» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/09/2019 - ඉරිදා ලංකාදීප
මහජන මුදල් පරිහරණයේ දී අනුගමනය කළ අබ්දුල් කලාම් ආදර්ශය

ආචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ එකොලොස්වැනි ජනාධිපතිවරයා වශයෙන් සේවය කළේය. සරල, නිරහංකාර සම ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ ජීවිතය අන්තර් ජාතිකව ඇගයීමට ලක් වූ එකකි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ රාමේෂ්වරම් හි උපත ලැබූ කලාම් භෞතික විද්‍යාව හදාරයි. මිසයිල මිනිසා යනුවෙන් ඉන්දියානුවන්ගේ ප‍්‍රණාමය ලබන අබ්දුල් කලාම් ගේ ජීවන රටාව හා ද්‍රෘෂ්ඨිය පැහැදිලි කරන සිද්ධි කීපයක් මෑතක දී අනාවරණය වී ඇත. ජනාධිපතිවරයාගේ ලේකම් වශයෙන් කි‍්‍රයා කළ පී.එම් නයියර් ඉන්දියාවේ රූපවාහිනි නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවක දී එය විශේෂ අවධානයට ලක් විය. හෙතෙම 1967 වසරේ දී ඉන්දීය රාජ්‍ය සේවයට එකතු වූ අතර 2002 වසරේ දී කලාම් ජනාධිපතිවරයාගේ ලේකම් වශයෙන් පත්කරනු ලැබ ඇත. වසර පහක් රාශ්ඨපති භවන් එනම් ජනාධිපති මන්දිරයේ සේවය කළ ඔහු කලාම් ගේ පිලිවෙත විග‍්‍රහ කරන ‘‘ The Kalam Effect ’’ යනුවෙන් කෘතියක් ද සම්පාදනය කර තිබේ.

පී. එම් නයියර් සම්මූඛ සාකච්ඡාවක් දෙන දූරදර්ශන් රූපවාහිනියට අයත් දෙමල විකාශයක් වූ ඞී.ඞී. පොතිගයි යන නාලිකාව පමණක් නොව එයට පදනම්වූ කලාම් ගේ ස්වභාවය හෙළි කරන ලද පොත ඔස්සේ අනාවරණය කරන කරුණු වර්තමානයට ඉතා වැදගත්ය. ඉන්දියානු දේශපාලනය ඉතා පිරිසිදු තැනක් නොවේ. නමුත් අති විශිෂ්ඨ පුද්ගලයෝ එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පතාක යෝධයෝ වශයෙන් අදටත් ගෞරවයට පාත‍්‍ර වෙති. රටක දේශපාලනයේ නිතර ඇතැම් චරිත බල අරගලයෙහි නිරත ආකාරය හා මහජන මුදල් කොල්ලකන අන්දම නොයෙක් අනාවරණ වලින් ලෝකය පුරා විහිදී තිබේ. එවැනි පසුබිමක් තුළ අබ්දුල් කලාම් ජනාධිපතිවරයා ගේ පැවැත්ම හා එහි විනීත බව විශේෂයෙන් සදහන් කළ යුතුය. භාරතීය ජනතා පක්ෂය ඇතුළු පක්ෂ දහතුනකින් සමන්විත සන්ධානයක් ඔහු ජනාධිපතිවරණයට යොජනා කළේය. එම ඡන්දය අභියෝගයක් වූයේ නැත. පහසු ජයක් ලැබිණි. කොන්ග‍්‍රස් පක්ෂය පවා ජනාධිපතිවරණයේ දී පමණක් නොව ආචාර්ය අබ්දුල් කලාම් ජනාධිපති වශයෙන් කටයුතු කිරීමේ දී නොමද සහයෝගයකින් ක‍්‍රියාකළ බව රහසක් නොවේ. වසර පහක් ධුරය ඉසිලූ හෙතෙම දෙවැනි වරම ජයගත හැකිව තිබිය දී නැවතත් ජනාධිපති තරගයට ඉදිරිපත් නොවීමට තීරණය කළේය.

