» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
27/01/2019 - ඉරිදා ලංකාදීප
කෘෂි අංශයේ පුනරුදය උදෙසා නවීන තාක්ෂණය

ලෝකය පුරා කෘෂිකර්මය ගැන පුනරුදයක් ඇති වී තිබේ. අලූත් තාක්ෂණය භාවිතා කිරීම, නවීන වගා ක‍්‍රම හා පසු අස්වනු තාක්ෂණය ගැන පුලූල් අවධානයක් ඇත. ලෝකයේ නොයෙක් රටවල් ඊශ‍්‍රායලය ගැන අවධානය යොමු කරයි. එයට හේතුව කුමක්ද? කිසිදු රටකට දෙවැනි නොවන සේ වගා කටයුතු කරගෙන යාමට සමත්වීමය. ඊශ‍්‍රායලය කාන්තාර පසුබිමක පිහිටි රටකි. වියලි කාලගුණයක් පවතී. වාර්තා පෙන්වන පරිදි ඊශ‍්‍රායලයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය බි‍්‍රතාන්‍යයට එක දිනයකට ලැබෙන වැසි ප‍්‍රමාණය හා සමානය. ස්වභාවිකව ලැබෙන ජලය සම්බන්ධව එවැනි දුෂ්කර තැනෙක පසුවන නමුත් එරට කෘෂිකර්මයේ දියුණුව ඇමරිකාවට පමණක් දෙවැනි වන ඉතාම විශිෂ්ඨ තත්ත්වයක බව අනාවරණය වෙයි.

ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතියට හේතුව අභ්‍යන්තර හා බාහිර සාධක බව ප‍්‍රකට කරුණකි. එකක් රට තුළ ඇති දුෂ්කර ස්වභාවයයි. බවභෝග වගා කරන්නට සුදුසු පරිසරයක් නැත. අනෙක අවට සියළු රටවල් සතුරු පාර්ශව වශයෙන් අභියෝගයක් තිබීමයි. තමන්ට අවශ්‍ය දේ නිපදවන්නට අපොහොසත් වුවහොත් රටක් වශයෙන් ගැලවීමක් නැති මොහොතක් උදා වන බව ඊශ‍්‍රායල් ජාතිකයෝ කල්පනා කරති. එයට උත්තරයක් වශයෙන් ඉතාම අඩු ජල ප‍්‍රමාණයකින් නඩත්තු කළ හැකි පරිසරයක් වගාවට සකස් කරන්නට සමත්ව තිබේ. දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ අනුව ජලය බිංදුව බැගින් ශාකයේ මුල් පද්ධතියට කෙලින්ම ලැබෙන තාක්ෂණය අනාවරණය කරගෙන ඇත. එම ජලය ශාකයට පරෙස්සම් කරගත හැකිවන අන්දමට කෘතීම සෙවන දැල් නිෂ්පාදනය කර ඇත. කෘතීම පරිසර පද්ධතියක් වශයෙන් හරිතාගාර සංකල්පය ද හදුන්වා දී තිබේ. ඒවායේ වගා කරන වැඩි දියුණු කරන ලද බීජ ප‍්‍රබේධ වලින් උසස් අස්වැන්නක් ලැබෙන අතර කෘමි හානි අවමය. ඉතාම ඵලදායී කෘෂිකර්මයක් නඩත්තු කෙරේ.

ඊශ‍්‍රායලයේ කෘෂි කර්මාන්තයෙන් සියයට පනස් හතරක් පමණ කිබුට්ස් ආකෘතියේ පවතී. එය ගොවි හමුදාවට සමාන කළ හැකි ස්වේච්ඡා බලකායක සේවාවකි. 1900 ගණන් වල මෙම ස්වේච්ඡා ව්‍යාපාරය බිහි වී ඇත. එම සමාගම් රට පුරා ගොවිපොල වල කටයුතු මෙහයවයි. පසුගියවසර පහ තුළ අලූත් කෘෂි සමාගම් පන්සියයක් පමණ ස්ථාපිත වී ඇත. මෙම සමාගම් ගොවිපොල නිෂ්පාදන කටයුතු වෙනුවෙන් ආයෝජනය කරන ලද මුල ඇමරිකානු ඩොලර් මිලියන 171 කි. මෙම ගොවිපොල සමහරවිට ඕස්ටේ‍්‍රලියාව හෝ බ‍්‍රසීලයේ ගොවිපොල වලට වඩා ඉහලින් සිටින බව දැක්වෙයි.

