» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/10/2018 - ඉරිදා ලංකාදීප
ප‍්‍රතිරූප දේශපාලනයේ අවසානය සහ ප‍්‍රතිපත්ති දේශපාලනයේ ස්වභාවය

ජර්මනියේ බාවාරියන් ප‍්‍රාන්ත මැතිවරණය පසුගිය දා අවසන් විය. එහි ප‍්‍රතිඵලය අධ්‍යයනය කරන විට විශේෂිත ස්වභාවයක් පෙන්නුම් කළේය. මෙතෙක් පැවැති පුද්ගල ප‍්‍රතිරූප දේශපාලනය වෙනුවට ප‍්‍රතිපත්ති වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට එහි වැසියන් තීරණය කර තිබීමය. පරිසරය වෙනුවෙන් පෙනී සිටින ගී‍්‍රන් පක්ෂය සෑහෙන ප‍්‍රගතියක් දක්වා ඇත. ග‍්‍රීන් පක්ෂයේ සහාය රහිතව බලයට පත්වීමට බලවත් පක්ෂ අසමත් වනු ඇති බව අනාවරණය වෙමින් තිබේ.

ජර්මන් පෙඩරල් ජනරජය සමූහාණ්ඩුවකි. ස්වාධීනව මෙහෙයැවෙන ප‍්‍රාන්ත 16 කික් සමන්විතය. බාවාරියන් ප‍්‍රාන්තය ජර්මන් ආර්ථික හා සමාජ ව්‍යුහයේ බලවත් කොටසකි. ජර්මනියේ ආර්ථික ශක්තිය යනුවෙන් සඳහන් කළ හැකිය. බාවේරියන් මෝටර් වර්කස් නොඑසේනම් බී.එම්.ඩබ්ලියු. එහි එක සංකේතයකි. සුඛෝපභෝගී මොටර් රථ හා යතුරු පැදි මෙහි නිපදවන අතර 1945 වසර දක්වා එම කම්හලේ නිපදවන ගුවන් යානා එන්ජින් වලට විශාල ඉල්ලූමක් තිබුණි. සීමන්ස් දුරකථන හා අමතර කොටස් නිෂ්පාදන සමාගම තවත් ලෝක ප‍්‍රකට ව්‍යාපාරයකි. ඇලයාන්ස් මූල්‍ය ආයතනය එහි ඇති ලොව පුරා විහිදුණු තවත් ප‍්‍රධාන ජාත්‍යන්තර ආයතනයකි. බාවාරියන් රාජ්‍යයේ වැසියෝ සිය අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටින අතර උත්සව අවස්ථාවල අනන්‍ය සංස්කෘතික අංග ආරක්ෂා කරන්නට කැපවී සිටිති.

බාවාරියන් රාජ්‍යයේ අතීතය දෙස ආපසු හැරී බලන විට දක්ෂිණාංශික පාලනයකට නතුව සිටි බව සඳහන් කළ හැකිය. සී.එස්. යූ පක්ෂය වසර 1957 සිට තනි පක්ෂයක් වශයෙන් බාවාරියන් හි බලය තහවුරු කරගෙන සිටියේය. වසර 61 ක පාලන අයිතිය අභියෝගයට ලක් කරන්නට ගී‍්‍රන් පක්ෂය සමත්ව තිබේ. එය වත්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කර් ගේ ජනප‍්‍රියත්වයට ද කරන ලද අභියෝගයක් බව නිරීක්ෂණ වාර්තා දක්වයි. දීර්ඝ කාලයක් බාවාරියන් ආණ්ඩුවේ පවත්වා ගෙන ගිය තනි අයිතිය මෙවර ප‍්‍රාන්ත මැතිවරණයේ දී සියයට 12.1 ක ප‍්‍රතිශතයකින් පහලට ඇද දමන්නට ගී‍්‍රන් පක්ෂයට හැකියාව ලැබී තිබේ. සී.එස්. යූ පක්ෂය වැඩි ආසන ප‍්‍රමාණයක් ජයගෙන ඇති නමුත් දෙවැනි බලවත් පක්ෂය වශයෙන් ග‍්‍රීන් පක්ෂයේ වර්ධනය අවධානයට ගත යුතු කරුණකි. ග‍්‍රීන් පක්ෂයේ සහාය රහිතව ආණ්ඩුව පවත්වාගෙන යාමට හැකියාව අඩුය.