අබ්දුල් කලාම් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ අනුගමනය කරන ලද ප‍්‍රතිපත්ති හෙයින් ඉතිහාසගත වී ඇති සිද්ධි කිහිපයක් නයියර් මහතා හෙළිදරව් කරයි. රටේ ජනාධිපති පදවියට පත්වූ පසු එහි ඇති වරප‍්‍රසාද වලින් මන්මත් වන නායකයෝ එයින් නතර නොවී සිය ඥාතීන් හිතවතුන් සමග එහි වරප‍්‍රසාද භුක්ති විදින බව රහසක් නොවේ. නමුත් කලාම් ජනාධිපතිවරයා එසේ නොවේ. වරක් ඔහුගේ ඥාතින් කණ්ඩායමක් රාශ්ඨපති භවනට පැමිණ නතර වූ අතර ඔවුන් ගත කළ කාලය තුළ නිල වාහන කිසිවක් ප‍්‍රයෝජනයට ගත්තේ නැත. වැදගත්ම කාරණය එම කාලය වෙනුවෙන් සහ ආහාර පාන වෙනුවෙන් වියදම්වූ සියළු පිරිවැය ජනාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් ගෙවා දැමීමයි. එතෙකින් නතර වී නැති අතර තවත් අවස්ථාවක ජනාධිපතිවරයාගේ ඇරයුමෙන් ඔහුගේ සොහොයුරා සතියක් ජනාධිපති මන්දිරයේ නතර වී ඇති අතර ඔහු නික්ම ගිය පසු වියදම ගෙවන්නට කලාම් ජනාධිපතිවරයා පියවර ගත් නමුත් ඉතාමත් අසීරුවෙන් එය ප‍්‍රතික්ෂේප කරන්නට නිලධාරීන්ට සිදුවූ බව නයියර් මහතා කියා සිටියේය. නමක් ගමක් පවා නොදන්නා පුද්ගලයෝ කැදවා මහජන මුදලින් ආහාර පාන සපයා ඔවුන්ට තෑගි බෝගද දී පිටත් කරන පාලකයන් සිටින යුගයක කලාම් ජනාධිපතිවරයා ඉතා අගනා ආදර්ශයක් සපයා දී ඇත.

ජනාධිපතිවරයා තමන්ට ලැබෙන තෑගි භෝග පවා ප‍්‍රතික්ෂේප කර තිබේ. නොයෙක් නිල සංචාර වල දී අධික මිලක් නියම කළ හැකි තෑගි ලැබී ඇති අතර සමහර තෑගි පිලිගැනීමට පවා ඔහු ලජ්ජා වී ඇත. වහාම ඒවා පින්තූරයකට ගෙන, ලැයිස්තුගත කර සංරක්ෂණාගාරයට යවන හෙතෙම එයින් පසු ඒවා දෙස බලන්නේවත් නැති බව ලේකම්වරයා කියා තිබේ. ජනාධිපති වූ පසු වාර්ෂිකව පවත්වන මුස්ලිම් උපවාස කාලය අවසාන කිරීම වෙනුවෙන් පවත්වන නිල භෝජන සංග‍්‍රහයට දින නියම වී ඇත. ලේකම්වරයා කැදවා ඇති ජනාධිපති කලාම් එයට වැයවන වියදම ගැන විමසා තිබේ. ඒ කාලයේ දී එකී උත්සවයට ඉන්දීය රුපියල් ලක්ෂ විසි දෙකක් වෙන් කර තිබුණි. වහා නිලධාරී කණ්ඩායමක් කැදවා දුප්පත් ආහාර හෝ සීතලට පොරවා ගැනීමට ඇතිරිල්ලක් නැති මුස්ලිම්වරු සොයාගොස් ඔවුන්ට තෑගි පාර්සල් බෙදන සේ ජනාධිපතිවරයා නියම කර ඇත. එයින් නතර නොවූ හෙතෙම තමන්ගේ පුද්ගලික මුදලින් ද තවත් ඉන්දීය රුපියල් ලක්ෂයක් දී තිබේ. මෙම තෑගි ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම්ගෙන් බව කොහොමටවත් දැනගන්නට ඉඩ නොතබන සේ නියම කර ඇති අතර ජනතාව දැනගත්තේ එම වසරේ ඉෆ්තිකාර් උත්සවය නැති බව පමණකි.

ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක ‘‘එහෙමයි සර්’’ ‘‘ඒක හරි සර්’’ ආකාරයේ උත්තරවලට ස්වභාවයෙන්ම කැමැති නැත. එකග විය නොහැකි අවස්ථාවල ජනාධිපති ලේකම්වරයා වශයෙන් නයියර් ගේ ප‍්‍රතික්ෂේප කිරීම් ඉවසා ඇති අතර සියයට සියයක්ම සිය මතය වෙනස් කරගෙන ඇත. එයට හේතුව භෞතික විද්‍යාව හැදෑරූ පුද්ගලයෙකු දකින ආකාරය විය හැකිය. නයියර් ලේකම්වරයා ප‍්‍රකාශ කරන අන්දමට ජනාධිපති අබ්දුල් කලාම් ඉතාම සංවේදී පුද්ගලයෙකු වන අතර දුකට පත් අවස්ථා වල කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ගැන පවා විශේෂයෙන් සොයා බලන්නට ඉවසිලිමත් වී ඇති බව දක්වයි.

