කාලයක් ගැටුම් සහිත පසුබිමක සිටියේය. නමුත් අදවන විට සාමකාමී වාතාවරණය තහවුරු වී ඇත. නියඟය හා අධික වැඩි යම් ප‍්‍රමාණයකින් සහල් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය අඩාල කර ඇති බව දැක්වෙයි. නමුත් එය සෑහෙන හිගයක් නොවේ. හිඟ වන විට ප‍්‍රමාණවත් පරිදි ආනයනය කරන යාන්ත‍්‍රණයක් ද ඇත. නමුත් රට පුරා ආහාර නිසි පරිදි බෙදා හැරීමේ දී ගැටළු මතු වී තිබේ. උඩරට පලාත්වල අඩුම මිලකට නිෂ්පාදකයන්ගෙන් ගන්නා එලවලූ සිල්ලර වෙළඳ සැලට එන විට මිල වැඩි වෙයි. පොල් වෙන්දේසියේ දී පොල් මිල විශාල ලෙස වෙනස් වී නැති නමුත් පාරිභෝගිකයා ගෙවන මිල අතර පරතරය ඉතාමත් ඉහළ නැග ඇත.

සෑම පුද්ගලයෙකුටම දිනපතා අවශ්‍ය නිසි ආහාර වේලකට අයිතියක් තිබේ. ඉන්දියාව තමන්ගේ රට වැසියන්ගේ ආහාර අවශ්‍යතාව නීතියෙන් තහවුරු කරන ලද අතර පනවන ලද පනත අනුව කිසිවෙකුට ආහාර නොලැබෙන ස්වභාවයක් නැත. ශ‍්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇති අතර ඒවා රටට ඉතාම දරුණු ප‍්‍රශ්න ඇති කරන බවක් සඳහන් කළ නොහැකි නමුත් සමාජයේ සෑහෙන ජන කොටසකට ආහාර වෙනුවෙන් ගෙවන මිල ප‍්‍රශ්නයකි. එය පෙන්වන්නේ දිනපතා උපයන ආදායමෙන් වැඩිම කොටසක් ආහාර වෙනුවෙන් වියදම් කරන මට්ටමට පත්වීම බව සඳහන් කිරීම අවශ්‍යය. සමාජයේ පවතින මෙම තත්ත්වය දෙස සමාලෝචනය කරනු සඳහා කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම කරන ලද අනාවරණය ඉතාම වැදගත් එකක් බව මෙහිලා සඳහන් කිරීම අවශ්‍යය.