» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
28/04/2019 - ඉරිදා ලංකාදීප
සමාජ මාධ්‍ය දේශපාලනයකට නැඹුරුවන ඉන්දියාවේ ඡන්ද

ඉන්දියාවේ මහ මැතිවරණය මේ දිනවල පැවැත්වෙයි. ඉකුත් අප‍්‍රියෙල් 11 වැනිදා ඇරඹුන ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව මැයි 19 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත. 2019 ඉන්දියානු මහ මැතිවරණයේ ඉලක්කම් පෙන්වන පරිදි එරට පුරවැසියන් මිලියන 900 ක පිරිසක් මධ්‍යස්ථාන 1,035,918 ක දී ඡන්දය පාවිච්චි කරන්නට නියමිතය. ඡන්දය ගණන් කිරීම ලබන මැයි මස 23 වැනි දා ඇරඹෙන අතර ඡන්ද ප‍්‍රතිඵල එදිනම නිකුත් කරනු ඇතැයි සැලකේ. ලොක් සභාවේ ආසන 543 ක් සඳහා මහජන නියෝජිතයන් තෝරාගැනීම මෙහි දී සිදුවන අතර වැඩි බහුතර ආසන ප‍්‍රමාණයක් දිනා ගන්නා දේශපාලන පක්ෂය අලූත් ආණ්ඩුව පිහිටුවනු ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය හා රාහුල් ගාන්ධි මෙහෙයවන ඉන්දීය ජාතික කොන්ග‍්‍රස් පක්ෂය අතර තියුණු තරගයක් තිබේ. මැතිවරණයේ ආන්දෝලනාත්මක සිද්ධි ජාත්‍යන්තර ජනමාධ්‍ය විසුරුවා හරිමින් සිටිති. උත්තර ප‍්‍රදේශයේ තරුණයෙකු වැරදීමකින් අපේක්ෂා නොකළ පක්ෂයකට ඡන්දය දැමීම නිසා තමන් කෙරෙහිම උරණව එක ඇඟිල්ලක් කපාගෙන තරහ පිරිමසා ගෙන ඇති බව බී.බී.සී. මාධ්‍ය වාර්තා කළේය. ඔහු මුදා හැර ඇති යූ ටියුබ් වීඩියෝවක පෑන අතට ගෙන ඡන්දය සලකුණු කිරීමේ දී ප‍්‍රාදේශීය පක්ෂයක අලියා ලකුණ ඉදිරියෙන් ඡන්දය පළ කරන්නට ඔහුට උවමනා වූ නමුත් ඔහු භාරතීය ජනතා පක්ෂයේ පුෂ්පය ලකුණට කතිරය ගසා තිබේ. ඡන්ද ලකුණු සෑහෙන ප‍්‍රමාණයක් නිසා තමන් අතරමං වූ බව හෙතෙම වීඩියෝවට කියා ඇත. ඡන්දයක් ලකුණු කරගන්නට නොහැකි තරුණයෙකු සිය වැරදීම ගැන ඇති පශ්චාත්තාපය යූ ටියුබ් මගින් අන්තර් ජාලයට මුදා හැර ලෝකයටම කියා සිටීම නවීන සමාජ මාධ්‍ය යුගයේ සැලකිල්ලට ගත යුතු කරුණකි. ඔහුගේ කතාව ඇත්ත නොවුනත් නැතත් මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප‍්‍රචාරක කටයුතු වල දී අන්තර් ජාලයට ලැබී ඇති තැන ඉතාම ඉහළ එකකි.

සුපුරුදු පරිදි අති විශාල කටවුට් හා ලොරි වල බැඳගත් ශබ්ධ විකාශන වලින් ඡන්ද ප‍්‍රචාරක කටයුතු කරගෙන යමින් තිබේ. නමුත් එයට යටින් විශාල ප‍්‍රචාරක ජාලයක් ක‍්‍රියාත්මකය. එය තරුණ ප‍්‍රජාව සම්බන්ධ එකක් බව අනුමාන කෙරේ. මිලියන නම සියයක ඡන්ද දායකයන් අතරින් මිලියන 84.3 ක් පිරිසක් 2014 මහ මැතිවණයට පසු පළමු වතාවට ඡන්දය පාවිච්චි කරන අය බව අනාවරණය වෙයි. එම පිරිස අතරින් ද මිලියන 84.3 ක් අවුරුදු 18-19 අතර මෙම අවුරුද්දේම ඡන්ද වරම ලැබුණ නව යොවුන් ඡන්ද දායකයෝ බව සඳහන්ය. මෙම පිරිස කටවුට් දේශපාලනයෙන් එපිටය. ශබ්ධ විකාශන යන්ත‍්‍ර වලින් ගෙන යන ප‍්‍රචාරණයට අවනත නොවේ. එය විශේෂ අවධානයට ලක් විය යුතු කරුණකි.

