» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/07/2019 - ඉරිදා ලංකාදීප
හිනැස්සවීම වෙනුවට කදුළු නොහෙලන රටක් හදන බව කියන ජන නායකයා

ප‍්‍රහසනය පහසු රංගනයක් නොවේ. වොලෝඩිමයර් සැලැන්ස්කි යුක්රේනයේ නම් දැරූ විකට නළුවෙකි. හෙතෙම යුක්රේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර විශිෂ්ඨ ජයක් අත්පත් කරගත්තේය. සම්ප‍්‍රදායික දේශපාලන ව්‍යුහය එපාවී තිබුණ එරට වැසියෝ තමන් හිනැස්සවූ පුද්ගලයා නායකයා වශයෙන් තෝරා ගත් බව සදහන් කළ යුතුය. සැලැන්ස්කි ජනාධිපතිවරයා එහි දී සියයට 73.22 ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තේය. ඉකුත් මාර්තු 31 පැවැති පළමු වටයේ දී සෑහෙන ඉදිරියට පැමිණි හෙතෙම දෙවන වටය පැවැති අප‍්‍රියෙල් 21 වැනි දා යුක්රේන ජනතාවගේ සම්පූර්ණ අවධානය දිනාගත්තේය. ප‍්‍රකට රූපවාහිනී ප‍්‍රහසන වැඩසටහනක ප‍්‍රධාන නළුවා වූ අතර ‘‘ජනතා සේවකයා’’ නමින් වූ එම වැඩසටහන එවකට එරට තුළ පවතින ක‍්‍රමය තදබල හාස්‍යයකට ලක් කළේය. එම විවේචනය ජනතාවට දැනෙන්නට ඇත. පරිනත, ප‍්‍රබල දේශපාලන පක්ෂ අභිබවා ජය ගන්නට එය හේතුවක් වූ බව නිසැකය. 2018 වසරේ දී ජනතා සේවකයා යනුවෙන් පක්ෂයක් ලියාපදිංචි කළ සැලැන්ස්කි අවුරුද්දකට පසු රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීම සම්පූර්ණ පරිවර්තනයකි. ජනාධිපතිවරණයට ඔහු සමග තරඟ කළ අපේක්ෂක ලැයිස්තුව තිස් නම දෙනෙක් බව සඳහන් කරන විට මෙම පරිවර්තනය හා ඒ හා බැදුණ අභියෝගයේ තරම හදුනාගත හැකිය.

ඉකුත් මැයි විසි වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතන ලද අතර එය මෙම දිනවල පවතින එරට පාර්ලිමේන්තු මැතිවරණයට බෙහෙවින් බලපා ඇති සාධකයකි. සැලැස්න්කි විකට නළුවෙක් නොව රටක් ගොඩනගන්නට දර්ශනයක් ඇති දක්ෂ නායකයෙකු බව ඔහුගේ පළමු කතාවෙන් ඔප්පු කර තිබේ. සිය මංගල කතාව අවසානයේ දී ඔහු කළ විශේෂ සඳහන පළමුවෙන් පෙන්වා දිය යුතුය. සැලැන්සිකි කියා සිටියේ ‘‘ මගේ ජීවිත කාලය තුළ මම යුක්රේන වැසියන් හිනැස්සීමට උත්සාහ කළෙමි. එය මගේ මෙහෙවර විය. දැන් යුක්රේන නායකයා වශයෙන් මම මට කළ හැකි උපරිමය කරමි. ජනතාවට කදුළු හෙලන්නට තවත් ඉඩ දෙන්නේ නැත.’’ ඔහු ප‍්‍රකාශ කළේය. ජනතාව හිනස්සවන්නට නොව ජනතාවගේ කදුළු නතර කරන්නට ආත්ම ශක්තියක් ඇති නායකයෝ කොපමණ වැදගත්ද?

යුක්රේනයේ ජනාධිපති සැලැන්ස්කි හතලිස් එක් හැවිරිදි ගුරුවරයෙකු වන අතර ඔහු ගේ විකට වැඩසටහන පවතින දේශපාලන ක‍්‍රමය හා එහි දුෂිත පැති නිර්දය විවේචනයට ලක් කළේය. සැලැන්ස්කි ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ගැන ද යමක් සඳහන් කළ යුතුය. ‘‘පොරොන්දු නැහැ. ප‍්‍රශ්නයක් ද නැහැ’’යන අර්ථය හැඟවෙන සටන් පාඨයක් භාවිතා කළේය. යුක්රේනයේ ජනාධිපති වශයෙන් අලූත්ම චරිතයක් එරට වැසියන් තෝරා ගත්තේ ඇත්තේ ඇයි? සම්මත දේශපාලන ක‍්‍රමය තුළ විකෘති වන විට මෙවැනි ප‍්‍රවණතා ඇති වෙයි. රට ගොඩනගන බව කට පුරා කියන දේශපාලනඥයෝ, ජනතා ඡන්දයෙන් බලයට පත් වෙති. බලය ගැනීමෙන් පසු ජනතාවගේ හැබෑ ගැටළු වලට විසදුම් නැත. ඉක්මන් ධනය සොයන දූෂිතයන් බවට පත් වන අතර ජනතාවට දුන් පොරොන්දු අමතක කරති.

