» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/04/2018 - ඉරිදා ලංකාදීප
බුද්ධ දර්ශනයට අනුකූලව පැවැත්ම තේරුම් ගැනීම

පසුගියදා නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළමු පිටුවේ මහනුවර දිගන සිද්ධියට අදාල පින්තූරයක් පළ විය. බටහිර ජනමාධ්‍ය අතර ප‍්‍රමුඛ තැනක ලා සලකන මෙම පුවත්පත සිද්ධි වාර්තාකරණය අනුව ශ‍්‍රී ලංකාවේ තොරතුරක් තෝරා ගත්තේ ආගමික ගැටුම ගැන කරුණු පෙන්වා දෙමින් බව සඳහන් කළ යුතුය. එම පින්තූර සමග පළවන ලිපියෙන් සමාජ මාධ්‍ය මගින් පතුරවන අදහස් ගැන දක්වන අතර බෞද්ධයන් මුස්ලිම් ජාතිකයන්ට ඇති කරන පීඩනය ගැන කරුණු අනාවරණය කර තිබේ. මෙයින් ශ‍්‍රී ලංකාව ආගමික අන්තවාදයක් කරා ගමන් කරන බව විග‍්‍රහ කරන බව පැහැදිලිව අවබෝධ කරගත හැකිය. බුරුමය ගැන ද ජාත්‍යන්තර ප‍්‍රජාව කතා කරන්නේ ද මෙම ආකාරයටය. බුරුම වැසියන් පමණක් නොව සංඝයා වහන්සේලා ගැන ද දැඩි ආගම්වාදී ප‍්‍රතිරූපයක් ඇති කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ගේ ප‍්‍රවණතා, ආකල්ප සහ හැසිරීම නිව්යෝක් ටයිම්ස් පුවත්පත පමණක් නොව නොයෙක් මාධ්‍ය මගින් ප‍්‍රශ්න කරන බව පෙනේ. පෙලපාලි සහ උද්ඝෝෂණ වලට සහභාගී වන භික්ෂුන් වහන්සේලාගේ ආවේගශීලී පින්තූර නොයෙක් තැන් වල භාවිතා කරමින් සිටී. ඒවායෙන් මතු කරන අර්ථකතන ප‍්‍රශ්න සහගතය. නමුත් යථාර්ථය එය නොවේ. බෞද්ධයන් වශයෙන් ශ‍්‍රී ලංකාවාසීහු අන්තවාදී නැත. බොදුනුවන් අන්තවාදී නැති බවට විශාල විශ්වාසයක් අප සියළු දෙනාටම තිබේ. ජන සමාජය තුළ විවිධ අදහස් පවතින නමුත් බුදු දහම මගින් පෝෂණය කරන සමාජය තවත් ආගමක ජන කොටසකට කෲර අන්දමට සලකන බව පොදුවේ පිලිගත නොහැකිය. සුළු සිද්ධි සහ ඒවා ඇතිකරන ලද පසුබිම සාකච්ඡුා කිරීමෙන් තොරව මතුකරන මත සාධාරණ නැත.

ජාත්‍යන්තරය තුළ බුද්ධාගම ගැන විශාල ප‍්‍රබෝධයක් තිබේ. තොරතුරු තාක්ෂණික යුගයේ දී ගැලපෙන දහම බුද්ධාගම බව විද්‍යාර්ථීන්ගේ පිලිගැනීමයි. වෙසක් දිනයේ දී බෞද්ධ ප‍්‍රබෝධය මහත් අභිමානයෙන් සමරන අතර පවතින ස්වභාවය ගැන ගැඹුරින් සලකා බැලීම වැදගත්ය.

සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලැබුවේ අද වැනි දිනකය. ගිහි ගෙයින් නික්ම, සියළු කෙලෙස් මැඩ බුද්ධත්වය ලබන්නේ අද වැනි පොහොය දිනකය. නැවත ඉපදීමක් නැති අමා මහ නිවන් අවබෝධ කරගත් ගෞතම බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ද අද වැනි වෙසක් දිනයක බව බෞද්ධ සාහිත්‍ය සනාථ කරයි. සිදුහත් කුමාරයා එවකට පැවැති සංකීර්ණ සමාජ ව්‍යුහය තුළ සදාකාලික විමුක්තිය සොයා ගියේය. අමා මහ නිවන අවබෝධ කරගත්තේය. ගෞතම බුදු රජාණන්වහන්සේ ජීවිතය සම්බන්ධ මැද මාවතක් දැක්වූහ, අන්තවාදය ප‍්‍රතික්ෂේප කරන ලද අතර වෙනස්වීම අරභයා ජීවන දර්ශනය පෙන්වා දුන්හ. සදාකාලික නැති බව වදාලහ. සත්‍ය තේරුම් ගෙන ජන ජීවිතය සැනසිලිදායක තැනක් කරගන්නේ කෙසේදැයි දෙසා වදාලහ. බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සර්ව කාලීන වන අතර බුදු දහම එහි පැවැත්ම කෙරෙහි බොදුනුවන් වශයෙන් අප සියළු දෙනා දක්වන ආකල්ප දෙස පුළුල් අවබෝධයක් ඇති කරගැනීම ඉතාමත් වැදගත්ය. මෙවැනි දර්ශනයක් අනුගමනය කරන ප‍්‍රජාවක් අන්තවාදී පිරිසක් වශයෙන් දක්වන්නේ ඇයි?

ධර්මය නොකිලිටිය. එය තර්කාන්විතය. බුදු රජාණන් වහන්සේ කාලාම සූත‍්‍රයෙහි දේශනා කරන ලද පරිදි රන්කරුවෙකු නියම රත්රන් දැයි සොයාගන්නට රන් කැබැල්ලක් කපා කොටා එයින් ද නතර නොවී පුළුස්සා බලා තහවුුරු කරගන්නා මෙන් ධර්මය ද පිරිසිදු සත්‍යයක් දැයි විමසා බලන්නට බාධාවක් නැති බව දේශනා කළහ. නමුත් බාහිර සමාජය සිද්ධි සම්බන්ධයෙන් මතුපිටින් ප‍්‍රශ්න කරන අතර පටු නිගමන වලට පැමිණෙයි. එයින් සිදුවන හානිය බරපතලය. ශ‍්‍රී ලංකාවේ වැසියන් පමණක් නොව බුදු දහම ගැන ද ගැටළු ඇති කර තිබේ. වෙසක් උත්සව පවත්වන වකවානුවේ දී පවතින අභියෝගය ගැන සාකච්ඡුා කිරීමට අපට වගකීමක් ඇත.

බුද්ධාගම අන්තවාදී ආගමක්ද? බුදු දහම අනුව ජීවත්වන පිරිස අන්තවාදීන්ද? ශ‍්‍රී ලාංකික බොදුනු සමාජයට අනෙක් ආගමක් අදහන අසල්වාසින් ගේ අනන්‍යතා ඉවසන්නට නොහැකි ද යන්න අප විමසා බැලිය යුතුය. බොදුනුවන් වශයෙන් අප සියළුම දෙනා ස්වයං විවේචනයකට සූදානම්වීම සුදුසුය. බෞද්ධයන් වශයෙන් අප මුහුණ දී ඇති සැබෑ ප‍්‍රශ්නය අවබෝධ කර ගැනීම අවශ්‍යය. ආගමික විනයක් ඇති ජන කොටසක් වශයෙන් මෙහෙම සිද්ධවීමට හේතුව කුමක්දැයි විමසා බැලීම වැදගත්ය.

ධර්මය ආරක්ෂා කරන පන්සල වෙනස් තැනක් බවට පත්ව තිබේ. විහාරස්ථානයේ ස්වභාවල අනුව තරුණ පෙළ එතැනින් දුරස් වී තිබේ. බුදු දහම පිලිපදින සංඝරත්නය අතර පරස්පරතා ඇත. උපාසක උපාසිකාවෝ ද බෙදී වෙන්වී ඇත. බුදු දහම බෙදා සත්‍ය පතුරවනු වෙනුවට ධර්මය ඇතැයි එය බදාගන්නා තැන් අද රට පුරා බහුලය. බෞද්ධ සංඝයාවහන්සේ ගේ සිට උපාසක උපාසිකාව දක්වා අනුගමනය කරන බුද්ධාගම වෙනස් එකක් බව කියන්නට නොපැකිලෙන බව පෙනෙන්නට තිබේ. මාධ්‍යය එය සංකීර්ණ තැනකට පත් කර ඇත. ධර්මය සමාජගත කිරීම හා ප‍්‍රචාරණය වෙනුවෙන් අති විශාල තරගයක් පවතින බව සඳහන් කළ යුතුය. බුදු රජාණන් වහන්සේ අනු දැන වදාල සරල ජීවන දර්ශනය අනුගමනය කරන්නට නොහැකි තැන බුදු සරණ නැත. දහම් සරණ ලැබෙන්නේ නැති බව නිසැකය. බේධයෙන් තොරව ධර්මය අද පවතින ස්වභාවය දෙස බලන්නට මහා සංඝ රත්නයට සහ බොදුනු ජනතාවට ධෛර්යයක් තිබිය යුතුය.

