» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
29/01/2017 - ඉරිදා ලංකාදීප
සත්ත්ව හිංසනය ගැන කතා කිරීම තහනම් කළ යුතු යැයි බලකෙරෙන සමාජයක්

මිනිස් අයිතිවාසිකම් හා සමානවම ගහ කොළ වන සතුන් ගේ පැවැත්ම ගැන උනන්දු වන ජන කොටස් සිටී. කුඩා සමාජ වශයෙන් සංවිධානගත වන ඔවුහු මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා සිදුවන බලපෑම් වලකන මතයක් ඇති කරන්නට මහන්සිවෙති. අරමුණට ලැදි, ගහ කොළ වන සතුන් වෙනුවෙන් හිතන ජනී ජනයා ඒවා වටා එකතු වෙති. පිටා - People for Ethical Treatment of Animals (PETA) එවැනි සංවිධානයකි. තිස් හය වසරකට කලින් ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයෙන් ඇරඹුන මෙම ආයතනයේ අද කාර්ය මණ්ඩලය තුන් සියයකි. ලෝකය පුරා ව්‍යාප්ත වී තිබේ. සාමාජිකත්වය මිලියන තුනකට වැඩි පිරිසකි. තවත් මිලියන දෙකක් පමණ ඔවුන් ඉදිරිපත් කරන මතයට ගරු කරන බව දැක්වෙයි. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ලාභ නොලබන පිටා ස්වේච්ඡා සංවිධානයේ ශාඛා පිහිටුවා තිබේ.

සත්ත්වයන් ආහාරය සඳහා නොවේ. ඇඟළුම් හදාගන්නට ද නොවේ. පර්යේෂණ කරන්නට හෝ විනෝදයට උපයෝගී කරගත යුතු නැත. මොනම ආකාරයකින් හෝ අපහරණය කළ යුතු නැති බව පිටා සංවිධානයේ තේමාවයි. පසුගිය දා ඉන්දිය තමිල්නාඩු ප‍්‍රාන්තයේ උද්ඝෝෂණයක් තිබිණ. ’ පිටා අපට එපා. වහා ඉන්දියාවෙන් පිටවෙනු’ එකී උද්ඝෝෂකයෝ කෑගසා ප‍්‍රකාශ කළේය. ඉන්ග‍්‍රිඞ් නිව්කි‍්‍රක්ට් මෙම පිටා ස්වේච්ඡා සංවිධානයේ නිර්මාතෘවරියයි. බි‍්‍රතාන්‍යයේ උපත ලබා ඇයගේ පියාගේ වෘත්තිය හෙයින් කාලයක් ඉන්දියාවේ ජීවත් වූ ඇය, පසුව ස්ථිර පදිංචිය සඳහා තෝරා ගත්තේ ඇමරිකාවයි. සත්ව හිංසනය වලක්වන පියවර වෙනුවෙන් ජන මතය ඇති කරන පිටා වහා රටින් පිටකරන සේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ට බලකරන්නට තමිල්නාඩු වැසියන් පියවර ගත් අතර එය රට කළඹවන සිද්ධියක් බවට පත්විය.

පිටා සංවිධානය තමිල්නාඩු ප‍්‍රාන්තයේ අනන්‍ය ක‍්‍රිඩාවක් සේ සැලකෙන ජල්ලිකට්ටු අංගය සත්ත්ව හිංසනයක් යැයි ලොව පුරා මතයක් ඇති කළේය. එය ප‍්‍රකෝපකරන ගවයෙකු සමග කරන ක‍්‍රිඩාවකි. විශේෂ ජන කොටසක් එය තමන්ගේ සංස්කෘතික ලක්ෂණයන්හි කොටසක් සේ සලකයි. තමිල්නාඩුවේ තරුණයෝ කෝප ගන්වන ලද ගවයාගේ අං වල එල්ලී පාලනය කරන්නට තැත් කරන අතර එයට සමත්වන අයට තෑගි වශයෙන් මුදල් නෝට්ටු එහි ගැට ගසන බව සඳහන්ය. රැස්ව සිටින ජනී ජනයා ඔල්වරසන් දෙයි. තැති ගත් සත්වයා අසරණව දුවන අතර එය නරඹන්නන්ට අතිශය සතුටට හේතුවකි. ස්පාඤ්ඤයේ ගොන් සටන් වලට සමාන මෙම අංගය තහනම් කරන්නට ඉන්දීය අධිකරණය තීරණය කළේය. සත්වයෙකු හිංසනයට පත්කර කෘර ලෙස විනෝදවීම සමාජයට නොගැලපෙන බව සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටි පිටා වැනි ස්වේච්ඡා සංවිධාන දීර්ඝ කාලයක් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව ගත් මෙම තීරණය තමිල්නාඩුවේ වැසියන් ප‍්‍රකෝප කරන්නට සමත් වී ඇත. අපේ සිරිත් වලට අත ගැහීම වරදක් බව කියන තමිල්නාඩු සංවිධාන ඉන්දීය අධිකරණ තීරණයට විරෝධය පළකරන ලද අතර එය මධ්‍ය රජයට විශාල බලපෑමක් එල්ල කළේය.

