» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/08/2017 - ඉරිදා ලංකාදීප
අලූත් දේශපාලන සංකල්ප අලෙවිකරණයක ස්වරූපයෙන්

පොලිටිකෝ නමින් මාධ්‍ය ව්‍යාපාරයක් ඇමරිකාවේ ඇත. එය නූතන ජනමාධ්‍ය ආශ‍්‍රය කරගෙන සන්නිවේදන කර්තව්‍යයෙහි නිරතය. රොබට් එල්. අල්බ්‍රෙටෝන් මෙම සමාගමේ විධායක සභාපති ධුරය හොබවයි. නොබෝදා එතැනින් පළ කරන සඟරාවේ විශේෂ ලිපියක් පළ විය. නූතන ඇමරිකානු දේශපාලනයේ නැගී එන චරිතයක් පිලිබඳව සම්පූර්ණ විස්තරයකි. එලිසෙබෙත් වොරන් නමැති ඇය ගැන මෙම සඟරාව විශේෂ අනාවරණයක් කරන්නේ මන්ද? සාමාන්‍ය දේශපාලනඥයන්ට හාත්පසින්ම වෙනස් අන්දමට තමන්ගේ අනන්‍ය ප‍්‍රතිපත්ති මාර්කට් කරන ඇය එයින් අලූත් දේශපාලන ව්‍යාපාරයක් හසුරුවාගෙන තිබේ. සාමාන්‍ය අලෙවිකරණ න්‍යාය අනුගමනය කරන එලිසෙබෙත් දේශපාලනය ගැන එතරම් උනන්දුවක් නැති තරුණ පිරිස වෙනුවෙන් සංකල්ප නිෂ්පාදනය හා විකිණීමට නැඹුරු වී තිබේ.

එලිසෙබෙත් වොරන් ඇමරිකානු සෙනෙට් සභාව නියෝජනය කරයි. ඩිමොක‍්‍රටික් පක්ෂ නියෝජිතවරියක වන ඇය මැන්චෙස්ටර් ප‍්‍රාන්තය වෙනුවෙන් පෙනී සිටින අතර වෘත්තියෙන් නීතිය පිළිබඳ ප‍්‍රසිද්ධ මහාචාර්යවරියකි. ටෙක්සාස්, පෙන්සල්වේනියා යන විශ්ව විද්‍යාල වල නීති මහාචාර්යවරිය වු ඇය දේශපාලනයට එන්නට කලින් අන්තිම කාලයේ දී හාවඞ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ද ඉගැන්වීමෙහි නිරත වුවාය. එලිසෙබත් සිය දේශපාලනය ව්‍යාපාරයක් සේ මාර්කට් කරයි. තම අනන්‍යතාවය සහ ප‍්‍රතිපත්ති සඳහන් වන නොයෙක් දේ විකුණා ඒවා මිල දී ගැනීම තුළින් අනුගාමිකයන් පිරිසක් සකස් කරගැනීම ප‍්‍රධාන පිලිවෙතයි. ඇය ගේ අලෙවි භාණ්ඩ අතර ටී ෂර්ට් තිබේ. සාමාන්‍යයෙන් වෙනත් රටවල විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ කෙරෙන අන්දමට නම හෝ මනාප අංකය සහිතව නොමිලේ බෙදා දෙන ඒවා නොවේ. ඇයගේ දේශපාලනයට එකඟ නම් පාක්ෂික ඡන්දදායකන් ඒවා මිල දී ගත යුතුය. මෑත කාලය තුළ යී ෂර්ට් විසි දහසක් විකුණා ඩොලර් මිලියන භාගයක් උපයා ගත් බව පොලිටිකෝ සඟරාව සදහන් කරයි. ක‍්‍රියාකාරී දේශපාලනඥයෙකුගේ ප‍්‍රතිපත්ති පවා අගය කරන නමුත් ඔහුගේ හෝ ඇයගේ නමින් විකුණන දෙයක් මිල දී ගෙන පාක්ෂිකත්වය පෙන්වන අවස්ථා විරලය. සමහර රටවල දේශාපාලනඥයන් නොමිලේ බෙදා දෙන තෑගි හෝ නොගන්නා අවස්ථා ඇති කාලයක එලිසෙබෙත් ගේ කි‍්‍රයාකලාපය අවධානයට ලක්ව තිබේ. එලිසෙබෙත් ලෝගෝ, ස්ටීකර්, බෑග් පමණක් නොව තාවකාලික ටැටූ ද මෙකී ව්‍යාපාරයේ දී විකිණෙයි. එලිසෙබෙත් ගේ කතා වලින් උපුටා ගත් කොටස්, අදහස් හා සංකේත මේවාට පදනම් කරගෙන තිබේ. ඇයගේ දේශපාලන ව්‍යාපාරයේ නියෝජිතයන් යම් අදහසක් පළ වී පැය ගණනක් ඇතලත ඒවා වෙළඳ පොලට නිකුත් කරන අතර විකුණන්නේ ඔන් ලයින් ක‍්‍රමයට අන්තර් ජාලයේ බව සඳහන්ය. අවධානයෙන් ඉන්නා අනුගාමිකයෝ ඒවා මිල දී ගන්නා අතර එය දේශපාලනයෙහි නිතර තැනැත්තියක වශයෙන් ඇයට ඇති ඉල්ලූම හොඳට මැන බලාගන්නට දර්ශකයක් බවට ද පත්ව තිබේ. තද නිල් වර්ණයෙන් සෙනෙට් සභික එලිසෙබෙත්ගේ අකුරෙන් ලියන ලද ටැටූ සහිතව ප‍්‍රසිද්ධියේ පෙනී සිටීම විශාල ධෛර්යයක් ඇති කරන සිද්ධියක් බවට පත්ව තිබේ. මව්වරුන්ගේ දිනයේ දී එළි දක්වන ලද ටැටූ එකක් ඉමහත් ජනප‍්‍රිය වූ අතර මෙවැනි අදහස් දිගින් දිගටම වෙළඳ පොලට ඉදිරිපත් කරමින් නොනවත්වා සමාජ උත්තේජනය පවත්වා ගැනීම පහසු කාර්යයක් නොවන බව පොලිටික්කෝ සඟරාව විශේෂයෙන් අනාවරණය කරන කරුණකි. සමහර දේවල් වානිජ මට්ටමින් සාර්ථක වී ඇති අතර ඒවා මිල දී ගන්නා අතරමැදියෝ ඒවා විකුණා ආදායමක් උපයා ගන්නා තත්ත්වයට පත්ව තිබේ. ඇයගේ ආකර්ශණීය ඉදිරිපත් කිරීම් සොයා ගැනීම අන්තර් ජාලයෙන් පහසු වී ඇති අතර අත් පළඳනා, කෝෆි මග්, ලැප්ටොප් කවර පෝස්ටර් වල සිට ජංගම දුරකථන ආවරණ දක්වා ඒවා එකිනෙකට වෙනස් හා විශාල පරිමාවකට විහිදී තිබේ.