2004 වසරේ දී ඉන්දියාවේ පුරවැසියෝ බිලියන 1.3 ක් අතර ස්මාට් දුරකතන මිලියන 100 ක් පාවිච්චි කර ඇති බව දැක්වෙයි. නමුත් දැන් භාවිතා කරන ස්මාට් දුරකතන ප‍්‍රමාණය එය මෙන් හතර ගුණයක් එනම් මිලියන 400 ක් බව අනාවරණය වෙයි. ඉන්දියාවේ දුරකතන වල දත්ත සම්පේ‍්‍රෂණයට අය කරන ගාස්තු ඉතා අඩුය. එක ගිගා බයිට් එකක අය කිරීම ඇමරිකානු ඩොලර් 0.26 කි. ඉන්දියාව වශාලතම මුහුණු පොත එනම් ෆේස්බුක් භාවිතා වන රටයි. මුහුණු පොත් ගිණුම් මිලියන 300 ක් ඇති අතර භාවිතාවේ පවතින වට්ස් ඇප් ගිණුම් ප‍්‍රමාණය මිලියන 200 කි. එම ගිණුම් වලින් බාගත කරගෙන ඇති තොරතුරු ප‍්‍රමාණය අති විශාලය. එරට බොහෝ සමාජ මාධ්‍ය ජාලා තිබේ. එකිනෙක කණ්ඩායම් සාමාජිකයන් වශයෙන් කණ්ඩායම් සකස් වී ඇති අතර එම පිරිස බෙදා හදා ගන්නා තොරතුරු, ඕපා දූප හා සිද්ධි ප‍්‍රමාණය සැලකිය යුතු තරම් බව දැක්විය යුතුය.

සාමාන්‍යයෙන් මැතිවරණයක දී පක්ෂ ආධාරකරුවෝ පෙරමුණ ගනිති. පක්ෂයක ජයග‍්‍රාහී චිත්ත ධෛර්යය පවත්වාගෙන යන්නේ ඔවුහුය. ඉන්දියාවේ දේශපාලන පක්ෂ සමාජ මාධ්‍ය මෙහෙයුම්කරුවෝ වැඩිපුර යොදවා ගනිමින් සිටිති. පසුගිය මහ මැතිවරණයේ දී බී.ජේ.පී නායක නරේන්ද්‍ර මෝදි අන්තර් ජාලය මෙහෙයැවීම සදහා වෙනම කණ්ඩායමක් පත් කර ගත්තේය. එය සාර්ථක විය. රට පුරා හොඳ ශක්තිමත් පදනමක් දිනා ගන්නට හැකි වූ බව සඳහන්ය. මෙවර එය තවත් පියවරක් ඉදිරියට ගෙන ඇත. සයිබර් සොල්දාදුවන් එක් ලක්ෂ පනස් දහසක් උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයට පමණක් පත්කරන්නට එම පක්ෂය පියවර ගෙන තිබේ. මැතිවරණ වියදම් වලින් ඉතාම ඉහළ ප‍්‍රතිශතයක් තාක්ෂණික යෙදවුම් වෙනුවෙන් වැය කරන පක්ෂය බවට ද භාරතීය ජනතා පක්ෂය පත්ව ඇත. එක උදාහරණයක් ඇට්ලාන්ටික් කවුන්සිල් නමැති ඇමරිකානු විද්වත් පර්යේෂණ ආයතනක් දක්වා ඇති අතර ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි තමිල්නාඩු ප‍්‍රාන්තයේ සංචරය කළ අවස්ථාවේ දී සමාජ මාධ්‍ය පරිහරණය ඉතාම කාර්ය බහුල වී ඇත. ඔවුන්ට අනුව අගමැතිවරයාට පක්ෂ හා ඔහුට එරෙහි පණිවුඩ එහා මෙහා යන විට සන්නිවේදන තදබදයක් ද හටගෙන තිබේ. සාමාන්‍ය සම්ප‍්‍රදායික මාධ්‍ය මගින් මැතිවරණය සම්බන්ධ තොරතුරු පොදුවේ විසුරුවා හරින අවස්ථාවේ දී මෙම සයිබර් සොල්දාදුවෝ කෙලින්ම ජනතාව සමග සම්බන්ධ වන හා අතිවිශාල තොරතුරු ප‍්‍රමාණයක් සන්නිවේදනය කරන ස්වභාවයකට පත්ව ඇත.