ජල්ලිකට්ටු තහනම ඉන්දීය දේශපාලනය තුළ සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය කළේය. විරෝධය පැන නැගුණේ නොසිතූ අන්දමට බව පැහැදිලිව පෙණින. විරෝධයකට සම්බන්ධ වෙන්නට පැමිණි දේශපාලනඥයන් ප‍්‍රතික්ශේප කරන ලද විරෝධතාකරුවන් මහ ආණ්ඩුවට බල කළේ ජල්ලිකට්ටු කීඩාව තහනම් කරන අධිකරණ තීරණය වෙනස් කරන ලෙසය. අගමැති නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ සඳහනක් කරමින් එයට අවනත වූ අතර ජල්ලිකට්ටු කී‍්‍රඩාවට ඉඩ දෙන බවට එකඟතාව පළ කළේය. හින්දු සංස්කෘතිය අනුව ගවයා සශී‍්‍රකත්වයේ සංකේතයකි. ගොවිතැනට උපකාර වන ගවයා සරසා ආහාර සම්පාදනය කර සතුටු කරන අතර එය අලූත් අවුරුදු සංස්කෘතියෙහි කොටසකි. තෛපොන්ගල් උත්සවයේ දී ගොනුන් සතුටු කරන දෙමල සමාජය තවත් අවස්ථාවක ගව කෙළි වලින් පී‍්‍රති වෙන්නේ අනන්‍යතාවය අනුව බව දෙමල ජනතාවගේ තර්කය වී තිබේ. අනුන්ගේ සංස්කෘතියට ඇඟිල්ල පොවන්නට බාහිර සංවිධාන වලට අයිතියක් නැති බව ට තමිල්නාඩු වැසියන් නැගී සිටින විට එයට අවනත වෙන්නට මහ ආණ්ඩුවට සිදුවිය.

