» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/11/2016 - ඉරිදා ලංකාදීප
ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලය හුවමාරු කරගන්නේ කොහොමද?

ඇමරිකානු ජනාධිපතිවරණය අවසන්ය. මීළඟ නායකයා කවුද යන කාරණය මාස දහ අටක කාලයක් ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කළේය. හිලරි සහ ට‍්‍රම්ප් යන වචන දෙක ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ලොකු කුඩා සියළු දෙනා දැනගත්තේය. ක්ලින්ටන් දොස් පැවරූවේ ට‍්‍රම්ප් ගේ ආක‍්‍රමණශීලී ඡන්ද ව්‍යාපාරයටය. ට‍්‍රම්ප් සිය ප‍්‍රචාරක සැලැස්ම තුළ ක්ලින්ටන් සහ ඔබාමා යන දෙදෙනා නිර්දය විවේචනයට ලක් කළේය. හෙතෙම ඇමරිකානුවන් අමතා කියන ඕනෑම දෙයක් ආන්දෝලනාත්මක විය. හිලරි සිය මැතිවරණ ප‍්‍රචාරණයේ දී මධ්‍යස්ථ ජනතාවට සංයමයකින් ආමන්ත‍්‍රණය කළේය. ට‍්‍රම්ප් ආධිපත්‍ය පැතිරවීය. කතා කළේ ඇමරිකාවේ පහල මටට්මේ ඡන්ද දායකයන්ටය. තීරණාත්මක අදහස් තියුණු වචන වලින්ය. පූර්ව ජනමත විමසුම් සෑම අවස්ථාවකම පෙන්නුම් කළේ හිලරි ක්ලින්ටන්ගේ වාසිදායක තත්ත්වයයි. නමුත් ජනමතය වෙනස්ය. ඇමරිකාවේ හතලිස් පස් වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වූයේ හැත්තෑ හැවිරිදි ඩොනල්ඞ් ජේ. ට‍්‍රම්ප් ය.

නිල ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේ සිට ඇමරිකාවේ ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන අවස්ථාව දක්වා කාලය එරට දේශපාලනයේ පරිවර්තන අවකාශයක් හැදේ. ඒවා ව්‍යවස්ථාවේ වගන්ති වල නැත. සම්ප‍්‍රදායයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග පොදු ධර්මතාව වශයෙන් සැලකේ. ට‍්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේ එක් අවස්ථාවක වත්මන් ජනාධිපති බැරක් ඔබාමා ඇමරිකානු පුවැසියෙකු නොවේ යැයි කියා සිටියේය. ඇමරිකානුවකු නොවන අයෙකුට එරට ජනාධිපතිවරණයට ඉල්ලන්නට නොහැකිය. එය අසත්‍යයකි. නමුත් එවැනි දේ කියා ජනාධිපති ඔබාමා අපහසුතාවයට පත් කරන ලද ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජය ගැනීමෙන් පසු සිය පුද්ගලික ගුවන් යානයෙන් පැමිණ ඔබාමා හමුවෙයි. එයට සමාන්තරව ආර්යාවන් මුණ ගැසේ. නිලධාරීන් හමුවෙයි. සාකච්ඡා කෙරෙයි. බලය හුවමාරු වෙන්නේ එසේය.

එම හමුවීම් වලට කලින් ජනාධිපතිවරයා කියන්නේ දේශපාලන වේදිකාවේ කතා අවසන් බවය. ට‍්‍රම්ප් කියන්නේ හිලරි ක්ලින්ටන් දක්ෂ සේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ අතර ගැටුම් අවසන් අතර ඇමරිකානු ශ්‍රේෂ්ඨ සංස්කෘතිය ඉදිරියට ගෙන යන්නට සියළු දෙනා එකට එකතු විය යුතු බවය. හිලරි ජනාධිපතිවරණයේ පරාජය පිළිගනිමින් සිය අනුගාමිකයන්ට කි‍්‍රයා සිටියෙ ඡන්දය දුන් සියළු දෙනාගේ අපේක්ෂා ඉටු කරන්නට බැරිවීම ගැන කණගාටුවන බවයි. ට‍්‍රම්ප් සමග රට ඉදිරියට ගෙන යන්නට පියවර ගැනීම ගැන අහිතක් පළ වූයේ නැත.

ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් වූ පසු බල හුවමාරුවට සැලසුමක් සකස් විය. ඉවත්ව යන ජනාධිපති ඔබාමා සහ අලූතින් එන ජනාධිපති ට‍්‍රම්ප් ගේ බලය ඇති නියෝජිතයන් දෙදෙනෙකු නම් කෙරිණි. බල හුවමාරුව කරන්නේ එම දෙදෙනාගේ මූලිකත්වයෙන් යුත් වැඩ සටහනකින්ය. මෙම දෙපොල යටතේ සෑම රාජ්‍ය ව්‍යුහයකටම දෙපාර්ශයව නියෝජනය කරන නියෝජිතයන් පත්වන අතර ඔවුහු එක් එක් අංශ විමසා විමර්ෂණය කර සුදුසු පරිදි තීරණ ගනී. දේශපාලන සංක‍්‍රාන්තිය තුළ එදිනෙදා පාලන ව්‍යුහයට බාධාවක් වෙන්නේ නැත. මේවා නීති පොතක ලියැවී නැති වගන්ති සේ සැලකෙයි. තවත් දෙයක් වූයේ අලූත් ජනාධිපතිය නිල පිළිගැනීම ලැබීමයි. ප‍්‍රතිඵල නිකුත් වූ වහා අලූත් ජනාධිපතිවරයාට රාජ්‍ය රහස්‍ය ලේඛන ලැබෙයි. ඔබාමා දන්නා සියළුම දේ ට‍්‍රම්ප් දන්නා සංස්කෘතිය තුළ සැකය, අභියෝගය සහ වෙනස් සැලකීම ගැන ප‍්‍රතිවිරෝධතා ගොඩනැගෙන්නේ නැත. ඇත්ත එයයි.

මෙම පසුබිම සසඳා බැලිය යුතු මෙරට සාමාන්‍යයෙන් සිදුවන දේ සමගය. පසුගිය ජනාධිපතිවරණ දෙකක ඈත කාලය බලමු. චන්ද්‍රිකා ජනාධිපතිනියගෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලය ලබා ගැනීම සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසු මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ බල හුවමාරුව කොමපණ සංකීර්ණ තත්ත්ව ඇති කළේද? මෙම තුන් දෙනාම එකිනෙකා නොදන්නා අය නොවේ. මේ රටේ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවූ මහා චරිත බව සඳහන් කළ යුතුය. නමුත් බල හුවමාරු වන සංක‍්‍රාන්ති සමය තුළ බලපවත්වන ලද සියුම් ගැහැට කිසිසේත් ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බව පෙන්වා දෙන්නේ නැත. ඡන්ද කාලයේ තිබුණ දේශපාලන ප‍්‍රතිවිරෝධතා ආණ්ඩුවට ද මුහු විය. වෛරය සහ විරෝධය බල හුවමාරුවට බලපෑවේය. යාන වාහන පාවිච්චියේ සිට තිබුණේ එකිනෙකා පහත් කිරීමේ ශෛලියයි. රටක් ඉහළට එසැවිය හැකිද? අදටත් පෙනෙන්නේ පක්ෂ අතර වෛරය පමණකි.

ඇමරිකානු අපේක්ෂක ට‍්‍රම්ප් ජය ගත් බව වර්තා වූ වහා ඔබාමා ඔහුට දුරකථනයෙන් සුබ පැතූ සහ පසුවදා කරන නිල ප‍්‍රකාශය අඟවන්නේ තමන් හා ට‍්‍රම්ප් අතර තිබූ සියළු නරක අදහස් අවසාන බවය. ඔබාමා එයට උදාහරණ සේ දක්වන්නේ මෙයින් අවුරුදු අටකට කලින් ජනාධිපති ජෝර්ජ් බුෂ් හා ඔහු අතර තිබුණ නොගැලපීම්ය. දෙදෙනා අතර සෑහෙන ගැටුම් තිබුණි. නමුත් ඒ සියල්ල පසෙක ලා බලය හුවමාරු වූ අතර එයට වඩා හොඳීන් වත්මන් ට‍්‍රම්ප් බලය හුවමාරුව සිදුවන බව හෙතෙම දක්වයි. ක්ලින්ටන් ගැන කියන්නේ ඇය දක්ෂ අතර ඇමරිකානු දැරියන්ට අනාගතයේ දී ඇමරිකාවේ ඉහළටම එන්නට පුලූවන්කම තිබෙන බව ඔප්පු කරන්නට ඇයට හැකිවූ බවයි. රාජ්‍ය ලේකම්වරිය වශයෙන් ක‍්‍රියාකරද්දී රටට කරන ලද සේවය විශිෂ්ඨ වන අතර අනාගතයේ දී ද ඇයගේ සේවය රටට ලැබිය යුතු බව ඔබාමා කියා සිටියේය.