යුක්රේන ජනාධිපතිවරයා සිය කතාව අවසන් කළේ සිය හය හැවිරිදි දරුවා කියා තිබුණ ප‍්‍රකාශයකින්ය. සැලැන්ස්කි ජනාධිපති ධුරයට පත් බව රූපවාහිනියෙන් පුනා පුනා කියන විට පුතා අහන්නේ ‘‘තාත්තේ දැන් ඉතින් මමත් ජනාධිපති නේද?’’ කියන අදහසකින් බව ජනාධිපතිවරයා කියයි. එය සාමාන්‍ය ස්වභාවයයි. පුද්ගලයාට බලය ලැබෙන විට නායකයා වටා සිටින ඥාතීහු, හිතවත්හු ආධාරකරුවෝ බලයට පත් වෙති. තමන් එයට එකඟ නැති බව අඟවන සැලැන්ස්කි පාර්ලිමේන්තුවේ දී කියන්නේ ‘‘මට ඡන්දය දුන් සියයට හැත්තෑවකට වැඩි පිරිස පමණක් නොව සියයට සියයක් දෙනා ජනාධිපතිවරු’’ බවය. ‘‘හැම දෙනාටම බලය ඇත. හැම දෙනාටම වගකීමක් තිබේ.’’ යනුවෙන් පෙන්වා දෙන හෙතෙම ව්‍යවස්ථාවේ අත තබා ජනාධිපතිවරයා වශයෙන් දෙන දිවුරුම එක සංකේතයක් පමණක් බව කියා සිටියේය. ‘‘ජනාධිපතිවරයා බදු ගෙවන්නේ නැත. ජනාධිපති නිල රිය රතු ට‍්‍රැෆික් ලයිට් නොසලකා ධාවනය වෙයි. හෝ වෙනත් බලතල භාවිතා කිරීමක් ගැන කියන විට ලජ්ජා විය යුතු ආකාරයට අප සියළුම දෙනා ජනාධිපතිවරු වන විට දරුවන්ට හොඳ රටක් තැනිය හැකි බව’’ හෙතෙම පෙන්වා දුන්නේය. අපි සියළු දෙනා සමානයි. එකතුවෙලා වැඩ කරමු යනුවෙන් ද ඔහු කියා තිබේ.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට කියා සිටියේ ‘‘ආණ්ඩු අපේ ප‍්‍රශ්න විසඳන්නේ නැති අතර ප‍්‍රශ්නය වෙන්නේ ආණ්ඩුව බව තේරුම්ගත යුතුය’’ යන අදහසයි. වයස් ගත වන තෙක් පුටුවේ සිටින සියළු දෙනා අනාගත පරම්පරාව ගැන හිතන්නේ නම් වහා ඉවත්ව යා යුතු කාලය එළැඹ ඇති බව ඔහු කෙලින්ම සිය මංගල කතාවේ දී ප‍්‍රකාශ කළේය. ‘‘කිසිම මැති ඇමැතිවරයෙකු මම එහෙම කියන එක ගැන සතුටු නැති නමුත් ඊළඟ මැතිවරණයට තරඟ නොකිරීම ගැන ජනතාව ඔබ බෙහෙවින් අගය කරන බව අමතක කළ යුතු නැති බව ද’’ කියා සිටියේය. ප‍්‍රහසන නළුවෙකු වශයෙන් ප‍්‍රකටව සිටි සැලැන්ස්කි ජනාධිපතිවරයා වශයෙන් දක්වන පරිනත බව ආදර්ශවත්ය.

ජනාධිපතිවරයා සිය කතාවේ දී එක ඉල්ලීමක් කළේය. එය ඉතා ප‍්‍රායෝගික අදහසකි. තමන්ගේ පින්තූරයක් අමාත්‍යංශවල හෝ දෙපාර්තමේන්තුවල එල්ලන්නට එපා යැයි කියා සිටි හෙතෙම තමන්ගේ දරුවන්ගේ පින්තූරයක් මේසය උඩ තියාගෙන වැඩ කරන්නයැයි ඉල්ලා සිටියේය. තමන් වැඩ කරන්නේ, තීරණගන්නේ දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව පින්තූරය දකින වාරයක් පාසා තහවුරු වනු ඇතැයි ජනාධිපතිවරයා ගේ අදහස වූ බව දැක්විය යුතුය.

