‘‘මල් පිපුණ ගහ කොළ සහෝදරියන්ය. ගංගාවෝ අපගේ සහෝදරයන්ය.’’ වශයෙන් අමරණීය ප‍්‍රකාශයක් සියැටල් කරන ලද බව ඉතිහාසය දක්වයි. ඇමරිකාවේ විසූ, හෙතෙම රතු ඉන්දියානු ජන නායකයෙකි. පසු කාලයක දී, ඇමරිකාවේ වොෂින්ටන් හි නගරයක් සියැටල් නමින් නම් කරන්නට ඔහු ගේ පරිසර හිතවාදී අදහස් පදනම් විය. කාර්මික, තාක්ෂණික වශයෙන් සංකීර්ණ තත්ත්වයකට පත් වූ ලෝකය ජනී ජනයාගේ ක‍්‍රියාකාරකම් හෙයින් පාරිසරික අර්බුද වලට මුහුණ පා සිටී. ලෝකයේ සියළු ජන කොටස් පරිසරය ආරක්ෂා කරගෙන ඒවායේ පැවැත්ම සුරක්ෂිත කිරීමට බලවත් වෙහෙසක් දරයි. මහ පොලව, ජලය, ගංගා සහ වන සතුන් ගේ පැවැත්ම සුරක්ෂිත කරන්නට විවිධ වැඩ පිලිවෙල සකස් වී තිබේ.
චීනය පරිසරය ආරක්ෂා කිරීම අරභයා අලූත් අදහසක් හදුන්වා දී ඇත. එනම් ගංගාධිපතිවරු පත් කිරීමේ වැඩ පිලිවෙලකි. 2017 වසරේ දී ගංගාධිපති ධුර ඇති කරන ප‍්‍රතිපත්ති තීරණය ගෙන ඇත. ඉකුත් ජූලි මාසය අවසන් වන විට රට පුරා සෑහෙන ප‍්‍රමාණයක් ජල පද්ධති ආවරණය වන පරිදි ඒවා යේ වගකීම ඉසිලිය හැකි පුද්ගලයන් මිලියන 1.06 ක් ගංගාධිපතිවරුන් වශයෙන් පත් කර තිබේ. මෙම වසර අවසන් වන විට චීනයේ සියළුම ගංගා වල ගලා බසින ස්ථාන, රට පුරා පිහිටි ජලාශ ආවරණය වන පරිදි එක් එක් කොටස් වෙන් වෙන් වශයෙන් බෙදා ඒවා සඳහා බලය ඇති ප‍්‍රධානියෙකු පත් කරන්නට නියමිතය. මෙම පිරිසට අංශ හයක් යටතේ පහසුකම් සම්පාදනය කෙරේ.
ගංගාධිපතිවරු ජල මූලාශ‍්‍ර ආරක්ෂා කළ යුතුය. ජලාශ අපවිත‍්‍රවීම වැලැක්විය යුතු අතර ඒවා පාලනය කිරීමේ බලය පැවරේ. ජෛව විවිධත්වය ආරක්ෂා වන අන්දමට රැක බලා ගැනීමේ වගකීම පැවරෙන අතර කිසියම් හානියක් ගැන වාර්තා වුවහොත් එහි වගකීම අලූතින් පත් වන ගංගාවේ එකී ප‍්‍රදේශය භාර නිලධාරියා වෙත සෘජුව පැවරේ. නිති පතා ගංගා හා ජලාශ ප‍්‍රදේශ වල සැරි සරමින් ඒවායේ සිදුවන හානි පරීක්ෂා කර බැලිය යුතු අතර චීන ආණ්ඩුවේ ආයතන හා බල ප‍්‍රදේශයෙන් කොමියුනිස්ට් පක්ෂ ශාඛාව අතර සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට නියම කර ඇත. මෙම තනතුර ජීවිත කාලයටම පවරන වගකීමක් වශයෙන් නිර්මාණය කර ඇති බව බෙයිජිං නගරයෙන් ලැබෙන වාර්තා අනාවරණය කරයි. වගකීම භාර ගත් පසු එය අතරමග දී අත්හැර දැමීමට නොහැක. ඉල්ලා අස්වීමට හෝ වෙනත් අයෙකුට පැවරිය නොහැකි පරිදි බලවත් ව්‍යුහයක් වශයෙන් සකස් කර ඇති අතර එය මනා පිලිගැනීමකට ලක් වන හේතුවක් වශයෙන් දැකිය හැකිය.