ජාති ආගම් වශයෙන් සමාජය බෙදී තිබේ. කුළ හා සමාජ පැලැන්තිය පැහැදිලිව පෙනෙන බෙදීම් ඇති කර ඇත. දේශපාලන පක්ෂය, ඉගෙන ගත් පාසල, කතා කරන භාෂාව පමණක් නොව ධන බලය ද සමාජය කොටස් වලට බෙදා වෙන් කර තිබේ. ගිහි පැවිදි සියළු පාර්ශව මෙම කරුණු ගැන මධ්‍යස්ථව හිතන්නට අවශ්‍යය. ලාංකේය සමාජයක් වශයෙන් එකට එකතු නොවුනහොත් පැවැත්මක් නැත. බෙදී වෙන්වී ඇති සමාජයට එකතු වීමට ඇති බාධා මොනවාද? අනෙක් පාර්ශවය ගැන අනවබෝධයයි. අනෙක් ජාතිය, අනෙක් ආගම, අනෙක් දේශපාලන පක්ෂය ගැන ප‍්‍රති පාර්ශවයට ඇති අවබෝධය සීමිතය. එක පැත්තක් ගැන හොඳට හිතන ජන කොටස අනෙක් පාර්ශවය ගැන සැකයෙන් බලන්නේ මෙකී අනවබෝධය හෙයින් බව සඳහන් කරන්නට අවශ්‍යය.

ශී‍්‍ර ලංකාවේ ජීවත්වන ජනතාව සියළු දෙනා අනෙක් පාර්ශවයේ අනන්‍යතාවය, සංස්කෘතික ලක්ෂණ සහ සිරිත් විරිත් ගැන දැන ගැනීම අවශ්‍යය. බොදුනුවන් වශයෙන් අපට අසාධාරණයක් අයුක්තියක් සිදුවී ඇත්දැයි විමර්ෂණය කිරීම සඳහා මෙම ගැඹුරු අවබෝධය සමාජයේ අප සියළු දෙනාටම ඉතාම වැදගත් බව සඳහන් කළ යුතුය. නමුත් අවාසනාවකට මෙන් මෙම අවබෝධය තිබිය යුතුම සහ අවබෝධය තවත් කෙනෙකුට ලබා දිය හැකි සමාජයේ පිලිගත් පාර්ශවයේ ඇතැම් අයවලූන්හට එය නැත. ආගමික නායකයන් පමණක් නොව පුරවැසි නායකයන් ද පෙන්වන්නේ එකී දුර්වලතාවයයි. සුළු සිද්ධි විශාල ගැටුම් හා අර්බුද බවට පත් කරන්නේ මෙකී නොතේරුම් භාවයයි. බෞද්ධ දර්ශනය අනුව ප‍්‍රශ්නයකට විස`දුමක් සොයා ගත නොහැකි නම් අපට බොදුනුවන්වීම ගැන ප‍්‍රශ්නයක් තිබේ. මෙම තත්ත්වය සීමාව ඉක්මවන අවස්ථාවේදී ජාත්‍යන්තර ප‍්‍රජාව බෞද්ධාගම අන්තවාදී ආගමක් බවට නිර්වචනය කරන අතර බෞද්ධ ජනතාව අන්තවාදී ප‍්‍රජාවක් බවට හªන්වමින් සිටී. වෙසක් සමරන මෙම කාලයේ දී බෞද්ධකම ගැන අප විවෘතව සාකච්ඡුා කළ යුතුය. බෞද්ධ ජනතාව සතු ශක්තිය ගැන නිසි සංවාදයකට යා යුතුය.