ඊශ‍්‍රායලයේ ගොවිතැන කෘතීම බුද්ධියෙන් පාලනය කරන මටට්මට පත්ව ඇත. නවීන ගොවිපොලවල බෝග වගා කරන ආකාරය සූක්ෂම ඉතාම පැහැදිලි ඡායාරූප වලින් නිරීක්ෂණය කෙරේ. එම කැමරා ඩ්‍රෝන වලට සම්බන්ධ කර ඇති අතර ගුවන්යානා මගින් හෝ සැටලයිට් චන්ද්‍රිකා වලින් ආවරණය කරන බව දැක්වෙයි. කිසියම් කෘමි හෝ දිලීර ආක‍්‍රමණයක ස්වභාවය ඇස ගැටුණ හොත් වහා ප‍්‍රතිකර්ම යෙදිය හැකිය. ජලය, පොහොර හා ආලෝකය නිසි පරිදි සැපයෙන අතර එය මගින් ඉතාම උසස් ඵලදාවක් ලැබේ. සෑම ගොවිපොලකම තමන්ගේ පර්යේෂණ අංශ පවත්වාගෙන යන අතර කෘෂිකර්මයේ දියුණුවට ගත හැකි පියවර ගැන නිතර අවධානයෙන් සිටී. එය ඉතාම තරගකාරීය. ප‍්‍රධාන ගොවිපොල සමාගම් දහයකින් හයක් පසුගිය වසර තුන ඇතුලත ඔවුන්ගේ ප‍්‍රධාන විධායක නිලධාරීන් මාරු කර තිබේ. එයට හේතුව වේගයෙන් වෙනස්වන මුහුණුවර අනුව නිෂ්පාදන වැඩි දියුණු කරන අලූත් පියවර ගැනීම සඳහාය.

තරුණන්ට අධ්‍යාපන කටයුතු වලට පසු හමුදා පුහුණුව ලැබීම ඊශ‍්‍රායලයේ අනිවාර්ය කාරණයකි. එම පුහුණු කාලය තුළ දක්ෂතා පෙන්වන තරුණ තරුණියෝ ගොවිබිම් වල සේවය කරන අතර ඔවුහු නිරතුරුව වගාවේ අභිවෘද්ධිය උදෙසා සාමූහිකව කටයුතු කරති. සෑහෙන පිරිසක් කෘෂිකර්මයට අදාල අලූත් තාක්ෂණය, මෘදුකාංග හෝ මෙවලම් ගැන අත් හදා බලන අතර ඒවායේ සාර්ථක සේවා කෙලින්ම කෘෂි තාක්ෂණයට යොදා ගන්නා බව අනාවරණය වෙයි. ඉතාම මෑතක දී සොයා ගත් රැහැන් රහිත සංවේදයක් (සෙන්සර් එකක් මගින් පසේ පී.එච්. අගය මැන බලා වරින් වර වාර්තා කරන අතර ඒවා අනුව රෝපන ද්‍රව්‍ය වල ප‍්‍රගතියට හේතු වෙයි.

කෘෂිකර්මයේ පුනරුදය වෙනුවෙන් තාක්ෂණය භාවිතා කරන ඊශ‍්‍රායලය එම තාක්ෂණය හමුවේ පැන නැගෙන සයිබර් ආරක්ෂාව ගැන ද පරෙස්සම් වන බව අනාවරණය වෙයි. කෘෂිකර්මය හා සමානව ලෝකයේ අන් කිසිම රටකට නොදෙවෙනි අන්දමට සයිබර් ආරක්ෂණ ක‍්‍රමවේද වලට ද අවතීර්ණ වී ඇත. එය ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක් වූ ඉතා වැදගත් කරුණකි.

චීනයේ උප ජනාධිපතිවරයා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඊශ‍්‍රායලයට ගියේය. එහි අරමුණ එරට වැඩි දියුණු කෘෂිකර්මයේ නවාංග ගැන අවබෝධයක් ලබා ගැනීමයි. එහි පැවැති කෘෂි ප‍්‍රදර්ශනයක් නැරඹු හෙතෙම එයින් ලබාගත් අත්දැකීම් අනුව චීනයේ ප‍්‍රදේශ ආශ‍්‍රිතව කෘෂි උද්‍යාන ඇරඹීමට සැලසුම් කර තිබේ. ඉන්දියාව හා අප‍්‍රිකා රටවල නිලධාරීහු ද ඊශ‍්‍රායලයේ තාක්ෂණික කෘෂිකර්මය අධ්‍යයනය කර ඇත. මෙවැනි ප‍්‍රයත්න මගින් කෘෂිකර්මයේ අලූත් සොයාගැනීම් ලෝකය පුරා පතුරවන්නට ඊශ‍්‍රායලය සූදානම්ය. මහවැලි ව්‍යාපාරය කාලයේ ශ‍්‍රී ලංකාව හා ඊශ‍්‍රායලයේ කෘෂිකර්මය අතර සම්බන්ධතා තිබුණි. ඒවා වැඩි දියුණු වූයේ නැත.