ග‍්‍රීන් පක්ෂයේ වැදගත්කම කුමක්ද? කත්රිනා ෂුල්ට්ස් සහ ලූඞ්වින් හාර්ට්මන් යන නායකයන් දෙපොල පක්ෂය මෙහෙයවයි. කත්රිනා මෙම දෙපොල අතරින් කැපී පෙනෙයි. සම්ප‍්‍රදායික බලවත් දේශපාලන චරිත අතර ග‍්‍රීන් පක්ෂය අලූත් මාවතක් තෝරා ගත්තේය. එය ධනවාදී හෝ වාමාංශික අදහස් වලට වෙනස් පැත්තක් ගෙන තිබේ. නව ලිබරල් අදහස් වලින් සමන්විතය. යුරෝපා අදහස් වලට සමීප වන අතර සරණාගතයන් කෙරෙහි කරුණාවෙන් ක‍්‍රියා කරයි. ජර්මන් ජනරජය යුරෝපා දේශ සීමා ආක‍්‍රමණය කරන සංක‍්‍රමණිකයන්ට නීති අනුව ක‍්‍රියාකරන අතර ග‍්‍රීන් පක්ෂය මෘදු අදහස් ඇතිව සිටී. පරිසර තත්ත්ව ගැන ප‍්‍රබල අවධානයක් යොමු කරන අතර හරිත අදහස් සමාජය තුළ විසුරුවා හරිමින් සිටී. එය කාලයක් තිස්සේ පරිසර හිතකාමී සිතිවිලි කෙරෙහි නැඹුරු වෙමින් සිටි සමාජය අවදි කිරීමක් වී තිබේ.

ලෝක විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට එක පියවරක් හෝ තැබීම වැදගත් බව ජර්මනියේ බාවාරියන් පක්ෂයේ සම නායිකා කත්රිනා කියා සිටියාය. පාසල් වියේ දී සිට තමන්ගේ හඬ යටපත් කරන්නට කිසිවෙකුට හැකියාවක් නොලැබුණ බව මැතිවරණය අතරතුර අවධාරණයෙන් කියා සිටියාය. පැරණි දේශපාලන තාරකා පරාජයට පත් කරන්නට අලූත් අදහස් සමත් විය. විශේෂයෙන් ගී‍්‍රන් පක්ෂයේ ප‍්‍රතිපත්ති කෙරෙහි ජනතාව අවධානය යොමු කළේය. සම්ප‍්‍රදායික දේශපාලනයේ ගතානුගතික අදහස් වලට වඩා ලෝකයේ පැවැත්ම ගැන ඉදිරිපත් කරන මානුෂවාදී ප‍්‍රතිපත්ති වලට බාවාරියානු වැසියෝ නතු වී තිබේ. වසර පහකට කලින් පැවැති ජනප‍්‍රසාදය අභිබවා දෙගුණයකින් ජනප‍්‍රියත්වය නංවා ගන්නට හරිත අදහස් සමත්ව තිබේ. පක්ෂ නායකයන්ගේ පෞරුෂය අනුව ඒවාට නැඹුරුවීම වෙනුවට පක්ෂ ප‍්‍රතිපත්ති අනුව ඡන්දය පාවිච්චි කරන්නට පෙළැඹී ඇත. මෙම ප‍්‍රවනතාව සලකා බලන්නේ ජර්මනියේ එක ප‍්‍රාන්තයක ප‍්‍රතිඵලය අනුවය. එය ගැඹුරෙන් සාකච්ඡා කරන්නට ජාත්‍යන්තර ප‍්‍රජාව යොමුවීම සලකා බැලිය යුතු කාරණයකි.

ශී‍්‍ර ලංකාවේ දේශපාලන ව්‍යුහය දශක හතක ඉතිහාසයක පවතී. සුපුරුදු දක්ෂිණාංශික හා වාමාංශික ප‍්‍රතිපත්ති මෑතක් වන තුරු පැවැතින. මෙරට මැතිවරණ වල දී දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති වලට වඩා පොරොන්දු වලට ජනතා ආකර්ශණය යොමු විය. පොරොන්දු පමණක් නොව ඒවා ඉදිරිපත් කරන ආකර්ශණීය චරිත ඡන්ද ප‍්‍රතිඵලය කෙරෙහි ඉතාමත් වැදගත් වූ බව පැහැදිලිව පෙනේ. ආකර්ශණීය චරිත කතාකරන, ඔවුන් ඉදිරිපත් කරන දර්ශනය ගැන අවධානයක් යොමු කරන්නේ නැති ඡන්ද දායකයෝ තමන්ගේ පක්ෂ නායකයා වටා එකතු වන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ජන නායකයන්ට වඩා ආකර්ශණීය චරිත දේශපාලනයට ප‍්‍රවේශවීම එහි ප‍්‍රතිඵලයකි.

දේශපාලන පක්ෂ පරම්පරා ගණන් පවතින ඒවා විය යුතු නැත. නීති පතා අලූත් අදහස්, අලූත් වැඩ පිලිවෙල අනුව අලූත් ජන නායකයෝ බිහි විය යුතුය. අලූත් බලවේග නිර්මාණය කරන අතර ඒවායෙන් ඇතිකරන උද්දීපනය ජනතාව තුළ වෙනස් බලාපොරොත්තු ඇති කරන්නට අවශ්‍යය.