ආචාර්ය අබ්දුල් කලාම් ජනාධිපතිධුරයට පත්වන්නේ අභ්‍යවකාශ ක්ෂේත‍්‍රයේ නොයෙක් තැන් වල එක දිගට වසර හතලිහක් සේවය කිරීමෙන් පසුවය. ඔහු අජටාකාශ තරණය හා මිසයිල් තාක්ෂණය ගැන රටට උපරිම සේවය කර තිබේ. ඉන්දීය බලැස්ටයික් මිසයිලය ඔහුගේ දස්කමකි. ඉන්දීය පුරවැසියන් වශයෙන් උපයා ගත හැකි උපරිම සම්මානය වන භාරත පද්ම සම්මානය දිනා ඇති හෙතෙම ජනතා මුදල් ඉතා පරෙස්සමෙන් පරිහරණය කරන ලද අප‍්‍රමාණ මිනිසෙකු වශයෙන් ඉන්දීය ඉතිහාසය වර්ණවත් කරන චරිතයකි.

දූරදර්ශන් හි දෙමල නාලිකාව ලෝකය පුරා පතුරවන ලද ජනාධිපතිවරයාගේ ලේකම් නයියර් මහතා සමග කරන ලද සාකච්ඡාවේ ඇතුලත් කරුණු ගැන අපට හිතන්නට බොහෝ කරුණු ඇත. ඉන්දියාවේ පවා ඒ හා සමාන චරිත නැවත බිහි වී නැත. ඉන්දියාවට අද්විතීය චරිතයක් වන අතරවරයේ මෙම හැසිරීම අපට ආදර්ශයක් කරගත නොහැකි මන්ද? බලය අත් හරින්නට කිසිම අභිලාශයක් නැති මහජන නියෝජිතයෝ අපට සිටිති. ධුරයෙන් ඉවත්කරන ලද පසුව හෝ නිල නිවාස, නිල වාහන දිගටම පරිහරණය කරන්නට නැඹුරුය. රජයේ නිලධාරීන් පවා ක‍්‍රියා කරන අන්දම පුදුම සහගතය. මහජනයා ගෙවන බදු මුදලින් ජීවත්වන බවක් නොසිතන ඔවුහු ඉතා දුප්පත් ජනතාවගෙන් රටට ලැබෙන ආදායම ප‍්‍රයෝජනයට ගෙන අති සුඛෝපභෝගී ජීවිත ගත කරති. එය කොපමණ අවැඩදායකද? මහජන මුදල් පරිහරණය ගැන නොයෙක් සීමා තිබේ. අරපරෙස්සමෙන් භාවිතා කළ යුතු බවට චක‍්‍රලේඛන ඇත. නමුත් අනාවරණයවන තොරතුරු ඉතා පිලිකුල් සහගතය. තමන් පමණක් නොව දරු පවුල් පවා නඩත්තු කෙරෙන්නේ රජයේ වියදමෙන්ය. පි‍්‍රය සම්භාෂණ, විදේශ ගමන්, සෞඛ්‍ය වියදම් ඇතුළු සියළු දේ රජයෙන් ලැබෙන පිලිවෙලක් සකස් කරගෙන තිබේ.

අල්පේච්ඡ ජිවිතය ගැන බෞද්ධ දර්ශනය උගන්වයි. සෑම ආගමක්ම කුසගින්න, දුප්පත්කම හෝ වෙනත් අවශ්‍යතා හමුවේ කොන් වන ජන කොටස් වෙනුවෙන් පළ කළ යුතු දයාව හා කරුණාව ගැන කියා දෙයි. තමන්ගේ දෙයින් අනුන් පොහොසත් කරන්නේ කෙසේදැයි දක්වයි. ජන නායකයෝ ක‍්‍රියාකළ යුතු ජනතාව නගා සිටුවන්නටය. පවතින සම්පත් තමන්ට පමණක් උරුම කරගැනීම දේශපාලනය නොවේ. ඉතාම අවම පහසුකම් සහිතව දේශපාලනයට එන පසුව එතැනින් යැපී මහා ධන කුවේරයන් බවට පත්වීම නායකයන්ගේ පිලිවෙත විය යුතු නැත. ජනාධිපතිවරණයක්, ඉන් පසුව එන මහා මැතිවරණයක් අප ඉදිරියෙහි තිබේ. මෙම මැතිවරණ වල දී පත්කරගන්නා නායකයෝ හැබෑ ජනහිතකාමීහු ද? තමන් අඩුම වියදමකින් ජීවත් වී ජනතාවගේ යහපත වෙනුවෙන් මහා කැපවීමක් කරන්නට සූදානම් ද? අපට ඇති ප‍්‍රශ්නය එයයි. ආචාර්ය අබ්දුල් කලාම් වැනි චරිත තරම් කැපවීමක් බලාපොරොත්තු වන්නේ නැත. අඩුම තරමින් ඇදුම පැළදුම, යාන වාහන වලින් ආදර්ශයක් අවශ්‍යය. නිල නිවාස, නිල සංචාර, ඥාති හිතවතුන් වෙනුවෙන් කරන සංග‍්‍රහ යනා දී දේ වල දී ජනතා මුදල් පරිහරණය අවම කළ යුතුය. නියම මහජන සේවයක් රටට කරන ලද බව සිතා සැනසෙන්නට එය ප‍්‍රමාණවත්ය.