» පසුගිය සතිවල තීරු ලිපි කියවන්න
 
26/08/2018 - ඉරිදා ලංකාදීප
ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ ආදායම ගැන සෘජු ප‍්‍රකාශයක්

සිංගප්පුරුවේ කැබිනට් මණ්ඩලයට ‍ජ්‍යෙශ්ඨ අනුශාසක ඇමැතිවරයෙකු පත් කරගෙන තිබේ. එඞ්වින් ටොන්ග් වන හෙතෙම විශාල ධනවතෙකු වන අතර නීතිඥවරයෙකි. ඔහු අමාත්‍ය මණ්ඩලයට එකතුවීමට කලින් වාර්ෂිකව සිංගප්පූරු ඩොලර් මිලියන දෙකක ආදායමක් උපයන ලදී. අමාත්‍යවරයෙකු වශයෙන් පත් වූ වහා ඔහුගේ ආදායම සියයට හැත්තෑ පහකින් අඩුවිය. එයට හේතුව ඇමැතිවරයෙකුගේ වැටුප ඩොලර් ලක්ෂ පහකට සීමාකර තිබීමය. නව ඇමැතිවරයා සමග එරට හිටපු අගමැතිවරයෙකු හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු වන ගෝ චොක් තොන් මහතා අලූත් ජ්‍යෙෂ්ඨ අනුශාසක ඇමැතිවරයාගේ බල ප‍්‍රදේශයේ ජනතාව හමුවී සාකච්ඡාවක නිරත වූ අතර එහි දී එක වියපත් පුද්ගලයෙකු ‘‘සිංගප්පූරු ඇමැති මණ්ඩලයේ වැටුප් අඩු කළ නොහැකි දැයි’ප‍්‍රශ්න කර තිබේ. ‘‘අඩු කරන වැටුප එකතු කරගත හොත් තම රටේ වැඩි වයස් ගත ජනතාවට හොඳ විශ‍්‍රාම වැටුපක් ගෙවිය හැකි බව’’ ඔහු යෝජනා කර ඇත. සිංගප්පූරුව එරට මැති ඇමැතිවරු ඇතුළු පාලකයන්ට ඉතා ඉහළ වැටුප් ගෙවයි. ඒවා ගැන ජනතාව තුළ ප‍්‍රශ්න නැතුවා නොවේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ද මෙම වැටුප් වැඩි ස්වභාවය ප‍්‍රශ්න කරන අවස්ථා තිබේ. නමුත් එරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට අනුව දුෂණ හා වංචා වලට සම්බන්ධ නැති යහපත් ජනතා නියෝජිතයන් ගේ සේවය රටට අවශ්‍ය නම් හොඳ වැටුපක් ගෙවිය යුතුය. එය සිංගප්පූරුව නිර්මාණය කළ ලී ක්වාන් යූ මහතා ගේ කාලයේ සිට අනුගමනය කළ සංකල්පයකි.

හිටපු අගමැති ගෝ චොක් මහතා සෘජුව යෝජනාවට අකමැත්ත පළ කර තිබේ. ‘‘වියපත් පුරවැසියන්ගේ ආදායම වැඩි කරගැනීමට ඇති උවමනාව වෙනම ප‍්‍රශ්නයක් වන අතර මැති ඇමැතිවරුන්ගේ වැටුප අඩු කර එයින් දීමනා වැඩි කිරීම වැනි ජනප‍්‍රිය යෝජනා නොගැලපෙන බව’’ ඔහු ක්ෂණිකව පෙන්වා දී ඇත. යහපත් පුද්ගලයන් දේශපාලනයට ඇතුළු කරගැනීම අපහසු බව ඔහු පෙන්වා දී තිබේ. හිටපු අගමැතිවරයෙකු වශයෙන් ‘‘අලූත් මුහුණු දේශපාලනයට කැඳවීම තමන්ගේ නිල කාර්යයේ එකක් වන නමුත් පසුගිය කාලයේ දී දෙදෙනෙකුට වඩා සොයාගත නොහැකි වූ බව හෙතෙම පෙන්වා දී ඇති අතර අලූතින් පත්කළ නීතිඥ එඞ්වින් ටොන්ග් පවා ජනතාවට සේවය කිරීමට එකඟවූයේ අගමැති වරයා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු බව මෙම හමුවේ දී කියා සිටියේය. සිංගප්පූරු අගමැතිවරයා හමු වූ විට කරන ලද සාකච්ඡාවේ දී වැටුප් හා දීමනා ගැන කරුණු ජ්‍යෙශ්ඨ අමාත්‍ය එඞ්වින් ටොන්ග් මහතා කතාකළ බවල මෙහි දී බල ප‍්‍රදේශයේ වැසියන් සමග සාකච්ඡා කර තිබේ. ‘‘ ජීවිතයේ මේ වයසේ දී මට ගෙයක් තියෙනවා. නමුත් මම මගේ බිරියගේ දෙමව්පියන් හා මගේ දෙමාපියන් නඩත්තු කළ යුතුයි. එයට ආදායමක් අවශ්‍යයි. මගේ ඉහළ ආදායම අත් හැර දේශපාලනයට පැමිණියේ රටට සේවය කිරීමට එය කරන විට හොඳ දීමනාවක් නැතිව බැහැ’’යනුවෙන් සඳහන් කර ඇති බව මෙම සිදුවීම අනාවරණය කළ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