අන්තර් ජාල සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන කරන ඡන්ද ප‍්‍රචාරය කොපමණ සූක්ෂම ද යත් ඒවා පාලනය කරගැනීමට අසමත් ව තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා සමාජ මාධ්‍ය ආයතන කැඳවා චර්යාධර්ම කඩනොකරන මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යන්නේ කෙසේදැයි සාකච්ඡා කර ඇති නමුත් එය පාලනය කිරීම කළ නොහැකි දෙයක් බවට පත්ව ඇත.

ඉන්දියාවේ මහ මැතිවරණයේ දී සමාජ මාධ්‍ය භාවිතය හා සයිබර් සොල්දාදුවන්ගේ ප‍්‍රවේශය අනාගතයේ දී මෙරට මැතිවරණ වල දී ද යහමින් භාවිතා කරන්නට ඉඩ තිබේ. ඡන්ද පොල නිරීක්ෂකයන් පත් කිරීමට වඩා ප‍්‍රදේශයේ අන්තර් ජාල ප‍්‍රචාරණය, සමාජ මාධ්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම වෙනුවෙන් වෙනම පාක්ෂිකයන් කණ්ඩායමක් හැදෙන්නට බැරි නැත. පසුගිය මැතිවරණ වල දී පවා පක්ෂ ප‍්‍රචාරණ කටයුතු නිල වශයෙන් නතර කිරීමෙන් පසු පවා සමාජ මාධ්‍ය ප‍්‍රචාරය කරගෙන ගියේය. ඒවා පාලනය කරන්නට මෙරට මැතිවරණ නීති රීති පවා අසමත් විය. විවිධ වෙබ් අඩවි, මුහුණු පොත, ට්විටර් හා වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍ය වෙනුවෙන් අති විශාල ආයෝජනයක් ඉදිරියේ දී වාර්තා විය හැකිය. පක්ෂ අනුගාමිකයන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා පවත්වාගෙන යමින් මෙරට දේශපාලනයේ විශ්වාස කළ නොහැකි ආකාරයේ පුද්ගල සන්නිවේදනයක් පැවැතියහොත් එය මවිතයට කරුණක් නොවේ. එය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් වනු ඇත.

පලාත් සභා ඡන්දය, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන ප‍්‍රධාන මැතිවරණ අවස්ථා තුනක් ඉදිරි කෙටි කාලය තුළ ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත. මෙම මැතිවරණ ඉතාම තරගකාරී මුහුණුවරක් ගන්නා අතර විශේෂයෙන් පක්ෂ අතර ප‍්‍රතිපත්ති අතර වැඩි වෙනසක් නැති ස්වභාවය හමුවේ ඉතාම ප‍්‍රබල ප‍්‍රචාරක සැලසුම් ඉදිරියට පැමිණෙන්නට ඉඩ කඩ ඇත. ශ‍්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතාව ගැන ප‍්‍රශ්න ඇති බව ද මෙහි දී පෙන්වා දිය යුතුව තිබේ. දිගන සිද්ධියේ දී හා නොබෝදා සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හමුවේ ඒවා පාලනය කරගනු සඳහා සමාජ මාධ්‍ය රට තුළ තාවකාලිකව වාරණය කිරීමට පවා සිදුවිය. සංස්කාරකවරයෙකුගේ අනුදැනුමක් රහිත, අහන දකින දේ ඒ ආකාරයෙන්ම මහා මාධ්‍යයෙන් විකාශනය කරන අවස්ථාවක එයින් ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන පූර්ව සූදානමක් රටට අවශ්‍යය.