විශාල භූමියක්, විශාල ජනගහනයක් සහිත මහජන චීනයේ ජල පරිශ‍්‍ර අනතුරකට මුහුණ පා ඇති බව නොරහසකි. සෑහෙන ජල පද්ධති ප‍්‍රමාණයක මත්ස්‍යයන් පවා රහිත අක‍්‍රීය ස්ථාන බවට පත්ව තිබේ. ජල මාර්ග වලින් සියයට අනූවක් පමණ කාර්මික ද්‍රව්‍ය හා ජනතාවගේ අපද්‍රව්‍ය එකතු වීමෙන් දූෂිත වී ඇත. ඇතැම් ගංගා වල ජලය පානය කිරීමට පවා නුසුදුසු තත්ත්වයකපවතින බව එරට පර්යේෂණ වාර්තා අනාවණය කර තිබේ. මෙය සංවර්ධනය වන රටවල් මුහුණ පාන තත්ත්වයක් බව නොරහසකි. කර්මාන්ත හා ව්‍යාපාර රටක දියුණුව සඳහා ඉවහල් වෙයි. නමුත් ඒවායේ අපද්‍රව්‍ය නිසි කලමණාකරනයකින් තොරව බාහිර පරිසරයට මුදා හැරීම බලවත් ප‍්‍රශ්නයකි. කම්හල් වල අපද්‍රව්‍ය නිසි පද්ධති භාවිතා නොකර කෙලින්ම ගංගා හා ඇල දොල වලට යොමු වන බව චීනයේ නොයෙක් ප‍්‍රදේශ වලින් වාර්තා වෙයි. ජනතා සහභාගීත්වයෙන්, නමුත් නිසි යාන්ත‍්‍රණයක් සහිතව ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගැනීමට චීනය අලූතින් අදහස් කර තිබේ. ගංගා, ඇලදොල හා ජලාශ භාර නිලධාරීන් තෝරා පත් කිරීම එහි ප‍්‍රතිඵලයක් බව පෙනේ.
ශ‍්‍රී ලංකාව උසස් වාරි සංස්කෘතියක් ඇති රටකි. මධ්‍ය කදුකරයෙන් ඇරඹෙන ගංගා රට පුරා වියලි බිම් තෙත් කරමින් මුහුදට ගලා බසී. වියලි කලාපය ආශ‍්‍රිතව වැව් විශාල ප‍්‍රමාණයකි. අතුරු ඇල මාර්ග හා සම්බන්ධ වන වැව් පද්ධතිය ජනතාවගේ ජල අවශ්‍යතා පමණක් නොව බව භෝග වගා කිරීමේ ක‍්‍රියාවලියට ද පුලූල් දායකත්වයක් සපයයි. මෙරට ජල පද්ධති දුෂණයවීම ගැන නොයෙක් තැන් වලින් වාර්තා ලැබේ. රට පුරා පැතිර යන වකුගඩු රෝගයට පවා වස විස මුසු වූ ජලය පරිහරණය එක හේතුවක් වශයෙන් බලපා ඇති බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත. අපවිත‍්‍ර වූ ජලය පානය කිරීම වලක්වන වවිධ ක‍්‍රියාමාර්ග ආණ්ඩුව සහ මහජන සංවිධාන අනුගමනය කරමින් සිටී. නමුත් මෙරට ජල පද්ධති ආරක්ෂා කරගෙන ඒවායේ තිර සාර පැවැත්ම වෙනුවෙන් ගතයුතු සම්පූර්ණ අවධානය යොමු වී ඇත්දැයි සොයා බැලීම වැදගත්ය. චීනය ගංගාධිපති වැඩ සටහනක් අරඹන විට එයට සමාන්තරව මෙරට ජල පද්ධති වෙනුවෙන් විශේෂ කැපවීමෙන් යුතු පිරිස් යොදවන්නට පියවර නොගන්නේ මන්ද?