‘‘ ආදායම පහත වැටීම නිසා දිග කාලයක් ගත වන විට දක්ෂ පුද්ගලයන් රට පාලනය කිරීමට එකතු වන එක සීමා වන අතර, මැති ඇමැති වැටුප් අඩු කර විශ‍්‍රාම දීමනා නැංවීම ඔබට හොඳයි. නමුත් එය අන්තිමේ දී රටට මහා අභාග්‍යයක් බව’හිටපු අගමැතිවරයා මෙම රැස්වීමේ දී සඳහන් කරන අතර ‘‘එය සිංගප්පූරුව ආරක්ෂා කරගෙන සිටින ලෝක තරගකාරී මුහුණුවරට බාධාවක් වනු ඇති බව පෙන්වන්නට සමත්ව’’ ඇත.

සිංගප්පූරුවේ මෙම කෙලින් කතාව ගැන අවධානය යොමු කළ යුතු ඇයි? අලූතින් පත් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඇමැතිවරයා තමන්ට යැපෙනු සඳහා වැටුප හැර අන් මාර්ගයක් නැති බව ජනතාවට අවංකව කියා තිබේ. සිංගප්පූරුව විනිවිද පෙනෙන පාලනයක් ගෙන යන රටකි. දුෂණ වංචා තුරන් කරන නිසි විධිවිධාන පනවා තිබේ. විශේෂයෙන් වැරදි කරන මැති ඇමැතිවරන්ට සමාවක් නැත. චෝදනා එල්ල වුවහොත් වහා පරීක්ෂණ පවත්වන අතර බලයෙන් පහකරයි. උපරිම දඬුවම් පැනවේ. එරට දුෂණ මර්දන කොමිසමේ නඩු විභාග සහ දුෂිතයන්ට ලබා දුන් දඬුවම් ලෝක ප‍්‍රසිද්ධය. පක්ෂ නායකයෝ බලපෑම් කර .දුෂිතයන් ආරක්ෂා නොකරයි. ලී ක්වාන් යූ හිටපු අගමැතිවරයාගේ කාලයේ ඔහුගේ සමීප පුද්ගලයන් ගේ වැරදි හමුවේ අපක්ෂපාතීව දෙන ලද අධිකරණ තීරණ අද පවා නිතර කතා බහට ලක්වෙයි.

පාර්ලිමේන්තුවට පත්වන ශ‍්‍රී ලංකාවේ මැති ඇමැතිවරුන්ගේ වැටුප් හා දීමනා ගැන අද වන විට රට තුළ විශාල ආන්දෝලනයක් තිබේ. මෙරට ඇමැතිවරයෙකු ගෙන් ඔහු ලබන වැටුප ගැන ඡන්ද දායකයෙකුට ප‍්‍රශ්න කරන්නට පුලූවන් කමක් නැත. එයට අවංක උත්තරයක් දෙන්නට ඇමැතිවරයාට ද පුලූවන් කමක් නැත. එලිපිට දක්වන වැටුපට අමතරව නොයෙක් දීමනා එකතු කර තිබේ. මහජනතාවට විශාල බදු පනවා ඇත. රාජ්‍ය ආදායම අඩු බව දක්වන මහා භාණ්ඩාගාරය සෘජුව හා වක‍්‍රව අය කරන බදු නිසා ජනතාවට ජීවත්වීම දුෂ්කර වී තිබේ. රජයේ ආදායමෙන් සෑහෙන කොටසක් මැති ඇමැති නඩත්තුවට වෙන් කෙරේ. කිසිම පාලනයක් රහිතව මැති ඇමැතිවරුන්ට නැවත නැවතත් යම් යම් දීමනා හා වරප‍්‍රසාද පිරිනැමීම ජනතාව ප‍්‍රකෝප කර ඇති බව නිසැකය. ජනතා සේවයට බව එලිපිට කියා දේශපාලනයට එන බහුතරයක් දෙනා එය වෘත්තියක් කරගෙන ඇත. දේශපාලනයට එන්නට කලින් සාමාන්‍ය ජීවිතයක් ගෙවූ පුද්ගලයෝ ජන වරම දිනා අවුරුදු දෙක තුනක් ගතවන විට අතිශය ඉසුරුමත් පුද්ගලයෝ බවට පත් වෙති. යාන වාහන, ඉඩකඩම්, විදේශ සංචාර, අතිශය සැපවත් ජීවිත ගත කරන තත්ත්වයට පත්වන අතර ආණ්ඩුවෙන් ගෙවන වැටුප එයට ප‍්‍රමාණවත් නැති බව ජනතාව තුළ විශ්වාසයක් තිබේ.