අලූත් චරිත දහ නව චින්තනය ඇමරිකානු දේශපාලනයේ උන්නතියට හේතුවක් වී තිබේ. මෙම දේශපාලන දර්ශනය සමාජ ගත කරන්නට දරන ප‍්‍රයත්නය වෙනුවෙන් දස දහස් ගණනින් ඇමරිකානුවන් අලූත් නායකයන් සමග එකතු වෙයි. නිතිපතා අලූත් චරිත එකතු වන තරමට ඇමරිකානු දේශපාලනය ඉතා විවෘත තැනකි. පක්ෂ මගින් නායකවන් බිහි කරනු වෙනුවට චරිත සිය ශක්තියෙන් නැගී පක්ෂ ආක‍්‍රමණය කරන තරමට මෑත කාලය තුළ ඇමරිකානු දේශපාලනය වෙනසකට පාත‍්‍ර වූ බව සඳහන් කළ යුතුය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉදිරියට පැමිණියේ ද පක්ෂ යාන්ත‍්‍රණය අභිබවමින්ය. තනිවම විශාල ප‍්‍රයත්නයක් දරන ලද හෙතෙම ජනප‍්‍රියත්වයට පත්ව විශාල ජනතා කැමැත්තකට ලක්වන විට පක්ෂය ඇතුලට ගෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දෙන්නට රිපබ්ලික් පක්ෂයට සිදුවිය. පක්ෂ යාන්ත‍්‍රණයට එපිටින් ජනතා කැමැත්ත ඇතිවනවිට එය නතර කරන්නට සම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ අසමත් වූ බව දක්වන්නට අවශ්‍යය. නූතන සමාජ මාධ්‍ය එහිලා වඩා ඉවහල් විය. සම්ප‍්‍රදායික මාධ්‍ය ඔහුට ඉඩ නුදුන් අතර ඒවා පමණක් නොව පක්ෂ රාමුව ද අහියෝග කර ඉදිරියට එන්නේ අලූත් චරිතවක අලූත් ව්‍යුහයක ස්වභාවයෙනි. එලිසෙබෙත් ගේ ගමන ගැන ද සාකච්ඡා කරන විචාරකයන් ඇය වසර 2020 වන විට ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙවැනි අලූත් චින්තනයක් සහිත ගමන් මාර්ග වලින් ලෝකයේ පැවැත්ම වෙනස් වී ඇති අතර ආසියානු රටවල් අතරින් නරේන්ද්‍ර මෝදි වත්මන් ඉන්දීය අගමැතිවරයා ද සම්ප‍්‍රදායික පක්ෂ යේ තනතුරු අනුපිලිවෙල අභියෝගයට ලක් කර ඉදිරියට පැමිණි චරිතයක් සේ සැලකෙයි. ගුජරාට් ප‍්‍රාන්තයේ මහ ඇමැති වශයෙන් අනන්‍ය දේශපාලනයක නිරත වු හෙතෙම පසුව භාරතීය ජනතා පක්ෂයට උවමනා වූ චරිතයක් බවට පත් විය. පරිවර්තනක් කරන්නට නම් පවතින පක්ෂ ව්‍යුහයට එපිටින් නැගී එන මෙවැනි චරිත දෙස අවධානය යොමු කළ යුතුය. එළිසෙබෙත් වොරන් මාර්කට් කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්වන්නේ එහෙයින්ය. ඇයගේ දර්ශනය සහ එය අලූත් අන්දමකට ජනතාව අතර පතුරවන්නට ගෙන යන උපාය මාර්ග ලෝකයේ කතාබහට ලක්වන්නේ එනිසා බව ද සඳහන් කරන්නට අවශ්‍යය.