ලෝකයේ නොයෙක් තැන් වලින් විවිධ තොරතුරු වාර්තා වෙයි. දේශපාලනඥයන් ගැන ලැබෙන වාර්තා එමටය. විකටයන් පොදු ජනතාව අතර ජනප‍්‍රිය චරිත බවට පත් වීම පමණක් නොව ජන නායකයන් වශයෙන් ගෞරවයට පාත‍්‍ර වූ චරිත විකටයන් සේ හැසිරෙන අවස්ථා ද විශේෂ අවධානයට පත් විය යුතුය. රටක වැසියෝ තම නායකයා වශයෙන් පොදු ජනතාව ඉල්ලන්නේ විකටයන්ද? එඩිතර, තීරණගත හැකි ගරු කටයුතු චරිත තව දුරටත් අවශ්‍ය නැති යුගයක් ද යන ප‍්‍රශ්නය අප හමුවේ තිබේ. ප‍්‍රහසන චරිත වශයෙන් පෙනී සිටින නමුත් බලයට පත් වූ පසු හැබෑ නායකත්ව ගුණාංග පෙන්වනන අවස්ථා ද ඇත. වර්තමාන සමාජ මාධ්‍ය යුගයේ දී චරිත බිහිවෙන්නේ තාවකාලික ජනප‍්‍රියත්වය පදනම් කරගෙන බව පැහැදිලිව පෙනේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල නායකයෝ තම පුරුදු ස්වභාවය අතහැර ජනතාව අතර ‘‘තාවකාලික වීරයෝ’’ වශයෙන් කැපී පෙනෙන්නට තැත් කරති. ඔවුහු විහිළු කරති. හාස්‍ය කතා කියති. ප‍්‍රබල නායකයෝ සිය හැසිරීම, කතාව හා ක‍්‍රියාකරන ශෛලිය සමාජ මාධ්‍ය හෝ රූපවාහිනී ප‍්‍රවෘත්ති වල අවස්ථා ඉලක්ක කරගෙන කරන බව පෙනේ. බුද්ධිමත් ජනතාව මෙවැනි හැසිරීම් අනුමත කරනවාද යන්න විමසා බැලිය යුතුය. මෙරට නායකයන්ට තමන්ගේ පැවැත්ම ගැන හිතන්නට යුක්රේනය අවස්ථාවක් දී ඇත. රටක් ගොඩ නගන්නට නායකත්වයක් අවශ්‍යය. නායකත්වය හැදෙන්නේ පිරිවරාගෙන සිටින අනුගාමිකයන් හෝ රැකවලූන් අනුව නොවේ. ගමන් කරන වාහනය, වේදිකාවේ දී කතාකරන අධිපතිවාදී ස්වභාවය නායකත්වයට සුදුසුද නැද්ද යන්න ජනාවට අඟවයි. තමන්ගේ පින්තූරය වෙනුවට දරුවන් ගේ ඡායාරූපයක් මේසය උඩ තියාගන්න යැයි නායකයෙකු කියන විට එතැනින් විදහා දැක්වෙන පුලූල් දර්ශනය අප වටහා ගැනීම වැදගත්ය. ඊළඟ ඡන්දය පෙනි පෙනී, අත්දැකීම් ඇති පරණ දේශපාලනඥයන්ට දැන් ඉතින් ගෙදර යන්නට කාලය එළැඹ ඇති බව කෙලින්ම කියන්නට පුලූවන්කමක් තිබීම විශාල පෞර්ශවයකි. හැබෑ නායතක්වය යනු තීරණ ගැනීමට ඇති හැකියාවයි. එය පෙන්නුම් කරන්නේ දේශපාලන නායකයෝ කරන, කියන, හැසිරෙන ආකාරය අනුවය. වේදිකාවේ දී රට වෙනුවෙන් කැපවන බවට දිවුරන මෙරට නායකයන්ට තමන්ගේ පින්තූරයක් කාර්යාලයේ එල්ලන්නට එපා යැයි කියන්නට ධෛර්යයක් තිබේද?

මෙරට මාධ්‍ය වගකීමක් ඇතිව කටයුතු කළ යුතු හෝරාව උදා වී තිබේ. ජනතාවට හැබෑ නායකයන් තෝරා ගන්නට අවශ්‍ය දැනුම අවබෝධය ලබා දිය යුතුය. පොරොන්දු දෙන, විහිළු කරන, ප‍්‍රතිවාදීන්ට ආකෝෂ පරිභව කරන පුද්ගලයෝ ගරුත්වය දිනා ගත හැකි නායකයන් වශයෙන් සැලකිය හැකි ද? එකී පුද්ගලයන්ගේ අභ්‍යන්තරය කෙබදු විකට චරිතයක් ද? විහිළුකාර චරිතයනට අනාගතය බාරදීමට අප සූදානම්ද? හැබෑ නායකයන් හදුනාගන්නේ කෙසේද යන්න තේරුම්කර දිය යුතුය.