බස්නාහිර පලාත ආවරණය කරමින් බැස යන ගංගා සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු කිහිපයක් තිබේ. ඒවා අතරින් කැළණි ගඟ විශේෂය. එයින් වර්ග කිලෝ මීටර් 2,230 ක භූමි ප‍්‍රදේශයක් පෝෂණය කරන බව දැක්වෙයි. බස්නාහිර පලාත පසුකර කැළණියෙන් මුහුදට එකතුවීමට කලින් මධ්‍යම, සබරගමුව යන පලාත් ඔස්සේ ගලා යන කැළණි ගඟ මෙරට ජාතික විදුලි බල පද්ධතිය පෝෂණය කරන ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර සහ කැනියන් යන බලාගාර හතරකට ද අවශ්‍ය ජලය සම්පාදනය කරයි. ගඟ දෙපස ජීවත්වන දස දහස් සංඛ්‍යාත පිරිසකට පානීය ජල, කෘෂි සහ විවිධ කර්මාන්ත සඳහා පහසුකම් සපයයි. කොළඹ නගරය සහ ආශ‍්‍රිත ප‍්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවයෙන් සියයට 80 ක් සපයන්නේ කැළණි ගගෙන් ලබා ගන්නා ජලය පිරිසිදු කර බෙදා හැරීමෙන් බව ජල සම්පාදන මණ්ඩලයේ වාර්තා කියයි. නමුත් අවාසනාවකට මෙන් බස්නාහිර පලාත තුළ දී කැළණි ගඟ අතිශය අප‍්‍රසන්න තත්ත්වයකට පත්වෙයි. කඩුවෙල සිට මෝදර දක්වා ගඟ දෙපස ඇති හෝටල්, කාර්මික ස්ථාන සහ කම්හල් හය දහස් පන්සියයකට වැඩි ස්ථාන ප‍්‍රමාණයකින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු වන්නේ කැළණි ගඟට බව පරිසර අමාත්‍යංශ වාර්තාවල දැක්වෙයි. මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි. ගඟ අසල ඉඩම් කොටු කරගෙන දැවැන්ත කම්හල් ඉදි කරගෙන ඇති අතර ඒවායේ අපවිත‍්‍ර ද්‍රව්‍ය නල මගින් කෙලින්ම ගඟට යොමු කර ඇත. මෙමගින් ගඟ පරිහරණය කරන ජනතාවට පමණක් නොව ගංඟාවේ ජෛව විවිධත්වයට ද හානි පමුණුවා තිබේ.
ගෘහස්ථ ඝන අපද්‍රව්‍ය සහ අපවිත‍්‍ර ජලය, කෘෂි රසායන ගඟ දෙපස ඇති ආයතන වල මිනිස් මළ අපද්‍රව්‍ය කිසිම බාධාවකින් තොරව ගංගා ඇල දොල වලට එකතු වන අතර වැලි ගොඩ දැමීම, දෙපස ඇති අනවසර ඉදිකිරීම් ජල පද්ධති වලට බරපතල තර්ජනයක් ඇති කරන බව ඉතාමත් පැහැදිලිය. අදාල වගකිව යුතු අංශ, පරිසර ලෝලීන් නිති පතා මෙරට ඇල දොල ගංගා ආරක්ෂා කරගැනීමට ප‍්‍රයත්න දරමින් සිටී. නමුත් එකී බලය අභිබවමින් සෑම ගංගාවක්ම, ජලාශයක්ම අනතුරකට පත්ව ඇත. සමාජයට මේ ගැන අවබෝධයක් තිබේ. ගංගා හා ඇල මාර්ග දෙපස පදිංචි ජනතාවට ගංගා වල ස්වභාවය ගැන හොඳ අවබෝධයක ඇත. මෙම ස්වභාවය ගැන අලූතින් හිතන්නට අවශ්‍යය.
|