දේශපාලනය කරන්නට ධනය අවශ්‍යය. සල්ලි හොයන්නට දේශපාලනඥයන් සමත්ය. ඡන්ද වියදම මෙරට දේශපාලන ව්‍යුහයේ විශාල ගැටළුවකි. ප‍්‍රචාරය, රැස්වීම් පැවැත්වීම, ආධාරකරුවන්ට ගෙවීම, අනුගාමිකයන් නඩත්තුව පහසු නැත. පාර්ලිමේන්තු ක‍්‍රමය ද මෙය නොදන්නවා නොවේ. අතිරේක ගෙවීම්, බදු රහිත වාහන බලපත‍්‍ර දී ඒවා විකුණා ගන්නට ඉඩ දීම හා අනුගාමිකයන්ට හා හිතවතුන් ආණ්ඩුවේ තනතුරුවලට පත් කිරීම හා රාජ්‍ය ආයතන වලින් ලබා ගන්නා පාලනයක් රහිත අනුග‍්‍රාහකත්ව එයින් සමහරකි. එයින් ද සෑහීමකට පත් නොවන දේශපාලනඥයෝ බලය ඇති තරම අනුව අනියමින් උපයති. ජනතා ව්‍යාපෘති, ටෙන්ඩර්, මිලදී ගැනීම් වල දී අත යටින් වාසි උපයන අතර එය රහසක් නොවේ. ඉතා සීමිත පිරිසක් තම වත්කම් වියදම් කරමින් ජනතා සේවයට එන අතර බහුතරයක් අපිරිසිදු මුදල් පරිහරණය කරන බව පැහැදිලිව සඳහන් කළ හැකිය. ශ‍්‍රී ලංකාවේ මුල් යුගයේ දේශපාලනයෙහි නිරත වූ ශේෂ්ඨ පුද්ගලයන් තම වස්තුව ජනතාව වෙනුවෙන් වියදම් කරන ලද අතර අද එය අනෙක් පැත්තට හැරී ජනතා මුදල් සීමාවකින් තොරව කොල්ලකන තත්ත්වයට පත්වී තිබේ. අධිකරණ ක‍්‍රම, නීතිය තිබේ. අලූත් ව්‍යුහ සකස් කරයි. විධිවිධාන පනවයි. ඒවා මතුපිට්න් ඇති ඇස්බැන්දුම් පමණක් බව පොදු ජනතාව දනී. වැරදි කරන පිරිස නිදැල්ලේ සිටින අතර මහා ආන්දෝලනාත්මක ගනුදෙනු ගැන ජනතාව විස්මයට පත්ව ඇත. දුෂණ හා වංචා බලයේ සිටින දේශපාලනඥයන්ට පමණක් නොව බලයේ සිට එකී අයුතු කි‍්‍රයා නිසා බලය අහිමි වූ දේශපාපලනඥයන් ගෙන් බහුතරයකට එල්ල වී ඇති ඉතාම බරපතල පොදු චෝදනාවකි.

තමන්ගේ නායකයන් වංක හා දුෂිත පුද්ගලයන් බව පිලිගැනීමට පොදු ජනතාවට සිදුවී තිබේ. වැරදි පුද්ගලයන් අතරින් කැමැති කෙනෙකු තෝරා ගන්නට ඡන්ද පවත්වයි. ජනතාවට විකල්පයක් නැත. දේශපාලන ක‍්‍රමය අවංක එකක් කරගැනීමේ වගකීම දේශපාලන පක්ෂ නායකයන්ට ඇති විශාල අභියෝගයකි. හොඳ පුද්ගලයන් දේශපාලනයට එකතු නොවන අතර පටු පරමාර්ථ ඇති අය ස්වකීය ධනය හා බලය උදෙසා රට පාලනය කරන පාර්ලිමේන්තුව, පලාත් සභාව හා පලාත් පාලන ආයතන වලට වැඩි වශයෙන් එකතු වී තිබේ. මෙම ක‍්‍රමය වෙනස් කරනු සඳහා ජනතාව සහ සිවිල් සංවිධාන බලවේග ගොඩනගන නමුත් ඒවා අවසානයේ දී වෙරළ කරා එන රැල්ලක් සේ නැගී පැමිණ පෙණ නංවා අවසාන වෙයි. තමන් දේශපාලනයට පැමිණියේ ඇයි හා තමන්ට ඉහළම වැටුප් ලැබිය යුතු මන්ද යන්න හිතට එකඟව කියන්නට පුලූවන්කම ඇති දේශපාලනඥ පරපුරක් රටට අවශ්‍යව තිබේ.