හින්දු හෝ දෙමල අනන්‍යතාවයට බාහිරින් බලපෑම් කරන බව දැනෙන විට තමිල්නාඩු වැසියන් නැගී සිටියේ ජල්ලිකට්ටු සංකේතයක් කරගනිමින්ය. ජාතිය, තමන්ගේ සංස්කෘතිය වෙනස් කරන්නට කරන මැදිහත්වීම තරයේ ප‍්‍රතික්ෂේප කරන්නට ක්ෂණයකින් නැගී සිටීම ලෝකය පුරා ප‍්‍රබල මතයක් විසුරුවා හැරියේය. පිටා සංවිධානය සත්ව හිංසනය, ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සහ ග‍්‍රීන්පීස් පරිසරය වැනි අංශ වෙනුවෙන් ලෝකය පුරා මත ඇතිකරන විට රටවල් ඇතුලේ ජන කොටස් වල අනන්‍ය ඇවතුම් පැවතුම් ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්ය. ලෝකයේ තැනින් තැන අවදිවීම් දක්නට ලැබේ. සුළු සිද්ධියකින් සසලවන ජන කොටස් ආවේගයෙන් නැගී සිටියි. තමිල්නාඩුව එහි එක පැත්තක් පමණකි. ජාත්‍යන්තර පොදු සංකේත ඇතිකර පොදු ගුණාංග පතුරවන්නට සූදානම් වන විට එයින් සසල වන ජන කොටස් අවදිවන බව නොයෙක් උදාහරණ වලින් දැක්විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ අනන්‍ය දේ වෙනස් කරන්නට සූදානම් වීම ද අවධානයට ගත යුතුය. සමාජ ගෝලීයකරණය අනුව නොයෙක් අදහස් පැන නැගේ. ලෝකයේ එක පැත්තක සාධාරණ නොවන බව හිතන ඇතැම් අංග තවත් පැත්තක ජනතාවගේ පැවැත්මෙහි පදනමකි. තිරික්කල රේස් වැරදි යැයි කියන්නට සමාජ සංවිධාන ඉදිරිපත්ව තිබේ. අලි ඇතුන් හිමිකරුවන් ගැන කතාකරන්නට පටන්ගෙන ඇත. අලි ඇතුන් ඇතිකරන්නන් ගෙන් හිංසා සිදුවන, පෙරහර වැනි සමාජ ඉසව් වලට සම්බන්ධ කරගැනීම නරක බව දෝෂදර්ශනයට ලක්ව තිබේ. නොයෙක් තැන ගව කෙළි, කුකුළු ඔට්ටු, පරෙවියන් ගේ ක‍්‍රීඩා සහ වනයේ ජීවත්වන සතුන් ගෘහස්ථව ඇතිකිරීම යනාදිය ගැන සත්ව අයිතිවාසිකම් ගැන කතාකරන අයගෙන් විවේචන තිබේ. වැදි ජනතාව තම දඩයම් හා සතුන් ඇති කිරීම ගැටළු සහගත තැනකට පත්ව ඇති බව පෙනේ. මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාව පවා ඉස්ලාම් ආගම අනුව කුරුබානි යනුවෙන් බිලි පූජාවක් කරයි. එයට විරුද්ධ වූ අවස්ථා ඇත. රට තුළ ජීවත් වෙන දෙමල පිරිස රාම සහ හනුමන්තා වෙනුවෙන් පෙනී සිටින බව ද නිරීක්ෂණය කළ හැකිය. මෑතක දී අනාවරණය වූයේ හනුමන්තා රඟපාන්නට ගිය දරුවන් ගිනි ඇවිලී මිය ගිය බවය. උපත, විවාහය සහ මරණය ආශි‍්‍රතව නොයෙක් චාරිත‍්‍ර ඇති බව පෙන්වා දිය යුතුය. මේවායේ ලක්ෂණ මහ සංස්කෘතික අනන්‍යතා අනුව සිදුවන එකිනෙකට වෙනස් දේ සෑහෙන පෙන්වා දිය හැකිය. මේවා නතර කරන්නට බල කළ හැකිද? එයින් සත්ව හිංසනයක් හෝ මානව හිමිකම් වලට බාධාවක් යැයි තර්කයක් ගොඩ නැගෙන්නට ඉඩ දිය යුතුද? සාකච්ඡා කළ යුතුය.

ගව හිංසනය බව සඳහන් කර තිරික්කල තරග වලට ඉඩ නොදීම ප‍්‍රශ්න ඇති කරන්නට ඉඩ තිබේ. පෙරහරෙන් අලි ඇතුන් ඉවත් කිරීමට පියවර ගතහොත් එය සංස්කෘතික ගැටළු ඇතිකරනු ඇත. මුස්ලිම් විවාහ සිරිත්, තරුණයන් සඳහා බලපාන චාරිත‍්‍ර හින්දු සංස්කෘතියේ ඇති සිරිත් විරිත් පාලනය කිරීමට සූදානම්වීම සුදුසු නැත. සියළු අංගෝපාංග පොහොසත්ව ඇත්තේ විශ්වාසයකින් බව සඳහන් කළ යුතුය. එය එකී ජන කොට්ඨාශයේ අනන්‍යතාවයයි. එය රැකුනොත් තමන්ගේ පරපුර පවතින බවට පවතින සංකල්ප විනාශ කිරීම සුදුසු නැත. සංස්කෘතික අනන්‍යතා සම්බන්ධ ජනී ජනයාගේ මතිමතාන්තර වලට බලපෑම් කරන්නට උත්සාහ කිරීමෙන් සිදුවිය හැකි ප‍්‍රතිවිපාක ඉන්දියාවේ ජල්ලිකට්ටු සිද්ධිය මැනැවින් දක්වයි. මතයක් ඇති වන විට ඒවා විසඳාගන්නට ජනතාවට සංවාද මණ්ඩපයක් සකස් කරගැනීමට ඉඩ දීම වැදගත්ය. ජාතික මටට්මින් තීන්දු ගැනීමට සූදානම් වන විට කොතැනකින් හෝ ඇවිලී ජන විරෝධතා නැගෙන්නට ඉඩ ඇත. ඉගෙනගත යුතු පාඩම එයයි.