ඇමරිකානු ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාලය තුළ එකි නෙකා වෙන් වෙන්ව කඳවුරු බැඳ ගත්තේය. චෝදනා ප‍්‍රතිචෝදනා වියවුල් ඇති කළේය. නමුත් සියළු නොසන්සුන්තා පහ කරන තත්ත්වයක් උදා වූයේ ක්ෂණයකින්ය. හිලරි ක්ලින්ටන් පරාජය වූ අතර ඇගේ වේදනාව සමනය කරන්නට ඔබාමා පමණක් නොව අලූත් ජනාධිපති ට‍්‍රම්ප් වචන හැසිරවීය. හිලරි ක්ලින්ටන් තේරුම් ගත්තේ තියුණු තරගයකින් පසු පරාජය වූ බව වන අතර එය වේදනාවක් නමුත් ට‍්‍රම්ප් ඇමරිකාවේ සාර්ථක නායකවරයෙකු වනු ඇතැයි සුබ පැතීය. රට ඉදිරියට ගෙන යන ගමන ගැන තුන් දෙනාම එක හඬින් කියා සිටියේය.

ට‍්‍රම්ප් හා ඔබාමා මුණ ගැසෙන විට ඇමරිකාවේ ප‍්‍රධාන නගරවල විරෝධතා පැන නැගෙමින් තිබුණි. නිව්යෝක්, වොෂින්ටන් සහ නිව් ජර්සි නගර වල උණුසුම පොලිසිය සමග ගැටෙන තරමට පත්විය. නමුත් මෙම තුන් දෙනා ආධාරකරුවන් උසිගන්වන්නේ නැත. මාධ්‍ය වලට පවා කියන්නේ තත්ත්වය තුනී කරන ප‍්‍රයත්නයක් ගත යුතු බවය. පළමු වතාවට ජය අත්කරගත් ජනාධිපති වශයෙන් ධවල මන්දිරයට ගිය ට‍්‍රම්ප් කියන්නේ ඔබාමා ශ්‍රේෂ්ඨ මිනිහෙක් වන අතර ඔහු මුණ ගැසීම ගෞරවයක් බවය. එයින් පෙන්වන්නේ ද දේශපාලනයේ තියෙන වෛරය රාජ්‍ය පාලනයේ දී නැති බවය.

ඇමරිකානු දේශපාලනයේ බලය ගැන පුද්ගලික වෛරය නැත. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද පුද්ගලික වෛර සහගත හැසිරීම් අවශ්‍ය නැත. එය වෙනස් කරන්නට අවශ්‍යය. රටට එයින් මිදෙන්නට නොහැකිනම් රට ගොඩ නගන්නට හැකියාවක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු මැතිවරණ නොවේ. ඡෙන්දය ප‍්‍රකාශ කිරීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාචය තහවුරු වෙන්නේ නැත. ඡන්දයකට පසු වනන දේ එයට වඩා වැදගත්ය.

නායකයන් අවධානයට ගත යුතු ඉතිහාස ගතවන ආකාරය ගැනය. බලයෙන් පහකරන නායකයෙකු ගේ සියළු බල පුලූවන්කාරකම් නැති කර එයින් පවතින්නට හැකියාවක් නැති බව ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසාන ප‍්‍රතිඵලය දක්වයි. අලූත් ජනාධිපති ට‍්‍රම්ප් ඇමරිකාව හසුරවනු ඇත්තේ කෙසේදැයි පුරෝකථනය කළ නොහැකිය. ඔහු දේශපාලනයේ නිරතව නැත. රජයේ සේවයේ සිටි පුද්ගලයෙකු නොවේ. අඩුම තරමින් හමුදා සේවයේ හෝ නොසිටි ආගන්තුකයෙකි. දේපල වෙළඳාම් කළ හෙතෙම ජනප‍්‍රිය වූයේ රියැලිටි ෂෝ වලින්ය. තමන්ගේ පුද්ගලික අභිලාශ පැත්තක තබා ඇමරිකාව භාර ගන්නට හදන්නේ සියළු දෙනාගේ කැමැත්තෙන්ය. ප‍්‍රතිවාදීන් ඔහු සමගය. ඔහු සියළු ප‍්‍රතිවාදීන් දිනා ගෙන තිබේ. මෙවැනි වෙනස්කම් ශ‍්‍රී ලංකාවේ හදන්නට කොමිසම් වලට හැකියාවක් නැත. ජනතා පෙළඹවීම් අවශ්‍යය. දේශපාලනය වේදිකාවේ ඉතිරිකර රාජ්‍ය පාලනය රාජ්‍ය තාන්ත‍්‍රික සේ කරන්නට රට හුරු කරන සැලැස්මක් අවශ්‍යය.