1950 සිට රටවල් විසි එකක දේශපාලන පක්ෂ ගැන මෑතක දී කළ අධ්‍යයනයක් ද ගාඩියන් පුවත් පත පළ කර තිබුණි. එයට අනුව පැරණි යල් පැන ගිය පක්ෂ පැවැත්මෙන් ඉවත් වෙමින් තිබේ. ප‍්‍රංශය හා ඉතාලිය යන රටවල පැරණි ප‍්‍රබල දේශපාලන පක්ෂ නමයක් පැත්තකට විසි වී ඇති බව අනාවරණය වී ඇත. ජර්මනියේ ද එය සිදුවෙමින් පවතින බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ වාමාංශික කඳවුර ඉදරිපත් කරන අදහස් වලට ජනතා අවධානය හීන වී තිබේ. අලූතින් දේශපාලන පක්ෂ බිහිවෙන්නේ ප‍්‍රතිපත්ති අනුව නොවේ. වෙනත් පක්ෂයක පවතින ප‍්‍රශ්නයක් පදනම් කරගෙනය. නැතිනම් පුද්ගල චරිත කේන්ද්‍ර කරගෙනය. පැරණි පමණක් නොව අලූත් පක්ෂ පවා තමන්ගේ ප‍්‍රතිපත්ති හෝ දර්ශනය ගැන වෙහෙසෙන්නේ නැත. විශාල අවධානයක් යොමු කරන්නේ පුද්ගල ප‍්‍රතිරූපය ගැනය. මෙරට පක්ෂ සෑහෙන ප‍්‍රමාණයක් ගවේශනය කළහොත් ඒවා අතර ප‍්‍රතිපත්ති වෙනස්කම් ඉතාමත් සීමිතය. අනාගතය ගැන විශාල දර්ශනයක් සමාජයට ඉදිරිපත් කරන්නට අසමත්ය. සෑම දේශපාලන පක්ෂයක්ම එක වගේ යැයි කියන්නේ ඒ අනුවය. දුෂණය හා වංචාව තුරන් කිරීම සෑම දේශපාලන පක්ෂයකම තේමාව වී ඇති අතර සංවර්ධනය ඇති කරන බව පුන පුනා ප‍්‍රකාශ කරන බව නිරීක්ෂණය කළ හැකිය.

දේශපාලන පක්ෂ වටා ජනතාව එකතු වන අතර පුරවැසියන් සොයන්නේ පක්ෂයේ අනන්‍යතාවය හා දර්ශනය ගැනය. පටු අරමුණු සහ අවස්ථාවාදී අරමුණු පදනම් කරගෙන මෑතක දී බිහිවූ දේශපාලන පක්ෂ ජනතා ආකර්ශණය ඉතාම ඉක්මනින් අහිමි කර ගෙන තිබේ. ජාත්‍යන්තරයේ පවතින ආර්ථික හා සමාජ තරගකාරී ස්වභාවයට අනුව ඉදිරි ගමනක් අරමුණු කරගෙන මෙරට දේශපාලනය සකස් විය යුතු යුගය උදා වී තිබේ. අනාගතය භාර දිය හැකි දර්ශයනක් සහිත නායකයන් අවශ්‍යය. පැරණි පක්ෂ තමන් ඉටු කරන ලද කාර්යය ගැන ආඩම්බර වන අතර අනාගතයේ දී පැවැත්මක් නැති බව තේරුම් ගත යුතු අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් වල දේශපාලනයේ දී මැනවින් විදහා දැක්වෙන කාරණය බව අවධානයට ගත යුතුය. අලූත් දේශපාලන පක්ෂ වලට ද පණිඩුවයක් තිබේ. ජනතාව තම පක්ෂය තෝරා ගැනීමේ දී පුද්ගලයන්ට වඩා පක්ෂ ප‍්‍රතිපත්ති වලට අවස්ථාවක් දී තිබේදැයි රටට පැහැදිලි කිරීමට සමත් විය යුතුය. අනාගත තාකෂණික යුගයේ අපේක්ෂා සාක්ෂාත් කරන ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන්නට නැඹුරුවීම අවශ්‍යය. අද පවතින ස්වභාවය අනුව ප‍්‍රධාන පක්ෂ බහුතරයකට තනි ගමනක් නැත. ජනතා ආකර්ශනය අඩු වී තිබේ. අලූත් දේ වෙනුවෙන් සූදානම් නොවීම, පැරණි ප‍්‍රතිරූප කෙරෙහි පමණක් නතුවීම කෙරෙහි පරීක්ෂාකාරීවීම සුදුසුය.