පරිසර සාධක අනුව ඉතාම අවාසිදායක තැනක සිටින ඊශ‍්‍රායලයේ අත්දැකීම් ගැන අවධානය යොමුකිරීම සුදුසුය. කෘෂිකාර්මික රටක් වශයෙන් දිර්ඝ ඉතිහාසයක් ඇති ශ‍්‍රී ලංකාව සම්ප‍්‍රදායික ව්‍යුහයෙන් එපමණ වෙනසකට ලක්ව නැත. පලපුරුදු කෘෂිකර්මයෙහි නිපුණ පර්යේෂකයන්ගෙන් රටට අඩුවක් නැත. වී, ධාන්‍ය, එලවලූ හා පලතුරු ප‍්‍රබේධ බිහිකරන ලද අවස්ථා නොයෙක් අවස්ථාවල අනාවරණය වෙයි. එම අත්හදා බැලීම් වෙනුවෙන් විශාල කාලයක් හා ධනයක් වැය කරන ලද බව නිසැකය. පුරාණ වාරි තාක්ෂණය හා ගොවිතැන් ක‍්‍රම මෙරට පැවැත්මෙහි සාරවත් භාවයට කදිමට පෙන්වයි. විශාල පරාසයක් පුරා විහිදුන බව භෝග වලින් ලාංකේය මහ පොලවේ අනන්‍යතාවය අනාවරණය කරයි. මෙම පැවැත්ම අඛණ්ඩව පවත්වාගැනීමට අප සමාජය පොහොසත්ව තිබේද? ආගන්තුක වැවිලි භෝග මෙරට ආර්ථිකයේ පැවැත්ම උදෙසා වැඩි අවධානයක් යොමු කරන අතරවාරයේ සුපුරුදු සරුසාර ගොවිබිම අනවධානයට ලක්විය.

කෘෂිකර්මයේ අර්බුදය හා එහි ඛේදවාචකයක තරම අද පැහැදිලිව පෙනේ. රට පුරා සේනා දළඹු වසංගතයකි. වේගයෙන් ව්‍යාප්ත වී රට පුරා පැතිරී ගොස් ඇත. බඩ ඉරිගු පමණක් නොව වී ඇතුළු අනෙක් බෝග වලට ද පැතිරෙන අවදානමක් ගැන කතා කරයි. නිපදවන කෘෂි නිෂ්පාදන වලින් වෙළඳ පොලට එන විට අපතේ යන ප‍්‍රතිශතය ඉහළ බව සඳහන් වෙයි. අතරමැදියන්ගේ ප‍්‍රශ්න හෙයින් කෘෂිකර්මයෙහි නිරත ජනතාව අධෛර්යයට පත්ව ඇත. ගොවියන්ට ඉඩම් ප‍්‍රශ්න තිබේ. වතුර හිඟය. පොහොර ගැන ප‍්‍රතිපත්ති පරස්පරතා පැන නගී. මෙරට බව භෝග වෙනුවෙන් අවශ්‍ය බීජ වර්ග ආනයනය කරන්නේ වෙනත් රටවල් වලින්ය. ගොවියන් ප‍්‍රාග්ධන පහසුකම් රහිත තැනක පසුවන අතර කෘෂිකර්මයේ පිරිහීම හෙයින් වානිජ බැංකු වලින් ලබාගත් ණය පවා ගෙවාගත නොහැකි තැනකය. එයින් අවසන් නොවේ. නියඟය හා ගංවතුර වරින් වර පැමිණ ගොවියන්ගේ ආත්ම ශක්තිය සම්පූර්ණයෙන්ම නැති කරන බව පෙනේ. මේවාට ඇති විසදුම් මොනවාද?

මෙරට නායකයෝ ලෝකය පුරා ඇවිද අත්දැකීම් ලබති. නිලධාරීහු දෙස් විදෙස් වැඩමුළු, සාකච්ඡා හා සැසිවාර වලින් අප‍්‍රමාණ දැනුම ලබා ගෙන ඇති බව නිසැකය. කෘෂිකර්මය ගැන කරන ලද අධ්‍යයන වාර්තා සෑහෙන ප‍්‍රමාණයක් විය හැකිය. එසේ තිබිය දී සමාජය තුළ ගොවිතැනට, කෘෂිකර්මයට ඇති උනන්දුව ක‍්‍රමයෙන් හීන වන බව දක්වන්නට අවශ්‍යය. ලෝකයේ වෙනත් රටවලටත් ගොවිතැනට ප‍්‍රශ්න නැතිවා නොවේ. ශ‍්‍රමය හෝ පරිසර සාධක ගැටළු බව නිසැකය. නමුත් සැලසුමක් ඇතිව ගෙන යන වැඩ පිලිවෙල වලින් ඒවා සාර්ථකව ජයගෙන තිබේ. ඊශ‍්‍රායලයේ සාර්ථකත්වය ගෙනහැර දැක්වූයේ උදාහරණයක් වශයෙනි. කාන්තාරයක් බදු ප‍්‍රදේශයක් සාර්ථක කෘෂිකාර්මික පෙරළියකය. ශ‍්‍රී ලංකාවට නොකළ හැක්කේ මොනවාද?