ශී‍්‍ර ලංකවේ පවතින සම්ප‍්‍රදායික දේශපාලන ව්‍යුහය තුළ මෙවැනි අලූත් ජවයකට ඉඩ තිබේද? ප‍්‍රශ්න කළ යුතු එයයි. මෙරට දේශපාලනයට ප‍්‍රවේශ වෙන්නට පක්ෂය වැදගත්ය. එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නට නම් ශී‍්‍ර ලංකා විරෝධී විය යුතුය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් එක්සත් ජාතික පක්ෂ විරෝධී වීම ප‍්‍රධාන අවශ්‍යතාවයකි. වෙනත් දේශපාලන ධාරාවකට නම් මෙම ප‍්‍රධාන පක්ෂ දෙකම හෙලා දකින්නට සුදුසුකම් තිබිය යුතුය. අලූත් දර්ශනයකට වඩා පක්ෂ නොඑසේ නම් ගෝත‍්‍රික විරෝධීත්වය වැදගත්ය. ශ‍්‍රී ලංකාව නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් අවුරුදු හැත්තෑවකට ආසන්න අත්දැකීම් ඇති නමුත් භාවිතය සම්බන්ධයෙන් ප‍්‍රාථමික මට්ටමකය. තරුණ පෙළ පක්ෂ ව්‍යුහයෙන් ඉවත්ව එනම් පරම්පරාවෙන් පක්ෂයකට ඇබ්බැහිවෙන ගතියෙන් මිදෙන්නට යම් ප‍්‍රයත්නයක් දරන නමුත් එය එපමණ ප‍්‍රබල නැත.

මෙකී පක්ෂ රාමුව හෙයින් අලූත් අදහස්, අලූත් ජවය රටට ලැබෙන්නේ නැත. දේශාපාලන නායකයන් හදන්නේ පක්ෂය වන අතර නායකයාට අවනත සහ ප‍්‍රතිවාදී අනෙක් පක්ෂය විවේචනය කරන්නට ඇති හැකියාව ඉදිරියට එන්නට සුදුසුකමකි. මේ හෙයින් පලිගැනීමට වැඩිම තැනක් ලැබී ඇත. පක්ෂ එකතු වී ආණ්ඩු කරන බව ප‍්‍රකාශ වන නමුත් වර්තමානයේ පවා පලිගැනීම, ප‍්‍රතිවාදීන් මර්දනය වැනි දේ වෙනුවෙන් වැඩිම අවධානයක් තිබීම එහි ප‍්‍රතිඵලයකි.

චින්තනයක් සහිත නව අදහස් සහිත පිරිස ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට එකතු නොවීම අනාගතයට සිදුවන අසාධාරණයකි. පක්ෂ ව්‍යුහයට එපිටින් අලූත් අදහස් ඇති නව ජවාධික පිරිස රට පාලනයට එකතු නොවීම අනාගතය ගැන සලකන විට අවාසනාවන්ත තත්ත්වයකි. මෙරට පුරවැසියන් තම නායකයන් යැයි පිලිගන්නේ එලිසෙබෙත්, ට‍්‍රම්ප් හෝ මෝදි වැනි අද්විතීය පුද්ගල චරිත නොවේ. තමන්ගේ ඥාතියා, සහෝදරයා හෝ පවුලේ සාමාජිකයා පලාත් සභාවෙන් පාර්ලිමේන්තුවට පත්කරගෙන රට කරවන තැනට ඇතුළු කරගැනීමයි. එහි ප‍්‍රතිඵලය ප‍්‍රශ්නයක් දෙස අලූත් ආකාරයකින් බලන්නට නොහැකි වීමයි. ප‍්‍රශ්නයක් එන විට විකල්පය ගැන හිතන්නට නොහැකි තැනට පත්වීමයි. ජාත්‍යන්තර නායකයන් දෙස බලන විට අදහස් හා ක‍්‍රියාත්මකවීම සම්බන්ධයෙන් සෑහෙන ප‍්‍රගතියක් දක්වන වකවානුවේ ශී‍්‍ර ලංකාව සියළු වාසිදායක තත්ත්ව තිබිය දී පවා පසුගාමී තැනකට පත්ව තිබේ. මේවා ගැඹුරින් තේරුම් ගැනීම අවශ්‍යය. පරිවර්තනයක් සඳහා පක්ෂ වලට බලකරන ජනතා බලවේගයක් අවශ්‍යය.